එක්සත් ජනපදයෙන් ඉරානයේ මිසයිල අංගණ සහ බෝට්ටු වෙත ප්‍රහාර

    • Author, ටෝබි මාන්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

දකුණු ඉරානයේ මිසයිල ස්ථානගත කර ඇති අංගණ සහ බෝම්බ ඇටවීමට උත්සාහ කරන බෝට්ටු ඉලක්ක කර ගනිමින් නව ප්‍රහාර දියත් කළ බව අමෙරිකානු හමුදාව පවසයි.

"ඉරාන හමුදාවන්ගේ තර්ජන වලින් ඇමරිකානු හමුදා ආරක්ෂා කිරීම සඳහා ආත්මාරක්ෂක පියවරක්" ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම අණදෙන විධානය පැවසීය.

"වත්මන් සටන් විරාමය අතරතුර ප්‍රවේශමෙන් ක්‍රියා කරමින් තම හමුදා සෙබළුන් ආරක්ෂා කිරීම අඛණ්ඩව සිදුකරන බව" ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානයේ ප්‍රකාශක කපිතාන් ටිම් හෝකින්ස් පැවසීය.

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි, එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල යම් ප්‍රගතියක් ලබා ඇති නමුත් ගැටුම අවසන් කිරීමේ ගිවිසුමකට "ආසන්න නොමැති" බවට පවසා ඇති පසුබිමක මෙම ප්‍රහාර එල්ල විය.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති විය හැකි සාම ගිවිසුමකට ඉන් කුමන බලපෑමක් ඇති කරයිද යන්න පැහැදිලි නැත.

ප්‍රහාරවලින් පසුව ද, ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන ඔවුන්ගේ විදේශ අමාත්‍යවරයා සහ කටාර් අගමැති අතර අඟහරුවාදා පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳ අවධානය යොමු කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ එකඟතාවකට පැමිණීමට තවමත් අවස්ථාව ඇති බවය.

"ප්‍රගතියක් ලබා ගන්න හැකිදැයි අපි සොයා බලනවා. ලේඛනයේ අන්තර්ගත විය යුතු නිශ්චිත භාෂාව පිළිබඳව දෙපාර්ශවය අතර නැවත නැවත ලොකු කතා බහක් සිද්ධ වෙනවා, ඒ නිසා එයට දින කිහිපයක් ගතවනවා" රුබියෝ ඉන්දීය සංචාරය අතරතුර වාර්තාකරුවන්ට පැවසීය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "එකඟතාවයකට පැමිණීමට ඔහුගේ කැමැත්ත පෙන්නුම් කර ඇති බව" ඔහු පැවසීය.

"ජනාධිපති ට්‍රම්ප් හොඳ ගිවිසුමකට එළඹෙයි, නැත්නම් කිසිම එකඟතාවකට පැමිණෙන්නේ නැති වෙයි," රුබියෝ පැවසීය.

සති අන්තයේදී ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ දෙපාර්ශවයම ගිවිසුමකට එළඹීමට ඉතා ආසන්නව සිටින බවයි. කෙසේ වෙතත්, පසුව ඔහු තම සාකච්ඡාකරුවන්ට උපදෙස් දී තිබුණේ ඒ සඳහා "හදිසි නොවන" ලෙසයි. මේ අතර රූබියෝ පවසා තිබුණේ ඉකුත් සඳුදා වන විට එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි නාවික කඳවුරක් සහිත දකුණු ඉරාන වරාය නගරයක් වන බන්ඩාර් අබ්බාස් අසල ප්‍රදේශයකට මෙම ප්‍රහාර එල්ල වූ බවට කපිතාන් හෝකින්ස් පැවසූ බවය.

පිපිරීම් ශබ්ද ඇසීමෙන් පසු බන්ඩාර් අබ්බාස් හි ප්‍රාදේශීය නිලධාරීන් ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව ඉරාන රාජ්‍ය මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.

නමුත් ''සාකච්ඡා කෙරෙන බොහෝ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකඟ වී තිබුණද, ගිවිසුමක් අත්සන් කරන බව පැවසීමට එය කල් වැඩියි" ඊට ප්‍රතිචාර දක්වමින් බකායි පැවසීය.

සාකච්ඡා කෙරෙන අවබෝධතා ගිවිසුමට සටන් විරාමය දින 60ක් දක්වා දීර්ඝ කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ වැඩිදුර සාකච්ඡා සඳහා සැලැස්මක් ඇතුළත් වන බව වාර්තා වේ.

බීබීසී පුවත් සේවයේ ඇමෙරිකානු පාර්ශවකරු වන CBS ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි බාහිර ලෝකය සමඟ ඉතා සීමිත සම්බන්ධතාවක් සහිත සැඟවුණු ස්ථානයක රැඳී සිටින බව එක්සත් ජනපද බුද්ධි අංශ විශ්වාස කරන බවය. මේ හේතුවෙන්, ඉරානයේ උත්තරීතර නායකයා සහ ඔහුගේ නියෝජිතයන් අතර පණිවිඩ හුවමාරුව ප්‍රමාද සහ දුෂ්කර වන අතර, එය ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා මන්දගාමී කරයි.

ඇමරිකානු මාධ්‍යවලට අනුව, සාකච්ඡා වහාම අවසන් විසඳුමක් කරා යොමු නොවනු ඇත. ඉරාන සම්බාධක, සහන පිළිබඳ විස්තර, ඉරාන අරමුදල් නිදහස් කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් මැඩපැවැත්වීම සඳහා එක්සත් ජනපද ඉල්ලීම් ඇතුළු මතභේදාත්මක කරුණු පසුව සාකච්ඡා කරනු ඇත.

යුද්ධය ආරම්භයේදී, ඉරානය සතුව 60% දක්වා බලගන්වන ලද යුරේනියම් කිලෝග්‍රෑම් 440 ක් පමණ තිබූ බව විශ්වාස කෙරේ, එය ආයුධ ශ්‍රේණියට ඉතා ආසන්නය. මෙම මට්ටම 90% දක්වා බලගැන්වීම ඉතා පහසුවෙන් කළ හැකි අතර න්‍යායාත්මකව ගතහොත් එය න්‍යෂ්ටික බෝම්බයක් සෑදීම දක්වා වර්ධනය කළ හැකිය.

ඉරානයේ බලගන්වන ලද යුරේනියම් "වහාම" ඇමෙරිකා එක්සත් ජනපදයට භාර දෙන බව හෝ වඩාත් සුදුසු නම්, ඉරානයේ සහයෝගයද ඇතිව එම ස්ථානයේදීම එය විනාශ කරන බව ට්‍රම්ප් පැවසීය.

අප්‍රේල් 8 වන දින සිට එක්සත් ජනපදය සහ ඉරාන හමුදා සටන් විරාමයකට එළඹ සිටිති. ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය පාලනය කර ඇති අතර, එක්සත් ජනපද නාවික හමුදාව ඉරාන වරායන් අවහිර කිරීමට උත්සාහ කර ඇත.

පෙබරවාරි 28 වන දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි පුළුල් ප්‍රහාර එල්ල කළ අතර එය මැද පෙරදිග පුරා ගැටුම් ඇති කළේය. ඉරානය ඊට ප්‍රතිචාර දැක්වූයේ ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ ඇමරිකා එක්සත් ජනපදයේ මිත්‍ර රාජ්‍යයන්ට පහර දීමෙන් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙනි. මෙම පියවර ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාමට හේතු විය.