'කබරගොයා තලගොයා කරන්න පුළුවන්' කී පොලිස් නිලධාරියෙකුට වසර 10කට පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

2016 වසරේ වෘත්තීය රාජකාරියක් ඉටු කිරීම සඳහා වැලිමඩ පොලිසියට ගිය නීතිඥවරයෙකුට "මට ඕන නම් තලගොයා කබරගොයා කරන්න පුළුවන්. කබරගොයා තලගොයා කරන්නත් පුළුවන්" යනුවෙන් ආවේගශීලී ආකාරයෙන් ප්‍රකාශ කරමින් අපහාසාත්මක භාෂාවක් භාවිත කර ගෞරවයෙන් හා ආචාරශීලී ලෙස සැලකීමට අපොහොසත් වීම තුළින් එවක වැලිමඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක පෙරේරා නමැත්තෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

එම සිද්ධියට මුහුණ දුන් නීතිඥ ආර්.එම්. සජිත් බණ්ඩාර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව සම්පත් අබේකෝන්, ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුණ ඔබේසේකර මෙම තීන්දුව ලබා දුන්නේ ය.

වසර 10කට පෙර සිදුවූ සිද්ධිය

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර තිබුණේ, 2016 වසරේ පෙබරවාරි මස 22 වන දා ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණු කීපයක් යුද හමුදාවට අයත් ලොරියකින් පැමිණි බව කියන පුද්ගලයින් පිරිසක් සොරකම් කළ බවට එම මණ්ඩලයෙන් පැමිණිල්ලක් ලැබී තිබූ බව ය.

ඊට අදාළව හමුදා නිලධාරීන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කළත් ඔවුන් හඳුනා ගැනීමක් සිදු නොවී ය.

පසුව තවත් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සමග පෙත්සම්කාර නීතිඥවරයා වැලිමඩ පොලිසියේ වගඋත්තරකාර වැඩබලන ස්ථානාධිපතිවරයා හමුවේ පෙනී සිට තිබේ.

ඒ අවස්ථාවේදී වගඋත්තරකාර වැඩබලන ස්ථානාධිපතිවරයා කෝපයට පත් මනෝභාවයකින් සිටි අතර "මේකට කළු කෝට් කාරයෙක් ඕන නෑ" යනුවෙන් කෑගැසූ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර නීතිඥවරයා වගඋත්තරකරු අමතා මේ හමුදා නිලධාරීන් සැකකරුවන් වශයෙන් අවශ්‍ය වේ ද? නැතිනම් ප්‍රකාශයක් පමණක් සටහන් කර ගන්නවා ද? යනුවෙන් විමසූ බවත් තීන්දුවේ සඳහන් වේ.

ඊට පිළිතුරු දුන් වගඋත්තරකරු "මට ඕන නම් තලගොයා කබරගොයා කරන්නත් පුළුවන්, කබරගොයා තලගොයා කරන්නත් පුළුවන්," යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

ඒ අවස්ථාවේදී වග උත්තරකරුට සන්සුන් වීමට ඉඩදීම වඩාත් සුදුසු යැයි වටහාගත් පෙත්සම්කාර නීතිඥවරයා එම කාර්යාලයෙන් පිටව ගිය බවත් තීන්දුවේ සඳහන් කර ඇත.

ඉන් අනතුරුව වග උත්තරකරුගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පෙත්සම්කාර නීතිඥවරයා විසින් ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව පෙත්සම්කාර නීතිඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ අතර, ඒ තුළින් ඔහු චෝදනා කර තිබුණේ වගඋත්තරකාර එවකට වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයා තමාට එරෙහිව ආක්‍රමණශීලී ආකාරයෙන් හැසුරුණු බවත්, වාචිකව බලපෑම් සිදු කරමින් නීතිඥවරයෙකු ලෙස තම වෘත්තිය රාජකාරීවල යෙදීම වළක්වාලීමට ක්‍රියාකර ඇති බවත් ය.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 11, 12(1) සහ 14(1)(උ) යන ව්‍යවස්ථාවන් මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටත් ඔහු සිය පෙත්සමෙන් චෝදනා කර තිබිණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අර්ජුණ ඔබේසේකර විනිසුරුවරයා කියා සිටියේ, මේ රටේ සෑම පුරවැසියෙකුට ම පැමිණිලිකරුවෙකු, සාක්ෂිකරුවෙකු හෝ සැකකරුවෙකු ලෙස පොලිස් ස්ථානයට යාමට සිදුවන අවස්ථා උදා විය හැකි බව ය.

පොලිස් නිලධාරීන් වෙත නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ බලය ලබා දී තිබෙන්නේ මහ ජනතාව බවත් එහිදී සෑම පුද්ගලයකුට ම නිසි ගෞරවය හිමි විය බවත් වගඋත්තරකරු සිහි තබාගත යුතු බවත් විනිසුරුවරයා අවධාරණය කළේ ය.

මහජනයාගේ අයිතීන් අපයෝජනය කිරීමට කිසිදු පොලිස් නිලධාරියෙකුට රජයෙන් බලපත්‍රයක් හිමි නොවන බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේ ය.

පොලිස් නිලධාරීන් නීතිඥවරුන්ට ආචාරශීලීව සැලකිය යුතු බවත් නීතිඥවරුන් ද ගෞරවණීය වෘත්තීමය ආකාරයෙන් හැසිරිය යුතු යි. ඒ මගින් ඔවුන්ගේ වෘත්තිය රාජකාරි ඉටු කිරීමේදී එකිනෙකාට අන්‍යෝන්‍ය ගෞරවය සහතික කළ යුතු බවත් විනිසුරුවරයා පැවසුවේ ය.

ඉදිරිපත් වූ සියලු කරුණු විශ්ලේෂණය කිරීමේදී වග උත්තරකාර පොලිස් පරීක්ෂකවරයා තමාට ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කළ බවටත් අපහාසාත්මක භාෂාවක් භාවිත කළ බවටත් තමන්ට ගෞරවයෙන් හා ආචාරශීලීව සැලකීමට අපොහොසත් වූ බවටත් ඉදිරිපත් කරන චෝදනා පෙත්සම්කරු තහවුරු කර ඇතැයි යන්න අධිකරණයේ මතය බවත් විනිසුරුවරයා කියා සිටියේය.

මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරුට නීතිය ඉදිරියේ ලැබිය යුතු සමාන සැලකීම වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා විසින් අහිමි කරනු ලැබ තිබෙන බව තීන්දු කළ විනිසුරුවරයා ඒ තුළින් වගඋත්තරකරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් සිය තීන්දුවේ සඳහන් කළේ ය.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර, වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් නීතිඥ ජේකොබ් ජෝසෆ් පෙනී සිටියේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඉඳුනි පුංචිහේවා පෙනී සිටියා ය.