සති 6ක් සීනි කෑමෙන් වැළකී සිටීමෙන් මා ඉගෙන ගත් දේවල් සහ ලැබූ අත්දැකීම්

    • Author, මෙලීසා හෝගන්බූම්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 11

අමතර සීනි අඩංගු ආහාර ඕනෑ ම තැනක තිබේ. ඇතැම් විට කිසිසේත් බලාපොරොත්තු නොවන ස්ථානවල පවා ඒවා දැකගත හැකි ය. සීනිවලින් තොරව ජීවත් වීම කොතරම් පහසු ද? එසේ කිරීමෙන් ඔබගේ සෞඛ්‍යයට ඇති විය හැකි වෙනස්කම් මොනවා ද?

සාමාන්‍යයෙන් මම නිවසේ පිසින පෝෂණීය ආහාර වේලක් ගැනීමට හුරුවී සිටිය ද පැණිරස කෑමට ඇති දැඩි රුචිකත්වය නිසා සෑම දිනක ම චොකලට් එකක් හෝ දෙකක් රසවිඳීමට ද පුරුදු වී සිටිමි.

නූතන ආහාර රටාව තුළ මෙලෙස අධික ලෙස සීනි පරිභෝජනය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බැවින්, එය එතරම් පුදුමයක් නොවේ. එය අපගේ දත්වලට මෙන් ම පොදුවේ සෞඛ්‍යයට ද අහිතකර වනවා සේ ම, පමණට වඩා සීනි ශරීරගත වීම දිගුකාලීනව මොළයේ ක්‍රියාකාරීත්වයේ ඌණතාවන්ට හේතු විය හැකි බවට ද සාක්ෂි පවතී.

සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ වාර්තාකරණය මගේ වෘත්තියේ දින චරියාවක් බැවින් පිරිපහදු කළ සීනිවලට අමතරව මේවායේ විවිධ රසකාරක සහ රසායනික ද්‍රව්‍ය රැසක් අඩංගු වීම පිළිබඳව මම වැඩිවශයෙන් කණස්සල්ලට පත්ව සිටිමි. ඇත්ත වශයෙන් ම, මා නිතර කෑමට ගන්නා එක් අතුරුපසක පමණක් දිනකට අවශ්‍ය යැයි නිර්දේශිත සීනි ප්‍රමාණයෙන් අඩකට වඩා අඩංගු වේ.

එක්සත් ජනපදයේ ආහාර මාර්ගෝපදේශවලට අනුව දිනකට ශරීරගත විය යුතු අමතර සීනි ප්‍රමාණය තේ හැඳි 12කට (ග්‍රෑම් 50ක් පමණ) වඩා අඩු විය යුතු ය. බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය නිර්දේශ කරන්නේ, එය තේ හැඳි 7කට (ග්‍රෑම් 30ක්) වඩා අඩු මට්ටමක තබා ගන්නා ලෙස ය. එහෙත් ජාතික සෞඛ්‍ය සහ පෝෂණ සමීක්ෂණ වාර්තාවලට අනුව එක්සත් ජනපදයේ වෙසෙන වැඩිහිටියෙකු දිනකට තේ හැඳි 16ත් 17කට වඩා ප්‍රමාණයක් (ග්‍රෑම් 65-70ක්) සීනි පරිභෝජනය කරයි. සීනි ග්‍රෑම් 4ක් යනු සාමාන්‍ය මට්ටමේ තේ හැන්දකි.

සීනි පරිභෝජනයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වීම පහසු කාර්යයක් නොවේ. එහෙත් දෛනික සීනි භාවිත කිරීමේ පුරුද්දෙන් මිදීමට හැකියාවක් තිබේ දැයි උත්සහ කර බැලීමට මම තීරණය කළෙමි.

සුපිරිසිදු සීනි අඩංගු කිසිදු ආහාරයක් සති හයක් යනතුරු ආහාරයට නොගැනීමේ අභියෝගය මම මටම පනවා ගත්තෙමි. මම මීපැණි සහ පලතුරු යුෂ පානය කිරීමෙන් ද වැළකී සිටි නමුත් නැවුම් පලතුරුවල අඩංගු ස්වාභාවික සීනි මෙන් ම සංකීර්ණ කාබෝහ‍යිඩ්‍රේට් අඩංගු ආහාර අඛණ්ඩව ලබා ගත්තෙමි. කාබෝහයිඩ්‍රේට ශරීරයට ලැබුණු විට අපගේ ශරීරය මගින් ඒවා ග්ලූකෝස් බවට පත් කරන අතර, එය අපගේ ශරීරයට සහ මොළයට අවශ්‍ය ප්‍රධානතම ශක්ති ප්‍රභවය වේ.

ආරම්භයේ සිට ම මගේ ශක්ති මට්ටම්වල සහ මට එය දැනුණු ආකාරයේ පුදුමාකාර වෙනස්කම් කිහිපයක් මම නිරීක්ෂණය කළෙමි. දහවල් ආහාරයෙන් පසු සාමාන්‍යයෙන් දැනෙන අලසකම නැති වී ගිය අතර, පැණිරස යමක් සොයා ගැනීමට නොහැකිව, මගේ ශීතකරණය දෙස බලා සිටි අතර මට යමක් මගහැරී ඇතැයි යන හැඟීම දැනෙන්නට විය.

සීනි හැම තැනක ම

පළමුවෙන් ම, අප ගන්නා ආහාරවලට කොතරම් සීනි ප්‍රමාණයක් එකතු කර ඇත්දැයි සිතා බැලීම වටී. මට ඉන් වැළකී සිටීම පුදුමසහගත ලෙස අපහසු කාර්යයක් විය. මා අසල ඇති සුපිරි වෙළෙඳසලක රාක්ක පරීක්ෂා කිරීමේදී, මා කිසිසේත් බලාපොරොත්තු නොවූ ආහාරවල පවා සීනි අඩංගු බව මම දුටුවෙමි. එහි තිබූ සාමාන්‍ය සැන්ඩ්විච් එකක සීනි ග්‍රෑම් 5.7ක් ද, ක්ෂණික බෝලොනීස් ආහාර වේලක සීනි ග්‍රෑම් 9ක් ද අඩංගු විය. උදෑසන ආහාර ලෙස ලබා ගන්නා බොහෝ ධාන්‍ය වර්ගවලට අමතර සීනි එකතු කර ඇති අතර, සුපිරි වෙළෙඳසල්වල බහුලව විකිණීමට ඇති පාන් පෙත්තක සීනි ග්‍රෑම් 1.2ක් පමණ අඩංගු වී තිබිණි.

අතිශයින් සැකසූ ආහාර වර්ග බොහොමයක සීනි බහුලව අඩංගු වේ. මේවා සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන බව දන්නා කරුණක් වන අතර, පලතුරු, එළවළු සහ නිවුඩ්ඩ සහිත ධාන්‍ය වැනි ස්වාභාවික ආහාරවලට වඩා මේවායේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන්නේ ඉතා අඩුවෙනි.

අප ගන්නා ආහාරවල විවිධ වර්ගයේ සීනි අඩංගු වේ. වඩාත් සුලභ වන්නේ ග්ලූකෝස් ය, නමුත් පලතුරු සහ සිරප්වල ෆෲක්ටෝස් ඇත, කිරිවල ලැක්ටෝස් අඩංගු වන අතර සහ සාමාන්‍යයෙන් පරිභෝජනය කරන සීනිවල සුක්‍රෝස් ද අඩංගු විය හැකි ය. අපගේ ආහාර වේලට බාහිරින් එකතු වන ප්‍රධානතම සීනි වර්ගය වන්නේ ද මෙය යි. මීට අමතරව, පලතුරු යුෂ, විවිධ පැණි වර්ග සහ මී පැණිවල ද මෙලෙස බාහිරින් එකතු වන සීනි අඩංගු වේ. මේවා ආහාරවල සෛල තුළ ස්වාභාවිකව බැඳී නොපවතින අතර, සෞඛ්‍යයට වඩාත් ම අහිතකර බලපෑම් එල්ල කරන්නේ මෙලෙස පිරිපහදු කර එකතු කළ සීනි වර්ග යි.

''පැණිරස රස බැලීමට කැමැත්තක් දක්වමින් තමයි අපි මව් කුසින් මෙලොව එළිය දකින්නේ, ළදරු අවධියේදී ශරීරයේ බර වැඩි කර ගත යුතු නිසා මව්කිරිවලත් මේ පැණිරස ගතිය අඩංගු වෙනවා," මිචිගන් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඈෂ්ලි ගියර්හාර්ඩ් පවසයි. ඇය පවසන පරිදි ගැටලුව වන්නේ, ඉතා අඩු වියදමකින් පැණිරස ලබා ගැනීමට හැකි වී තිබීම ය.

සීනිවලින් අපට සිදුවන්නේ කුමක් ද?

පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ, අප අධික සීනි සහිත ආහාර පරිභෝජනය කළ විට අපගේ රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බව ය. ආහාර ගැනීමෙන් පසු මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් වුව ද, එය නිරන්තරයෙන් ම සිදු වුවහොත් ශරීරය ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිරෝධයක් දැක්වීමට පටන් ගනී. එහිදී දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ අවදානම ඉහළ යයි. මීට අමතරව, අධික සීනි සහිත ආහාර රටා දත් දිරායාම, ශරීර ප්‍රදාහය, ස්ථූලභාවය, ඇල්සයිමර් රෝගය සහ පිළිකා වැනි බරපතළ සෞඛ්‍ය ගැටලුවලට හේතු වී ඇත.

"දැනටමත් වැරදි ආහාර රටාවන් නිසා ඇති වන දියවැඩියාව වැනි රෝගවලින් මිය යන පිරිස, මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිසා මිය යන පිරිස අභිබවා ගොස් තිබෙන අතර සෞඛ්‍යයට අහිතකර ආහාර, ලොව භයානක ම සහ මාරාන්තික ම ද්‍රව්‍යය බවට පත්වීමට දුම්කොළ සමග තරඟ වදින මට්ටමට පැමිණ තිබෙනවා," මහාචාර්ය ගියර්හාර්ඩ් පවසයි.

නිදසුනක් ලෙස, සීනි මගින් අක්මාවේ ඇති මේදය ඉහළ නංවන බව සොයාගෙන ඇත. අහඹු ලෙස සිදු කළ එක් පර්යේෂණයකදී සති කිහිපයක් පුරා අධික සීනි සහිත බීම වර්ග පානය කළ පුද්ගලයන් සමස්තයක් වශයෙන් එක ම කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කළත්, අක්මාවේ මේදය තැන්පත් වීම, සාමාන්‍ය අගයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබිණි.

කෝන් සිරප් වැනි ද්‍රව්‍යවල අඩංගු ෆෲක්ටෝස් අපගේ ශරීරය ක්‍රියාකාරීව තබා ගන්නා සෛලීය එන්ජිම වන මයිටොකොන්ඩ්‍රියා සඳහා විෂ සහිත වන බව මෙම පර්යේෂණයේ සම කර්තෘ මෙන් ම සීනිවල අහිතකර බලපෑම් පිළිබඳ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකු වන රොබට් ලස්ටිග් පැහැදිලි කරයි. "මෙම සීනි වර්ගය මගින් මයිටොකොන්ඩ්‍රියාවල ක්‍රියාකාරිත්වය අක්‍රීය කර, ශරීරයේ ශක්තිය වැයවීමේ ක්‍රියාවලිය අඩාළ කරනවා. එවිට ශරීරයට අලුතින් මයිටොකොන්ඩ්‍රියා නිපදවීමට සිදු වෙනවා," මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබට ක්ලාන්ත ගතියක්, තෙහෙට්ටුවක්, අලසබවක්, නිතර කේන්ති යාමේ ස්වභාවයක් සහ මනස අවුල්සහගත තත්ත්වයකට පත්වීමක් සිදුවිය හැකි බව ඔහු මට පැවසුවේ ය.

සීනි භාවිතයෙන් තොරව ගත කළ සති කිහිපය තුළ, දවස පුරා ම මගේ ශරීරයේ ශක්තිය එක හා සමාන මට්ටමක පවතින බව මට ද පැහැදිලිව ම දැනිණි.

මෑතකාලීන පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, සීනි අධික ආහාර පරිභෝජනය මානසික පීඩනය වැඩි කිරීමට මෙන් ම කාංසාව සහ විශාදය වැනි රෝග ලක්ෂණ ඇති කිරීමට ඍජුව ම දායක වන බව ය.

මෙය තරමක් බිය උපදවනසුලු කරුණක් වුව ද, සමබල ආහාර වේලක කොටසක් ලෙස සීමිත ප්‍රමාණයකින් සීනි ආහාරයට ගැනීම ගැටලුවක් නොවේ. එහෙත්, දැනටමත් අධික ලෙස සීනි පරිභෝජනය කිරීමට හුරු වී සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකගේ සෞඛ්‍යය නගාසිටුවීමට නම් ඔවුන් ගන්නා සීනි ප්‍රමාණය අවම කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.

සීනිවල ඇති ඇබ්බැහි කරවන ස්වභාවය

සීනි භාවිතය මුළුමනින් ම නතර කළ මුල් දින කිහිපය තුළ, විශේෂයෙන් ම විවිධ උත්සව අවස්ථාවලදී රසකැවිලි දකින විට, ඒවා රස බැලීමට දැඩි ආශාවක් ඇති විය.

මෙයට පැහැදිලි ජීව විද්‍යාත්මක හේතුවක් පවතී. ඇමෙරිකාවේ බිංහැම්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය හා ශුභසාධන අංශයේ සහකාර මහාචාර්යවරියක මෙන් ම ලියාපදිංචි පෝෂණවේදිනියක වන ලීනා බෙග්ඩාචේ පවසන පරිදි, අප සීනි ආහාරයට ගන්නා විට අපගේ මොළයේ රසායනික ක්‍රියාවලිය වෙනස් වේ. මෙම වෙනස් වීම, යම් පුද්ගලයෙකු ඔපියොයිඩ් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ විට මොළයේ සිදුවන වෙනස්කම්වලට බෙහෙවින් සමාන ය.

එමෙන් ම, පැණිරස ආහාර ගැනීමෙන් මොළයේ ඇති තෘප්තිමත්භාවය ඇති කරන පද්ධතිය සක්‍රීය වේ. පර්යේෂණවලට අනුව, සීනිවලට දැඩි කෑදරකමක් දක්වන පුද්ගලයන්ගේ මොළය තුළ, සීනි රස විඳින විට ඩොපමයින් නමැති සතුට ජනනය කරන හෝමෝනය ශ්‍රාවය වීම ඉහළ යයි. මේ හේතුවෙන් එවැන්නන්ට පැණිරස කෑමෙන් විශාල සතුටක් සහ තෘප්තියක් දැනේ.

මෙම කරුණු නිසා සීනි සතුව ඇබ්බැහි කරවීමේ ගුණයක් පවතින බව බොහෝ විශේෂඥයන් පිළිගන්නා නමුත්, මෙය තවමත් විවාදයට ලක්වන මාතෘකාවකි.

කෙසේ වෙතත්, මොළයේ ඇති මෙම ඩොපමයින් පද්ධතිය සීනිවලට හුරු වූ විට, පලතුරු වැනි ස්වභාවිකව පැණිරස ආහාර කෙරෙහි දක්වන උනන්දුව අඩු වී යන බව මහාචාර්ය ගියර්හාර්ට් පෙන්වා දෙයි.

ඇත්ත වශයෙන් ම, සීනි කෑමට ඇති ආශාව කෙතරම් දැඩි ද, එයින් ලැබෙන තෘප්තිය ද එතරම්ම ඉහළ ය. මෙමගින් අප නොදැනුවත්ව ම සීනි නැවත නැවතත් සොයන චක්‍රයකට සිරවන අතර, වැඩි වැඩියෙන් සීනි ඉල්ලා සිටින පරිදි අපගේ මොළය හැඩගැසීමට ද එය හේතු විය හැක. නිදසුනක් වශයෙන්, සති අටක් පුරා දිනපතා සීනි සහ මේදය අධික පුඩිං වර්ගයක් ආහාරයට ගත් පිරිසකගේ මොළය, සාමාන්‍ය අයට වඩා පැණිරස ආහාරවලට ඉතා සංවේදී ලෙස ප්‍රතිචාර දැක්වීමට පටන්ගෙන ඇති බව නිරීක්ෂණය වී ඇත.

සීනි භාවිතය අඩු කිරීම මෙතරම් අපහසු කාර්යයක් වී ඇත්තේ ඇයි ද යන්න තේරුම් ගැනීමට මෙම ඩොපමයින් චක්‍රය මගින් පුළුල් අත්වැලක් සපයයි. "ඇත්තට ම මෙතැනදී ඔබ ඔබේ ම සිරුරේ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලියට ප්‍රාණ ඇපකරුවෙකු වෙනවා, ඇබ්බැහි වීම කියන්නේ අන්න ඒකටයි. දැනට ඇමෙරිකානු ජනගහනයෙන් 20%ක් ම මේ විදිහට සීනිවලට ඇබ්බැහි වෙලයි ඉන්නේ," ලස්ටිග් පවසයි.

මෙම දැඩි ආශාව පාලනය කර ගැනීම සඳහා කෙසෙල් සහ බ්ලූබෙරි මිශ්‍ර කර, එයට කොකෝවා කුඩු හැන්දක් එකතු කර සාදාගන්නා පානයක් භාවිත කළෙමි. මිදි ආහාරයට ගැනීමෙන් ද මෙවැනි ම සහනයක් ලැබේ. එමෙන් ම දිනපතා ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම පුරුද්දක් කර ගැනීමෙන් ද සීනි කෑමට ඇති කැමැත්ත බොහෝ දුරට මගහරවා ගත හැකි ය.

පර්යේෂණ මගින් පෙන්වා දෙන පරිදි, සීනි අධික ආහාර ගත් පසු සිරුරේ රුධිර සීනි මට්ටම වේගයෙන් පහත වැටෙන අතර, ඉන්පසු පුද්ගලයෙකුට වෙනදාට වඩා තදින් බඩගිනි දැනෙන්නට පටන් ගනී. මේ සම්බන්ධයෙන් සිදුකළ එක් පරීක්ෂණයකදී, අධික ලෙස සීනි සහ පිරිපහදු කළ පිෂ්ටය අඩංගු පානයක් පානය කළ පුද්ගලයන්ට, පැය හතරකට පසු තද කුසගින්නක් ඇති වූ බව නිරීක්ෂණය විය. එමෙන් ම සරල ආහාර ලබා දුන් පිරිසට සාපේක්ෂව, මෙම සීනි අධික පානය ගත් අයගේ මොළයේ තෘප්තිමත්භාවය ඇති කරන ස්ථානය වඩාත් සක්‍රීය වී ඇති බව ද හෙළි විය.

අප සීනි භාවිතය නතර කළ විට සිදුවන්නේ කුමක් ද?

කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ පෝෂණවේදිනී ඩාලියා පෙරල්මන් පවසන පරිදි, අප සීනි අඩංගු ආහාර ගැනීම නතර කර දින කිහිපයක් ගත වන විට, සිරුර ඊට හුරු වී පෙර පරිදි සීනි බලාපොරොත්තු වීම අඩු කරයි. අපගේ දිවේ ඇති රස අංකුර මෙම වෙනසට අනුගත වීමට පටන් ගන්නා අතර, එමගින් පැණිරස හඳුනා ගැනීමට ඇති සංවේදීතාව තවදුරටත් ඉහළ යයි. මහා පරිමාණයෙන් නිපදවන කෘත්‍රිම පැණිරස ආහාරවලින් වැළකී සිටීම සිරුරේ රස පද්ධතියට ස්වාභාවික පැණිරසෙහි නියම රසය හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දෙන බව ගියර්හාර්ඩ් පෙන්වා දෙයි.

මගේ මෙම අත්හදා බැලීමේ තුන් වන සතිය පමණ වන විට, සිතාගත නොහැකි අපූරු වෙනසක් සිදුවන්නට විය. මට පෙර මෙන් නිතර නිතර පැණිරස කෑමට ඇති ආශාව නැතිවී ගොස් තිබිණි. සවස් වරුවේ කුසගින්නක් දැනුණු අවස්ථාවලදී පවා වෙළෙඳපොළේ ඇති පැණිරස කෑම වෙනුවට ඔලිව්, ඇට වර්ග සහ පලතුරු වැනි සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීමට මම පෙළඹුණෙමි.

බෙග්ඩෑෂ් පවසන පරිදි පැණිරස කෑමට ඇති ආශාව අඩු වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ, අප සීනි සහිත ආහාරවලට නිරාවරණය වීම අවම වීමයි. මෙය අපගේ ආසාවන් වෙනස් කිරීමට මෙන් ම සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය නැවත නිසි මගට ගැනීමට ද උපකාරී වේ.

"සීනි රස හඳුනා ගැනීමට අපගේ දිවට ඇති හැකියාව දැන් කොතරම් සියුම් වී ඇත්දැයි කිවහොත්, පෙර මෙන් වැඩිපුර සීනි අවශ්‍ය නොවන බව ඔබට ම වැටහෙයි" පෙරල්මන් පවසයි. ඇය දැන් ආහාරයට ගන්නේ නිවසේදී ම පිළියෙල කර ගත් සීනි අඩු කේක් වර්ග පමණක් වන අතර, කඩයෙන් මිල දී ගන්නා ඕනෑ ම කේක් කැබැල්ලක් අනුභව කිරීම ඇයට දැනෙන්නේ සීනි කැටයක් ඍජුව ආහාරයට ගන්නා වැනි හැඟීමකි.

මේ අතර බෙග්ඩෑෂ් පැහැදිලි කරන්නේ, ශරීරයේ අතිරික්ත කැලරි ප්‍රමාණය හේතුවෙන් ඉහළ යන ට්‍රයිග්ලිසරයිඩ නමැති සිරුරේ බහුලව ම දැකගත හැකි මේද වර්ගයේ මට්ටම ද මේ වන විට පහළ ගොස් ඇති බව ය. එමෙන් ම, පැණිරස ආහාර නිසා නිතර නිතර ඇති වන ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ යාම අවම වීම හේතුවෙන්, සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව ද වර්ධනය වී තිබේ. "මේක හරියට සිරුරේ ක්‍රියාකාරීත්වය නැවත මුල ඉඳලා පටන් ගත්තා වගෙයි" ඇය පවසයි.

පවුලේ උත්සවවලදී මෙන් ම මගේ උපන්දින සාදයේදී පවා කේක් කැබැල්ලක රස බැලීමට නොහැකි වීම විශාල අභියෝගයක් විය. අවට පරිසරය පුරා ම පැණිරස කෑම බීම බහුලව තිබීම නිසා, සීනි කෑමට ඇති ආශාව නිරන්තරයෙන් ම රැඳී තිබිණි.

එසේ වුව ද, ශරීරයට ලැබෙන සීනි ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වීමත් සමග ඩොපමයින් මුදාහැරීම ද සීමා වූ නිසා පැණිරස කෑමෙන් ලැබෙන තෘප්තිමත්භාවය ද ක්‍රමයෙන් පහව යන්නට ඇත.

සීනි භාවිතය සීමා කිරීමෙන් තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකි ය. සුළු පරිමාණයේ අත්හදාබැලීමක් සඳහා ළමුන් 41 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට දින 10ක් වැනි කෙටි කාලයක් සඳහා එකතු කරන ලද සීනි සහිත ආහාර පරිභෝජනයෙන් වැළකී සිටීමට උපදෙස් ලබා දුන්නේ ය. එම දින 10 අවසානයේදී, ඔවුන්ගේ රුධිර පීඩනය සහ ශරීරයේ අනවශ්‍ය මේදය අඩු වී තිබූ අතර, ඉන්සියුලීන් ප්‍රතිරෝධය පහළ ගොස් ඔවුන්ගේ හැසිරීම් රටාවේ ද පැහැදිලි යහපත් වෙනසක් දක්නට ලැබිණි.

සාමාන්‍යයෙන් අධික ලෙස සීනි අඩංගු අධිසැකසුම් ආහාර පිළිබඳව කෙරුණු වෙනත් පර්යේෂණයකින් හෙළි වූයේ, අවම වශයෙන් සැකසූ ස්වාභාවික ආහාර ගන්නා පුද්ගලයන්ට පැණිරස කෑමට ඇති ආශාව අඩු වන අතර ඔවුන් වඩාත් ක්‍රියාශීලී වන බව ය.

සීනි මගින් මගේ ශරීරයට සිදුවන බලපෑම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම නිසා, මගේ පුරුදු වෙනස් කර ගැනීම මට වඩාත් පහසු විය. ඒ සමග ම පැණිරස කෑම පිළිබඳව මා තුළ තිබූ ආකර්ෂණය ද අඩු වී ගියේ ය. මම නිවසේදී පැණිරස කෑම තබා ගැනීම සීමා කළ අතර, ඒ වෙනුවට සෞඛ්‍යයට හිතකර කෙටි ආහාර නිතර ම ළඟ තබා ගත්තෙමි. එමෙන් ම, විවිධ පැණි බීම වර්ග වෙනුවට දෙහි යුෂ බින්දු කිහිපයක් දැමූ සෝඩා පානය කිරීමට මම පුරුදු වීමි. එය මගේ පිපාසය සංසිඳුවීමට කදිම විසඳුමක් විය.

යළි සීනි භාවිතය

සති හයක කාලය අවසානයේදී, මගේ ආහාර වේලට නැවතත් සීනි එකතු කර ගැනීමට මට කිසිදු විශේෂ උවමනාවක් නොතිබුණු බව ස්ථිරව ම පැවසිය හැකි ය. මොළය තුළ ඇති වන, සීනිවලට ඇබ්බැහි කරවන ඇබ්බැහි වීමේ චක්‍රය දැන් නිහඬ වී ඇති බැවින් එය එසේ විය හැකි යැයි බෙග්ඩාෂේ මට පැවසුවා ය.

මට දැන් දිනපතා පැණිරස කෙටි ආහාර ගැනීමට ආශාවක් ඇති නොවේ. කෘත්‍රිමව සීනි එකතු කරන ලද ආහාර, සැබවින් ම සීනි ඉතා අඩු යැයි කියන උදෑසන ධාන්‍ය ආහාර පවා දැන් මට දැනෙන්නේ අධික ලෙස පැණිරස ආහාර ලෙස ය. මෙම වෙනස නිසා නැවතත් පෙර පරිදි දිනපතා පැණිරස කෑමට පෙළඹීමේ පුරුද්දෙන් මිදීමට මට පහසු වනු ඇතැයි පෙරල්මන් පවසයි.

එසේ නම්, මගේ සති හයක අත්හදා බැලීම අවසන් වූ පසු මා නැවතත් පැණිරස කෑමට පෙළඹේවි ද? කෙටියෙන් කිවහොත් "නැත". නමුත් මම මගේ ජීවන රටාවේ සුළු වෙනස්කම් කිහිපයක් කිරීමට සැලසුම් කර ඇත්තෙමි.

සීනි සම්පූර්ණයෙන් ම නතර කරනවා වෙනුවට, සතියේ දිනවල පමණක් සීනිවලින් වැළකී සති අන්තයේ පැණිරස තෑග්ගක සුඛෝපභෝගී අත්දැකීමක් ලෙස විඳ ගැනීමට මට අවස්ථාව ලැබේ. එමෙන් ම, පැණිරස ආහාර පිළිබඳ සිතන ආකාරය ද මම මුල සිට ම වෙනස් කර ගත්තෙමි.

අවසානයේදී, මම නැවතත් සීනි රස බැලීම සඳහා Triple chocolate chip cookie (එකක සීනි ග්‍රෑම් 28ක් අඩංගු වේ) එකක් තෝරා ගත් විට එය ආහාරයට ගන්නා විට මට කිසිදු ආසාවක් දැනුණේ නැත. මෙම ලිපියේ අරමුණ වෙනුවෙන් ම, මගේ ශරීරය ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ දැයි බැලීමට මම දැඩි පරිශ්‍රමයකින් එය ආහාරයට ගත්තෙමි.

එහි දැනුණේ අධික පැණි රසකි. චොක්ලට් රසයට වඩා මට දැනුණේ සීනි රසය යි. එය ආහාරයට ගෙන සුළු වේලාවකින් මගේ ශරීරයේ ශක්තිය මුළුමනින් ම පිරිහී යන බවක් දැනුණු අතර, සවස් වරුවේ කෙටි වේලාවක් නින්දට යාමට ද සිදු විය. මා එදින වාර්ෂික නිවාඩු ලබා සිටි බැවින් එම නින්ද ලබා ගැනීමට හැකි විය.

මීට කාලයකට පෙර මා නිතර ම ඉතා ආසාවෙන් ආහාරයට ගත් ඒ මිහිරි ආහාර වර්ග දැන් තවදුරටත් මට රසවත් ආහාර නොවේ. මම ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ආහාරයට ගෙන එය නතර කළෙමි.