ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වාහන ලීසිං සහ රන් ණය සීමා කිරීම: මහ බැංකුව නව රෙගුලාසි පැනවූයේ ඇයි?
සඳුදා (මැයි 25) සිට බලාත්මක වන පරිදි මෝටර් රථ සම්බන්ධයෙන් ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ වන වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමා දැඩි කිරීමට මහ බැංකුවේ පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතවල සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මීට අමතරව රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරන ලබන ණය පහසුකම් සඳහා වටිනාකම් මත ලබාදෙන උපරිම ණය අනුපාත සඳහා ද සීමාවක් හඳුන්වා දීමට මහ බැංකුව පියවර ගෙන ඇත.
වාහන සම්බන්ධයෙන් මහ බැංකුව ගත් තීරණය
මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති නව පියවර අනුව වාණිජ වාහන (commercial vehicles) සඳහා ලබා දෙන ලීසිං සීමාව 60% දක්වා පහත හෙළීමට නියෝග කර තිබේ.
ඒ අනුව මෙතෙක් පැවති වාහනයක් මිල දී ගැනීම සඳහා ලබා දිය හැකි උපරිම ලීසිං සීමාව වාහනයේ වටිනාකමින් 70%ක අගයේ සිට 60% දක්වා පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
මීට අමතරව මෝටර් රථ, SUV, වෑන්රථ සහ ත්‍රීරෝද රථ ඇතුළු පෞද්ගලික වාහන මිල දී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමේදී ඒ සඳහා ලබා දිය හැකි උපරිම සීමාව 50% සිට 40% දක්වා අඩු කර තිබේ.
පළමු ලියාපදිංචියෙන් පසු වසරකට අඩු කාලයක් ශ්‍රී ලංකාවේ භාවිත කර ඇති ලියාපදිංචි නොකළ වාහන (unregistered) සහ ලියාපදිංචි වාහන (registered) සම්බන්ධයෙන් මෙම නවතම උපදෙස් අදාළ වන බව මහ බැංකුව පවසයි.
පළමු ලියාපදිංචියෙන් පසු වසරකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ භාවිත කරන ලද ලියාපදිංචි වාහන සඳහා උපරිම ණය වටිනාකම් අනුපාතය ලෙස 60%ක සීමාවක් පනවා තිබේ.
එමෙන් ම දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වාහන ආනයනය සඳහා වන විධිවිධාන ද ඇතුළත් වන අතර 2025 නොවැම්බර් 08 සිට 2026 මැයි 25 දක්වා විවෘත කරන ලද ණයවර ලිපි යටතේ ආනයනය කරන ලද වාහන, පෙර මූල්‍ය සීමා යටතේ ම ඒ සඳහා සුදුසුකම් ලබන බව මහ බැංකුව නිවේදනය කර සිටියි.
මෝටර් රථ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම්වල මෑත කාලයේදී ඇති වූ සැලකිය යුතු වර්ධන සහ එවැනි ප්‍රවණතා ඉදිරියටත් පැවතීම මගින් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයකට එළඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
'පොළී අනුපාතිකය අඩු නිසා ණය ගැනීම වැඩි වෙලා'
ශ්‍රී ලංකා මහ බැංකුව මෙවැනි ප්‍රතිපත්තමය තීරණයක් ගැනීමට හේතුව කුමක් විය හැකි දැයි බීබීසී සිංහල කළ විමසීමට පිළිතුරු දෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ, පොළී අනුපාතික අඩු මට්ටමක පැවතීම හේතුවෙන් මහ බැංකුව ණය ගැනීම් සීමා කිරීමේ අරමුණින් මෙවැනි තීරණයක් ගෙන ඇති බව ය.
"ලංකාවේ පසුගිය මාස 18ක වගේ කාලය ගත්තට පස්සේ සැලකිය යුතු මට්ටමක මුදල් සැපයුමේ ප්‍රසාරණයක් දකින්න පුළුවන්. විශේෂයෙන් මහ බැංකුව සතු පදනම් මුදල් රුපියල් බිලියන 500කට ආසන්න ප්‍රමාණයක වැඩි වීමක් අපට පෙන්නුම් කරනු ලබනවා. මේ නිසා රටේ සමස්ත මුදල් සැපයුමේ වර්ධනයක් අපිට දකින්න ලැබුණා. ඒ වගේ ම පොළී අනුපාතිකය අඩු මට්ටමක තියෙන්නේ. මේ පොළී අනුපාතිකය අඩු තත්ත්වයක් තුළ මුදල් සැපයුමේ වර්ධනයක් සිදුවන අවස්ථාවක පෞද්ගලික අරමුණු සඳහා ණය ගැනීම් වැඩි වෙලා තියෙනවා."
"මෙතන සිද්ධ වෙන දේ තමයි ආයෝජනය සඳහා නෙමෙයි පෞද්ගලික පාරිභෝජනය සඳහා ණය ගත්තට පස්සේ ඒ තුළ වෙනත් රටවල් වලට ඇදී යන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පොළී අනුපාත අඩුවෙලා තියන නිසා ණය අරන් ගොඩක් දෙනා වාහන ගෙන්වන්න විදේශ රටවල්වලට ඒ මුදල් යොමු කරනවා. එතකොට විදේශ රටවලට ගලාගෙන යන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේක යම් විදිහකට පාලනය කරන්න තමයි මහ බැංකුව වාහන සඳහා දෙන ලීසිං සීමාව පහත දැමීම වගේ ම රන් භාණ්ඩවලට ලබාදෙන උපරිම ණයවලට සීමා පනවන්නේ," මහාචාර්යවරයා පැවසීය.
පොළී අනුපාත වෙනස් කළ යුතු ද?
පෞද්ගලික අංශයේ ණය ගැනීම පාලනය කිරීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුවට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පවතින බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
"මහ බැංකුවට ගන්න පුළුවන් ප්‍රතිපත්ති රැසක් තියෙනවා. පොළී අනුපාතික ඉහළ නැංවීම එක් ප්‍රතිපත්ති උපකරණයක් පමණයි. ඊට අමතරව වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කරන්න සංචිත අනුපාතයක් තියෙනවා. ඒ අනුපාතය වැඩි කළා ම පෞද්ගලික බැංකුවලට ණය දෙන්න පුළුවන් සීමා අඩු වෙනවා. ඒ වගේ ම වරණීය පොළී අනුපාතිකයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට ආයෝජන කටයුතුවලට නම් මේ පවතින පොළී අනුපාතිකයත්, පෞද්ගලික ණය මුදල්වලට නම් වැඩි පොළී අනුපාතිකයකුත් අය කරන්න පුළුවන්," ඔහු පැහැදිලි කළේ ය.
කෙසේ නමුත් පොළී අනුපාත ඉහළ දැමීමේදී රටේ සමස්ත පොළී අනුපාතිකය ඉහළ නැංවෙන නිසා භාණ්ඩාගාර බිල්පත් සඳහා ලබා දෙන පොළී අනුපාතය ද වැඩිවීම හේතුවෙන් රජය ණය ගන්නා අවස්ථාවලදී ඒ සඳහා ගෙවීමට සිදුවන පොළී අනුපාතය ද වැඩිවීම හේතුවෙන් වක්‍රාකාරව නැවත රටේ ජනතාවට අනවශ්‍ය බරක් පැටවෙන බව ද මහාචාර්යවරයා පැවසීය.
වාහන ආනයනකරුවන් නොසතුටින්
මේ අතර, වාහන සඳහා ලබා දෙන ණය සීමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබ ඇති තීරණය පිළිබඳ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සිය නොසතුට පළ කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මහ බැංකුව ගෙන ඇති තීරණය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති වාහන විකුණා ගැනීම ද වාහන ආනයනකරුවන්ට ගැටලුවක් වී ඇති බවය.
"අද උදේ ඇත්තට ම සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් නිකුත් කරලා තියෙනවා සර්කියුලර් එකක්. ඒකට අනුව අද ඉඳලා දැනට ගෙන්නපු වාහනවලටත් සීයයට 40ක් දක්වා උපරිම ණය අනුපාත සීමාව අඩු කරලා තියෙනවා. පෞද්ගලික ආනයනකරුවන්ට ඒක සීයයට 50ක් විතර ලබා දීලා තියෙනවා. මම දන්නේ නැහැ ඒක ගවනර්ගේ අතින් වෙච්ච වැරදීමක් ද නැත්නම් මොකක්ද මේ කන්සෙප්ට් එක කියලා."
"මොකද අපි සියලු දෙනා දන්නවා මේක ලොකු ඉන්ඩස්ට්‍රි එකක් මේකෙන් රාජ්‍ය අදායම විශාල ප්‍රමාණයක් ලැබෙනවා. මේ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ප්‍රමාණයක් රැඳිලා ඉන්නවා. විශේෂයෙන් ම මේ ආපු වාහන රජයට ඔක්කොම ටැක්සස් එහෙම ගෙවලා තියෙනවා. අපිට වාහනයක් විකුණගන්න තියෙන අවස්ථාව අඩු කරලා තියෙනවා. සීයට 50ක් වගේ තිබ්බ ලීසිං දෙන එක සීයයට 40ක් දක්වා අඩු කරලා තියෙනවා. ඒක කොච්චර එතිකල් ද නැද්ද කියන එකත් අපිට ප්‍රශ්නයක්."
"මුදල් අමාත්‍යවරයාත් එක්ක මේ ගැන කතා කරන්න සාකච්ජාවක් ඉලන්න අපි සූදානම් වෙලා තියෙනවා. ඇත්තට ම මේ වගේ තීරණ ගන්නකොට ගෙනාපු වාහන, LC ඕපන් කරපු වාහනවලටත් මේ අවස්ථාව ලබා දෙන්න ඕන. එහෙනම් මේ වගේ තීන්දුවක් ගන්න තිබුණේ ඉදිරියේදී ණයවර ලිපි විවෘත කරන වාහනවලටයි," ඔහු පැවසුවේ ය.