හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසාදැමීමට ඉරානය තීරණය කොට ඇත්තේ ඇයි?

    • Author, කැත්රින් ආම්ස්ට්‍රෝන්
  • කියවීමේ කාලය: මිනිත්තු 5

හෝමූස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකා සඳහා නැවත වසා දමන බව සහ සමුද්‍ර සන්ධිය වෙත ළඟා වන ඕනෑම නෞකාවක් ඉලක්කයක් වනු ඇති බවටත් ඉරානය පවසයි.

සෙනසුරාදා දිනයේදී (ඊයේ) ටෙහෙරානය විසින් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඇතුළුව යාත්‍රා කිහිපයක් සමුද්‍ර සන්ධියේදී හෝ ඒ අසළ දී ඉලක්ක කරගත් බවට වාර්තා පළවීමත් සමඟ මෙම වසා දැමීම සිදු විය.

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය චෝදනා කළේ අඛණ්ඩව පවතින ඇමරිකානු නාවික අවහිර කිරීම් මෙම තීරණයට හේතුව බවයි.ඒ මෙම ප්‍රධාන ගෝලීය මුහුදු මාර්ගය තාවකාලිකව නැවත විවෘත කළ බව ඉරාන විදේශ අමාත්‍යවරයා නිවේදනය කර දිනකට පසුවයි.

ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාමට හේතු වෙමින් ටෙහෙරානය මාස දෙකකට ආසන්න කාලයක් පුරා අවහිර කර තිබෙන මෙම ජල මාර්ගය පිළිබඳව ඉරානයට එක්සත් ජනපදයට "තර්ජනය" කළ නොහැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

"පර්සියානු ගල්ෆ් කලාපයේ හෝ ඕමාන් මුහුදේ නැංගුරම්පොළේ ඇති කිසිදු නෞකාවක් ඉන් පිට නොවිය යුතු" බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීය.

සිය කළමනාකරණය යටතේ නෞකා ගණනාවක් සමුද්‍ර සන්ධිය පසුකර තිබූ බව ඔවුන් පැවසූ නමුත් එක්සත් ජනපදය ඉරාන වරායන් අවහිර කිරීම නතර කරන තෙක් එය නැවත වසා දමනු ඇතැයි එහි සඳහන් විය.

"හෝමූස් සමුද්‍ර සන්ධියට ළඟා වීම සතුරා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමක් ලෙස සලකන අතර, එම වරද සිදුකරන නෞකාව ඉලක්ක වනු ඇත" ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කළේය.

ට්‍රම්ප් සිකුරාදා පැවසුවේ රටවල් දෙක අතර සාම ගිවිසුමක් සඳහා එකඟත්වය පළවන තෙක් ඉරාන වරායන් අවහිර කිරීම අඛණ්ඩව පවතිනු ඇති බවයි. දෙරට අතර දැනට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාමය අප්‍රේල් 22 වනදා අවසන් වීමට නියමිතය.

එක්සත් ජනපදය පැවසුවේ නාවික අවහිර කිරීම් බලාත්මක කිරීම ආරම්භ කළ අප්‍රේල් 13 වනදා සිට මේ දක්වා නෞකා 23ක් හරවා යවා ඇති බවයි.

මෙය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් වූ බව සහ එය ක්‍රියාත්මකව පවතින තෙක් තමන් ද සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම නවත්වනු ඇති බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය (SNSC) පැවසීය.

යුද්ධය අවසන් කිරීම සඳහා සිදුවෙමින් පවතින සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින් එම කවුන්සිලය ප්‍රකාශ කළේ, ඇමරිකාව විසින් නව යෝජනා ඉදිරිපත් කර ඇති බව සහ ටෙහෙරානය "මේ වනවිට ඒවා සමාලෝචනය කරමින් සිටින බව සහ තවමත් ඊට ප්‍රතිචාර දක්වා නොමැති" බවයි. මෙම මස මුලදී පැවැත්වූ සාම සාකච්ඡා එකාගත්වයකින් තොරව අවසන් විය.

''අපි හොඳ සාකච්ඡාවක් සිදුකරගෙන යනවා. ඒක ඉතාමත් හොඳින් සිදුවෙමින් තිබෙනවා,'' යනුවෙන් ටෙහෙරානය සමග සිදුකෙරෙන සාකච්ඡාවල තත්වය පිළිබඳ අදහස් දක්වමින් ට්‍රම්ප් සෙනසුරාදා පැවසීය.

සෙනසුරාදා ඉරානය විසින් නෞකාවලට ප්‍රහාර එල්ල කළ බවට වාර්තා කිහිපයක් පළ විය.

එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) පැවසුවේ ඉරානයේ ප්‍රහාරක යාත්‍රා දෙකක් සමුද්‍ර සන්ධියේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවකට වෙඩි තැබූ බවයි.

එම මධ්‍යස්ථානයට අනුව ඕමානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ බහාලුම් ප්‍රවාහන නෞකාවකට ද "හඳුනා නොගත් ප්‍රහාරයක් " එල්ල වී ඇති අතර එහිදී ඇතැම් බහාලුම්වලට හානිවී තිබේ.

මීට අමතරව අවම වශයෙන් වෙළඳ නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කිරීමේදී වෙඩි ප්‍රහාරවලට ලක් වූ බව රොයිටර් පුවත් සේවය වෙත වාර්තා වී තිබේ.

"හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉන්දියානු ධජය සහිත නෞකා දෙකකට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල" පළ කිරීමට ඉරාන තානාපතිවරයා කැඳවා ඇතැයි ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය පැවසීය.

නෞකා යාත්‍රා කිරීමේ තොරතුරු නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන මැරීන් ට්‍රැෆික් හි දත්ත පෙන්නුම් කළේ සමුද්‍ර සන්ධිය කෙටි කාලීනව විවෘතව තිබියදී ඇතැම් නෞකාවලට ඒ හරහා යාත්‍රා කිරීමට හැකි වූ බවයි. ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අනෙක් නෞකාවලට ඔවුන්ගේ මාර්ගය වෙනස් කිරීමට බල කෙරිණි.

ලෝකයේ ඉන්ධන සහ ස්වභාවික ද්‍රව වායු වලින් (LNG) 20% ක් පමණ සාමාන්‍යයෙන් එම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාගනය කෙරෙන නමුත් පෙබරවාරි 28 වන දින ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ආරම්භ වූ මෑතකාලීන ගැටුම අතරතුර එම මාර්ගයේ යාත්‍රා කරන නෞකා සංඛ්‍යාව විශාල ලෙස පහත වැටිණි.

මෙම පටු මුහුදු මාර්ගය ගල්ෆ් කලාපය අරාබි මුහුදට සම්බන්ධ කරන සහ තෙල් නිෂ්පාදනය කරන රටවලට මුහුදෙන් ළඟාවිය හැකි එකම මාර්ගයයි. අර්බුදය හේතුවෙන් තෙල් බැරලයක මිල ඩොලර් 100 (ඩොලර් 74) ට වඩා ඉහළ ගොස් තිබෙන බව පෙනෙන්නට තිබේ.

ඉරානය මීට පෙර ද ඉන්ධන ප්‍රවාහන නෞකා සහ අනෙකුත් නෞකාවලට පහරදෙන බවට තර්ජනය කළ අතර මුහුදු බෝම්බ අතුරා ඇති බවට ද අනතුරු අඟවා තිබිණි.