ඊශ්‍රායලය පුදුමයට පත් කළ ට්‍රම්ප්ගේ ලෙබනන් සටන් විරාමය

    • Author, ලුසී විලියම්සන්
    • Role, මැද පෙරදිග වාර්තාකරු
    • වාර්තාකරණය, නහාරියා සිට
  • කියවීමේ කාලය: මිනිත්තු 6

සටන් විරාමය පිළිබඳ පුවත උතුරු ඊශ්‍රායලයේ උතුරු දිග ජනාවාස ඔස්සේ පැතිරයාමත් සමග ලෙබනනයෙන් පැමිණෙන රොකට් ප්‍රහාර පිළිබඳව ජනතාව දැනුවත් කරමින් අනතුරු ඇඟවීමේ සයිරන් නළා අවස්ථා තුනකදී නාද විය.

උතුරු නහාරියා නගරයට ඉහළ අහසේදී එල්ල වූ රොකට් ප්‍රහාර වැළැක්වීමට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, එමගින් අහසේ විශාල පිපිරීම් ඇති විය. සටන් විරාමය ක්‍රියාත්මක වීමට පැය කිහිපයකට පෙර එල්ල වූ රොකට් උණ්ඩවල කැබලි හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබූ අතර ගිලන් රථ සේවකයින් පැවසුවේ ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය.

ඊශ්‍රායල් නායකයා සටන් විරාමයට අත්සන් කළේ ඇයි ද? යන්න සම්බන්ධයෙන් රට පුරා ඇත්තේ අවිනිශ්චිතතාවක් සහ සැකයකි.

"මට දැනෙන්නේ ආණ්ඩුව බොරු කළා කියලා අපිට. මේ පාර ඒක වෙනස් ආකාරයකින් අවසන් වනවා කියලා ඔවුන් පොරොන්දු වුණා, නමුත් අපි නැවත වරක් කිසි ම දෙයක් විසඳන්නේ නැතිව සටන් විරාම ගිවිසුමක් කරා ගමන් කරන බවක් පෙනෙනවා," නහාරියාහි සිසුවෙක් වන ගැල් පැවසීය.

"අපි ලෙබනන් රජයට අවස්ථාවක් දුන්නා, නමුත් ඔවුන් ගිවිසුමට එකඟ වෙන්න අසමත් වුණා. ඔවුන් හිස්බුල්ලා සංවිධානය නිරායුධ කළේ නැහැ," පසුගිය වසරේ හිස්බුල්ලා රොකට් ප්‍රහාරයකට ලක්වූ නිවසක හිමිකරුවෙකු වූ 32 හැවිරිදි ට්‍රක් රථ රියදුරෙකු වන මාඕර් පැවසුවේ ය.

"අපි ඒක කරන්නේ නැතිනම් කවුරුත් කරන්නේ නැහැ. ඔවුන් නතර වීම කනගාටුවට කරුණක්. මේ පාර සැලකිය යුතු ජයග්‍රහණයක් ලැබුණා වගේ පෙනුණා."

දකුණු ලෙබනනයේ ඊශ්‍රායලයට හමුදා සේනාංක පහක් ඇති අතර, ඊයේ (අප්‍රේල් 16) හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ, ඔවුන් ඉදිරියට යාම අඛණ්ඩව සිදුකරගෙන යන බව ය.

වාර්තා වන පරිදි සටන් විරාම නිවේදනය ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ සමාජිකයින් පමණක් නොව එරට බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ.

සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට ටික කලකට පෙර, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මිනිත්තු පහක දැනුම්දීමකින් ආරක්ෂක කැබිනට් රැස්වීමක් කැඳවූ බව ඊශ්‍රායලයේ ප්‍රසිද්ධ ප්‍රවෘත්ති ආයතනයක් වාර්තා කළේ ය.

රැස්වීමෙන් ලැබුණු වාර්තාවලින් කියැවෙන්නේ, සටන් විරාම තීරණය සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ට ඡන්දය දීමට අවසර නොලැබුණු බව ය.

ඊශ්‍රායලයට අවශ්‍ය කොන්දේසි හෝ කාල නියමානයක් තුළ නොවුණ ද, බොහෝ දෙනෙකුට මෙය සටන් නතර කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම්වලට නෙතන්යාහු හිස නැමීමේ තවත් උදාහරණයකි.

"ඊශ්‍රායලය ශක්තිමත් ස්ථානයක සිටින විට පමණක් සටන් විරාමයකට එකඟ විය යුතු යි, රටේ ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා හොඳ ම ක්‍රමය එය යි," ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සහ යෂාර් පක්ෂ ප්‍රධානී ගාඩි අයිසෙන්කොට් පැවසීය.

"ගාසාවල, ඉරානයේ සහ දැන් ලෙබනනයේ සටන් විරාම අපට බලහත්කාරයෙන් පැනවූ ආකාරයක් පෙන්නුම් කරනවා. නෙතන්යාහු හමුදාමය ජයග්‍රහණ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ බවට පරිවර්තනය කරන්නේ කොහොම ද කියලා දන්නේ නැහැ."

බෙන්ජමින් නෙතන්යාහු "සටන් විරාමය ලෙබනනය සමග ඓතිහාසික සාම ගිවිසුමකට එළඹීමට අවස්ථාවක්" ලෙස විස්තර කළ නමුත්, ඊශ්‍රායලය භුමියේ කිසිදු අතහැරීමක් සිදුනොකරන බව ද ඔහු පැවසීය.

"ඊශ්‍රායල හමුදාව ලෙබනනයෙන් පිටව යා යුතු බවත්, නිහඬතාවට නිහඬතාව, එනම් එක් පාර්ශවයකින් ප්‍රහාර එල්ල නොවන තෙක් ප්‍රතිප්‍රහාර එල්ල නොකරන" බවට වන කොන්දේසි දෙක හිස්බුල්ලා සංවිධානය ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය.

"මම කලින් එකටවත් දෙවැන්නටවත් එකඟ වුණේ නැහැ, මේ කොන්දේසි දෙක අනුගමනය කරන්නේ නැහැ. අපි ලෙබනන් ආරක්ෂක කලාපයක රැඳී සිටිනවා. අපි එහෙ ඉන්නවා, අපි පිට වෙන්නේ නැහැ." ඔහු පැවසීය.

මේ මස මුලදී ඇමෙරිකා එක්සත් ජනපදය සමග කෙටි සටන් විරාමයකට එකඟ වූ දා සිට, ලෙබනනයේ සිය මිත්‍ර පාර්ශවයක් වන හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සිදුකරන පහර දීම් නවත්වන්නැයි ඉරානය ඉල්ලා තිබිණි.

ලෙබනනයේ පවතින ඊශ්‍රායල් මෙහෙයුම් ඉරාන සටන් විරාමයට අදාළ නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භයේදී ම පැවසීය. පසුව, ඔහු කියා සිටියේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ආතතීන් අඩු කිරීමට තමන් උත්සහ කරන බව ය. ඉරානය සමග සාකච්ඡා නරක අතට හැරෙමින් පවතින අතර තාවකාලික සටන් විරාමය අවසන් වීමට ආසන්න බැවින් මෙවැන්නක් සිදුවෙමින් පවතී.

බෙන්ජමින් නෙතන්යාහු සහ ඊශ්‍රායල් හමුදා නායකයින් අවධාරණය කර ඇත්තේ ඉරානය සමග ඇති කර ගත් සටන් විරාමයට ලෙබනනයේ සටන් විරාමයක් ඇතුළත් නොවන බව ය.

පසුගිය සතියේ ඊශ්‍රායලයේ චැනල් 12 ප්‍රවෘත්ති ජාලය විසින් කරන ලද මත විමසුමකින් හෙළි වූයේ, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%ක් පමණ හිස්බුල්ලා සංවිධානයට එරෙහි අඛණ්ඩ ප්‍රහාරවලට සහය දක්වන බව ය.

වෙනත් සමීක්ෂණ තුනකින් යෝජනා වූයේ, ට්‍රම්ප් ඉරානය සමග එකඟ වූ සති දෙකක සටන් විරාමයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් බහුතරයක් විරුද්ධ බව ය.

"වොෂින්ටනයේදී ගිවිසුම් අත්සන් කරන්න පුළුවන්, ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙන්නේ ලේවලින් සහ විනාශ වූ ගෙවල්වලින්" යනුවෙන් උතුරු ඊශ්‍රායලයේ මැටේ ඒෂර් ප්‍රාදේශීය කවුන්සිලයේ ප්‍රධානී මෝෂේ ඩේවිඩොවිච් ඊශ්‍රායල් මාධ්‍ය වෙත පැවසීය.

"උතුරු ඊශ්‍රායලයේ වෙසෙන ජනතාව ගෝලීය ප්‍රචාරක හෝ දේශපාලන සංදර්ශනයක පසුබිම් චරිත නෙවෙයි" ඔහු තවදුරටත් පැවසීය.

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ සටන් විරාම ගිවිසුමේ සඳහන් වන්නේ, ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව, එවැන්නක් සිදුවීමට ආසන්න බව හෝ දැනටමත් සිදුවෙමින් පවතින බව විශ්වාස කරන්නේ නම්, ඊශ්‍රායලයට තවමත් තමන්ව ආරක්ෂා කර ගැනීමට සහ ඕනෑ ම වේලාවක පියවර ගැනීමට හැකි බව සහ මෙය 2024 නොවැම්බරයේ එකඟ වූ පසුගිය සටන් විරාමය අතරතුර ඊශ්‍රායලය තමන්ට තර්ජනයක් යැයි සැලකූ ඉලක්ක වෙත දිගින් දිගට ම ප්‍රහාර එල්ල කළ හැකි බව ය.

ඊශ්‍රායල් වැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් මෙම සටන් විරාමය හිස්බුල්ලා සමග පවතින ගැටුමෙන් ඉවත්වීමේ මාර්ගයක් ලෙස දකි යි.

නමුත් බොහෝ අය විශ්වාස කරන්නේ තම නායකයාට නැවත වරක් වොෂින්ටනයට අවශ්‍ය දේ අනුගමනය කිරීමට පීඩනයක් එල්ල වන බව සහ යුද්ධයේදී එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට සැමවිට ම එක ම ඉලක්ක නොමැති බව ය.