ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොලිස් ස්ථානයකදී පියෙකු සහ පුතෙකු ඝාතනය කළ ඉන්දීය පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට ද්විත්ව මරණ දඬුවම්
සාතන්කුලම් පොලිස් ස්ථානයේදී පියෙකු සහ පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ මදුරෙයිහි අධිකරණයක් පුද්ගලයින් නව දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
ඊට අමතරව සියලු චූදිතයන්ට දඩ මුදල් ද නියම කෙරිණි.
කොවිඩ් -19 වසංගතය අතරතුර 2020 ජූනි 19 වන දින, ටුටිකොරින් දිස්ත්‍රික්කයේ සතාන්කුලම්හි ව්‍යාපාරිකයෙකු වන ජයරාජ් සහ ඔහුගේ පුත්‍රයා වන බෙනික්ස් පොලිසිය විසින් රඳවා තබාගෙන අමානුෂික ලෙස පහර දී තිබිණි.
ඉන්පසු දෙදෙනා ම ජූනි 21 වන දින කෝවිල්පට්ටි බන්ධනාගාරයේ රඳවා තබන ලදී. ජූනි 22 වන දින රාත්‍රී 9ට පමණ බෙනික්ස් මිය ගිය අතර, පසුදා උදෑසන ජයරාජ් ද මිය ගියේය.
මෙම සිදුවීම රට පුරා කැළඹීමක් ඇති කළේය. මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිසුරු මඩුල්ල ස්වේච්ඡාවෙන් නඩුවක් පවරා පොලිසියෙන් වාර්තාවක් ඉල්ලා සිටියේය. පසුව නඩුව මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) වෙත භාර දෙන ලදී.
මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වූයේ සාතන්කුලම් පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ශ්‍රීධර් ය. ඔහුට සහ තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නඩුවක් ද ගොනු කරන ලදී.
විත්තිකරුවන් 10 දෙනා ම වැඩ තහනම් කර, අත්අඩංගුවට ගෙන, මදුරෙයි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තබන ලදී. විත්තිකරුවන්ගෙන් එක් අයෙකු වන පාල්දුරෙයි 2020 අගෝස්තු මාසයේදී කොවිඩ් ආසාදනයෙන් මිය ගියේය.
'මානව අභිමානය උල්ලංඝනය කිරීමක්'
මෙම නඩුවේ කොටස් දෙකකින් යුත් පිටු 2,427කින් යුත් චෝදනා පත්‍රයක් CBI විසින් ගොනු කරන ලදී. නඩුව මදුරෙයි හි අධිකරණයේදී විභාග වූ අතර, පළමු අතිරේක සැසිවාරයේදී සියලු ම විත්තිකරුවන්ගේ ඇප අයැදුම්පත් ප්‍රතික්ෂේප කරන ලදී.
මාර්තු 23 වන දින, අධිකරණය සියලු විත්තිකරුවන් වරදකරුවන් බවට පත් කළ අතර, අප්‍රේල් 6 වන දින දඬුවම ප්‍රකාශයට පත් කළේය.
දඬුවම ප්‍රකාශ කිරීමට පෙර විනිසුරු මුතුකුමාරන් ප්‍රබල අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය."ඔවුන් දෙදෙනා මරා දැමීමේ අරමුණින් ඔවුන් මෙම ක්‍රියාව සිදුකර තිබෙනවා," ඔහු පැවසුවේය. මෙම නඩුවේදී කුමන ආකාරයේ දඬුවමක් ලබා දිය යුතුදැයි විමසූ විට, මධ්‍යම රජය පැවසුවේ උපරිම දඬුවම ලබා දිය යුතු බවයි. ඒ හා සමානව තමිල්නාඩු රජය ද පැවසුවේ වැරදිකරුවන්ට උපරිම දඬුවම ලබා දිය යුතු බවයි.
මෙය "මානව අභිමානය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීමක්" බව විනිසුරුවරයා පැවසීය.
"අධිකරණයට මේක නොසලකා හරින්න බැහැ එහෙම කරන්න අවස්ථාව ලබා දීමෙන් පසුව පවා ඔවුන් වෙනස් වෙලා නැහැ. කොවිඩ්-19 වසංගතය අතරතුර තමන්ගේ ජංගම වෙළෙඳසැල විවෘත කළ නිසා ඔවුන්ට මේ ආකාරයෙන් පහර දීලා තියෙන්නේ. මදුරාසි මහාධිකරණය නඩුව සැලකිල්ලට නොගත්තා නම්, ඔවුන්ගේ සිරුරු භූමදාන කරන්න කලින් ඔවුන්ට මේ සිද්ධිය වහල දාන්න ඉඩ තිබ්බා," ඔහු පැවසීය.
"ඔවුන් නිරායුධ පුද්ගලයින්ට පහර දුන්නා. ඔවුන්ට සමාවක් දෙන්න බැහැ. ඔවුන්ගේ වයස හෝ පවුල් පසුබිම නිසා ඔවුන්ට සමාවක් දෙන්න නැත්නම් අවම දඬුවමක් ලබා නොදිය යුතුයි. ඔවුන් උගත් අය, මහජනතාව ආරක්ෂාව කරනවා වෙනුවට පොලිසිය කළේ ප්‍රචණ්ඩකාරී ලෙස ඔවුන්ට පහර දෙන එකයි," ඔහු පැවසුවේය.
"බෙනික්ස්ගේ අම්මට ඇතිවෙලා තියෙන වේදනාව සමනය කරන්න කිසිම දෙයක් කරන්න බැහැ. පවුලක් ම විනාශ වෙලා. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීම පවා ඔවුන්ට ප්‍රමාණවත් වෙන්නේ නැහැ," මේ සිදුවීම දැකීමෙන් තමන්ගේ සිතට දැඩි වේදනාවක් දැනෙන බව ඔහු කියා සිටියේය.
විනිසුරුවරයා පැවසුවේ මෙය විරල ගණයේ නඩු විභාගයක් බවය.
"එවැනි අපරාධයක් සිදුකළාට පසුව ද තමන් අවුරුදූ 14කට පස්සේ නිදහස් වේවි කියලා ඔවුන් හිතෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට ඉඩ දෙන්න අධිකරණය සූදානම් නැහැ," යනුවෙන් එක් එක් වරදකරුට දඬුවම ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවේය.
දඬුවම් සහ දඩ නියම වුණේ කාට ද?
ද්විත්ව මරණ දඬුවම (දෙවරක් එල්ලා මැරීම) හැරුණු විට, ප්‍රධාන වැරදිකරු වන පොලිස් පරීක්ෂක ශ්‍රීධර් ඇතුළු විත්තිකරුවන් 9 දෙනාට ම විවිධ වගන්ති යටතේ වසරක සිට වසර හතක් දක්වා සිර දඬුවම් සහ ඉන්දීය රුපියල් හැත්තෑ හය ලක්ෂ තිස් අටදහසක මුළු දඩ මුදලක් ද නියම කර තිබේ.
අධිකරණය පොලිස් පරීක්ෂක ශ්‍රීධර්ට රුපියල් විසි හතර ලක්ෂ දස දහසක දඩයක් නියම කළේය.
දෙවන වරදකරු වූ බාලක්‍රිෂ්ණන්ට නීතියේ විවිධ වගන්ති යටතේ වසරක සහ වසර හතක සිර දඬුවමක්, ද්විත්ව මරණ දඬුවමක් සහ රුපියල් දහසය ලක්ෂ අසුදහසක දඩයක් නියම කළේය.
තුන්වන වරදකරු වූ රඝුගනේෂ්ට නීතියේ විවිධ වගන්ති යටතේ වසරක සහ වසර හතක සිර දඬුවමක්, ද්විත්ව මරණ දඬුවමක් සහ ඉන්දීය රුපියල් පන් ලක්ෂ විසිදහසක දඩයක් නියම විය.
සිව්වන වරදකරු වූ ප්‍රධාන කොස්තාපල් මුරුගන්ට ද්විත්ව මරණ දඬුවමක් මෙන් ම නීතියේ විවිධ වගන්ති යටතේ වසරක සිට අවුරුදු හතක් දක්වා සිර දඬුවමක් සහ ඉන්දීය රුපියල් දස ලක්ෂ දස දහසක දඩයක් ද නියමවිණි.
පස්වන වරදකරු වූ සමදුරෙයිට නීතියේ විධිවිධාන යටතේ ද්විත්ව මරණ දඬුවම, වසරක සිට වසර හතක් දක්වා සිර දඬුවමක් සහ රුපියල් පන් ලක්ෂ හැටදහසක දඩයක් නියම විය.
හයවන වරදකරු වන මුතුරාජාට නීතියේ විවිධ වගන්ති යටතේ වසරක සිට වසර හතක් දක්වා සිර දඬුවමක් සහ ද්විත්ව මරණ දඬුවමක් නියම කරන ලදී. ඔහුට රුපියල් තුන් ලක්ෂ විසිදහසක දඩයක් ද නියම කරන ලදී.
හත්වන වරදකරු වූ සෙල්ලදුරෙයිට ද්විත්ව මරණ දඬුවමක් මෙන්ම නීතියේ විවිධ වගන්ති යටතේ වසරක සිට වසර හතක් දක්වා සිර දඬුවමක් සහ රුපියල් දාහතර ලක්ෂ හතලිස් දහසක දඩයක් ද නියම විය.
අටවන වරදකරු වූ තෝමස් ෆ්‍රැන්සිස්ට නීතියේ විවිධ වගන්ති යටතේ ද්විත්ව මරණ දඬුවමක් සහ වසරක සිට වසර හතක් දක්වා සිර දඬුවමක් මෙන්ම ඉන්දීය රුපියල් දස ලක්ෂ පනස් හතර දහසක දඩයක් නියම විය.
නවවන වරදකරු වන වේළුමුත්තුට ද ද්විත්ව මරණ දඬුවමක් නියම වූ අතර, නීතියේ විවිධ වගන්ති යටතේ වසරක සිට වසර හතක දක්වා සිර දඬුවමක් සහ රුපියල් දස ලක්ෂ පනස් හතර දහසක දඩයක් ද නියම කෙරිණි.
බෙනික්ස්ගේ සහෝදරිය පැවසුවේ කුමක් ද?
"2020දී, මගේ තාත්තා සහ සහෝදරයා විමර්ශනයක් කියලා අමානුෂික විදිහට ඝාතනය කළා. වසර 6 කට පසුවත්, අපට යුක්තිය ඉටු වේවී කියලා අපි බලාපොරොත්තු වුණා. අද ඒක අපට ලැබුණා," බෙනික්ස්ගේ සහෝදරිය වාර්තාකරුවන්ට පැවසුවාය.
මෙය තම පවුලට පමණක් නොව සාමාන්‍ය ජනතාවටද යුක්තිය ඉටු වීමක් බව ඇය පැවසීය.
"වෙන කිසි ම පවුලකට මේ වගේ දෙයක් සිදු නොවෙනවා නම් අපි කැමති. වැරදිකරුවන් ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කලොත්, අපි අධිකරණය හමුවට ගිහිල්ලා අපේ අන්තිම හුස්ම දක්වාම සටන් කරනවා," ඇය පැවසුවාය.
එවැනි සිදුවීමක් නැවත සිදු නොවිය යුතු බව අධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය. "මේ වගේ සිදුවීමක් නැවත සිදු නොවේවායි අපි බලාපොරොත්තු වෙමු," යනුවෙන් විනිසුරුවරයා තම බලාපොරොත්තුව පළ කළේ ය.