සීනි පාලනය කරගෙන අවුරුදු කෑම රස බලන්නේ කොහොම ද?

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වන අතර මෙම කාල වකවානුවේ බොහෝ දෙනෙක් විවිධ සාදවලට සහභාගි වෙති.

එමෙන් ම, මෙම කාලය තුළ බොහෝවිට සීනි අධික, තෙල් අධික ආහාර මෙන් ම මධ්‍යසාර භාවිතයට ද යොමු වීම සුලභ ය.

මෙවන් උත්සව කාලයක තමන්ගේ සෞඛ්‍ය යහපත් ලෙස තබා ගනිමින් ආහාරපාන භුක්ති විඳිමින් සතුටු වන ආකාරය පිළිබඳව පසුගිය දිනක විද්වත් වෛද්‍ය කණ්ඩායමක් පැහැදිලි කළේ ය.

බෝ නොවන රෝගවලින් සිදුවන මරණ

බෝ නොවන රෝග හේතුවෙන් වාර්ෂිකව මෙරට මරණ 83%ක් සිදුවන බවත් ඉන් 13%ක් අකාලයේ සිදුවන මරණ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම කියා සිටියා ය.

එලෙස බෝ නොවන රෝගවලින් 34%ක් හෘදය වස්තුව ආශ්‍රිත රෝගී තත්ත්වයන් නිසා මෙන් ම 14%ක් පිළිකා හේතුවෙන් සහ 9%ක් දියවැඩියාව නිසාත් තවත් 18%ක මරණ සංඛ්‍යාවක් අනෙකුත් නිදන්ගත රෝග හේතුවෙන් සිදුවන බවත් වෛද්‍යවරිය පැවසුවා ය.

දියවැඩියා රෝගීන්ට අවුරුදු සමරන්න වෛද්‍ය උපදෙස්

සීනි අධික ආහාර භාවිතයට ගන්නා අවුරුදු සමයේදී දියවැඩියා රෝගීන් එම රෝගය කළමනාකරණය කර ගත යුතු ආකාරය අන්තරාසර්ග විශේෂඥ වෛද්‍ය මනිල්ක සෝමතිලක පැහැදිලි කළේ ය.

අවුරුදු සමයට පෙර දියවැඩියාව රෝගයෙන් පෙළෙන රෝගීන් රෝග තත්ත්වය පරීක්ෂා කරගෙන වෛද්‍ය උපදෙස් ලබාගෙන අවුරුදු සැමරීමට සූදානම් වීම සුදුසු බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

"අපිට කිරිබත්, කැවුම්, කොකිස්, අලුවා ඒවා නැතුව අවුරුද්දක් නෑ. ඒක අපේ සම්ප්‍රදාය මේ රෝගය නිසාත් අපිට ඒවා සම්පූර්ණයෙන් ඉවත් කරන්න බැහැ, නමුත් යම් සීමාවන් ඇතුව දියවැඩියාවෙන් පෙළෙන කෙනෙකුට වුණත් සතුටින් අවුරුදු කන්න පුළුවන් කියලා තමයි මම ප්‍රකාශ කරන්නේ."

"කොණ්ඩ කැවුමක කැලරි 156ක් පමණ තියෙනවා. අලුවා කෑල්ලක කැලරි 88යි. තුනයි තුනේ සයිස් එකට කපන කිරිබත් කෑල්ලක කැලරි 320යි. සීනි වැඩි වෙන සංඝටකය කාබෝහයිඩ්ට්‍රේට් ග්‍රෑම් 45යි බත් කෝප්පෙක. පිඟන් කාලක කාබෝහයිඩ්ට්‍රේට් තියෙන්නේ ග්‍රෑම් 30යි. මේ ටික මතක තියාගන්න. සාපේක්ෂව අපි ගන්න ආහාරවල සීනි වැඩි වන ප්‍රවණතාව වෙනස්. මෙය හරියට දැනගෙන තමන්ගේ පිඟාන මේ අවුරුදු කාලෙදි සකස් කර ගත්තොත් වැඩි බලපෑමක් නැතිව මේ රෝගය පාලනය කර ගන්න පුළුවන්,"විශේෂඥ වෛද්‍ය මනිල්ක සෝමතිලක පැවසීය.

සීනි පාලනය කරගෙන අවුරුදු කෑම රස බලන අයුරු

එක වේලකට එක කැවිලි වර්ගයක් ආහාරයට ගැනීම සුදුසු බව විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කරන අතර ආහාරයට ගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන ලෙසට ද උපදෙස් දෙයි.

"හොඳට සීනි දාලා තේ එකක්, කිරි තේ එකක් බොන්නේ නැතුව අවුරුදු කියලා, සීනි නැතුව ප්ලේන් ටී එකක් බොන්න. එතකොට යම් ප්‍රමාණයක් වැඩි වෙන එක තව කොටසකින් අඩු වෙනවා. අපි හිතමු දවල්ට නේ නැකත තියෙන්නේ රෑ වෙනකොට හවස් වෙනකොට ගන්න ආහාර වේල සම්පූර්ණයෙන් ම කාබෝහයිඩ්‍රේට් නැතුව ගන්න. එළවළු තම්බලා සහ සුප් එකක් සහ මාළු කෑල්ලක් සහ ප්‍රෝටීන් තියෙන දෙයක් ගත්තොත් ඒ දවස ඇතුළත ම චාරිත්‍රානුකූලව කරන සියලු දේට සහභාගි වෙලා ඒ වැඩි වන ප්‍රමාණය බොහෝදුරට ඊළඟ දවස් දෙක තුන වෙනකොට සමනය කර ගන්න පුළුවන්."

"මම ආරාධනා කරනවා ඔබට අවුරුදු ජයට කන්න, සීමාවන් ඇතුළේ කියපු විදියට. ඊට පස්සේ දවස් දෙක තුනේ අඩු ගාණේ චාරිත්‍රානුකූල අවුරුදු ක්‍රීඩාවලත් යෙදෙන්න. එතකොට අවුරුදු ඉවර වෙලා වැඩ අල්ලන කාලය වෙනකොට අර වැඩි වෙච්ච සීනි ප්‍රමාණයෙන් මට කියන්න පුළුවන් සීයට අනූවක් ම ඔබට සමනය කර ගන්න පුළුවන්," යැයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ ය.

එමෙන් ම, දියවැඩියා රෝග සඳහා ඖෂධ භාවිත කරනු ලබන රෝගීන් නිසි මාත්‍රාවට නොනවත්වා තම ඖෂධ ලබා ගත යුතු බව ද ශ්‍රී ලංකා දියවැඩි සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සෝමතිලක අවධාරණය කළේ ය.

ආහාරයට ගන්නා කෑම ප්‍රමාණය අඩු කරන ක්‍රම කිහිපයක්

කැවිලි වර්ග කුඩා ප්‍රමාණයට සකස් කර ගැනීම වැනි ක්‍රම කිහිපයක් හරහා බෝ නොවන රෝග වළක්වා ගන්නා ආකාරය ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න පෙන්වා දුන්නා ය.

"අපිට සහ අමුත්තන්ට ආහාර බෙදා ගැනීමේදී කුඩා පිඟන් තියන්න පුළුවන්. එතකොට අපිට බෙදාගන්න ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේ ම මේවා හදන ප්‍රමාණය ඒකේ පෝෂන් සයිස් එක, කැවුමක ප්‍රමාණය, කිරිබත් කෑල්ලක් කපන ප්‍රමාණය, අළුවා කෑල්ලක් කපන ප්‍රමාණය කුඩාවට කැපීමෙන් අපිට අනුභව කරන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේ ම ගැඹුරු තෙලේ බදිනකොට නැවත නැවත එම තෙලේ ම ආහාර බැද ගැනීම සුදුසු නැහැ. එසේ කිරීමෙන් ශරීරයට අහිතකර ෆැට් වර්ග, ට්‍රාන්ස් ෆැටි ඇසිට් වගේ දේවල් එන්න පුළුවන්. ඒ තුළින් රුධිර වාහිනී බ්ලොක් වෙලා අපේ රුධිර ආඝාත, හෘදයාබාධ වගේ තියෙන අවදානම වැඩි වෙන්න පුළුවන්."

අවුරුදු කැවිලි රස බැලීමට පමණක් ආහාරයට ගැනීමෙන් ඒවායින් ඇති විය හැකි බෝ නොවන රෝග අවදානම අඩු කර ගත හැකි බව ද ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනවිරත්න කියා සිටියා ය.