2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක්

2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙල මේ දිනවල ජපානයේ අයිචි සහ නගෝයා නගරවලදී පැවැත්වේ. එහි ඔක්: 23 උදෑසන පැවැති මලල ක්‍රීඩා තරගවලින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි සහ ජනනි ධනංජනා වික්‍රමසිංහ සමත් වූහ.
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙල මේ දිනවල ජපානයේ අයිචි සහ නගෝයා නගරවලදී පැවැත්වේ. අද (ඔක්: 23) උදෑසන පැවති මලල ක්‍රීඩා තරගවලින් රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි සහ ජනනි ධනංජනා වික්‍රමසිංහ සමත් වූහ.

ප්‍රදීප් සෝමසිරි රන් පදක්කම දිනා ගත්තේ, මීටර 1500, T46 පිරිමි ධාවන ඉසව්වෙනි.

එහි අවසන් තරගයේදී ඔහු මිනිත්තු 4:03.25ක කාලයක් සටහන් කරමින් රන් පදක්කමක් දිනා ගත්තේ ය.

එය නව තරගාවලි වාර්තාවක් වීම ද විශේෂත්වයකි.

එමෙන් ම, කාන්තා දුර පැනීම T47 අවසන් තරගයට එක් වූ ජනනි ධනංජනා වික්‍රමසිංහ ද නව තරගාවලි වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගත්තා ය.

ඇය මෙම ඉසව්වේදී ප්‍රදර්ශනය දක්ෂතාව සටහන් වූයේ, මීටර 5.52ක් ලෙස ය.

ජනනි මෙම ක්‍රීඩා උළෙලේදී දිනා ගත් දෙවන පදක්කම මෙය වේ.

මීට පෙර මීටර 200 කාන්තා T47 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ද ඇය සමත් වූවා ය.

ඒ, තත්පර 25.80ක දක්ෂතාවක් දක්වමිනි.

මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව මෙතෙක් පැමිණි ගමන් මග

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

5 වන වරට පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා ‍උළෙලේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දුන්නේ දුර පැනීම T47 පිරිමි ඉසව්වෙන් තරග කළ මොහොමඩ් සෆ්රාන් ක්‍රීඩකයා ය.

ඔහු මීටර 6.55ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.

එමෙන් ම එම ඉසව්වේ සිව් වන ස්ථානය හිමි වූයේ, ශ්‍රී ලංකා ක්‍රීඩක එස්. යූසුෆ්ට ය.

පිහිනුම් ක්‍රීඩිකා ගලිනා බස්නායක මීටර 400 නිදහස් ආර S9 කාන්තා පිහිනුම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ, මිනිත්තු 4:59.58ක කාලයක් වාර්තා කරමිනි.

යගුලිය විසි කිරීම F42 පිරිමි ඉසව්වට තරග කළ පාලිත බණ්ඩාර එහි රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඒ, මීටර 14.02ක දක්ෂතාවක් දක්වමිනි.

මීටර 400 පිරිමි T47 ඉසව්වට තරග කළ සමන් සුබසිංහට ලෝකඩ පදක්කම හිමි වූ අතර, ඔහුගේ තරග නිමි කාලය සටහන් වූයේ තත්පර 50.03ක් ලෙස ය.

මීටර 100 සමනල ආර S9 පිරිමි පිහිනුම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නවීඩ් රහීම් සමත් විය.

ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව මිනිත්තු 1:03.29කි.

ඒ අනුව, ශ්‍රී ලංකාව මෙවර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 16 වන ස්ථානයේ පසු වන්නේ රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමගින් මුළු පදක්කම් 8ක් දිනා ගනිමිනි.

2026 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 24 දක්වා පැවැත්වෙන 5 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලට රටවල් 45කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000කට ආසන්න පිරිසක් සහභාගී වෙති.

මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වන්නේ, ආසියානු පැරාලිම්පික් කමිටුවට අයත් සියලු ම රටවල්වලින් මෙන් ම සරණාගත ක්‍රීඩක කණ්ඩායමක් ද සහභාගී වීම ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙක් ඊට සහභාගී වී සිටිති.

මලල ක්‍රීඩා, පිහිනුම්, රෝද පුටු ටෙනිස්, බැඩ්මින්ටන් සහ ටේබල් ටෙනිස් ක්‍රීඩා ඉසව්වලට ඔවුහු තරග කරති.