ජනනි ධනංජනා: පොදු රාජ්‍ය මණ්ඩලයීය පැරා ක්‍රීඩා උළෙලේ එක ම ශ්‍රී ලංකා කාන්තා නියෝජනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2026 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හිදී පැවැත්වීමට නියමිත අතර, සත්කාරක දේශය මගින් තෝරාගත් ඉසව් පමණක් මෙම ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇති බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමිව ඇත්තේ, පැරා ක්‍රීඩකයෙකුට සහ ක්‍රීඩිකාවකට පමණි.
ඒ අනුව මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පැරා තරග සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ එක ම ක්‍රීඩිකාව වන්නේ ජනනි ධනංජනා ය.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරදී පැවැත්වෙන එම ක්‍රීඩා උළෙලේදී ජනනි T47 මීටර් 100 කාන්තා ධාවන ඉසව්වට තරග කිරීමට නියමිත ය.
ජනනි ධනංජනා යනු කවුද?
2005 වසරේ ජූලි 21 වන දා කුලියාපිටියේදී උපත ලද ජනනි අධ්‍යාපනය ලැබුවේ කුලියාපිටිය සුරදූත බාලිකා මහා විද්‍යාලයෙනි. උපතින් ම ඇගේ දකුණු අත ආබාධිත තත්ත්වයකින් යුතු වූ අතර, එම ආබාධ තත්ත්වය හමුවේ පසුබට නොවූ ඇය ජාතික මට්ටම පමණක් නොව ජාත්‍යන්තරය ද ජය ගත් ක්‍රීඩිකාවක බවට පත්වූවා ය.
අතක ඉහළ හෝ පහළ ආබාධිත පුද්ගලයන් සඳහා වෙන් වූ T46/T47 කාණ්ඩයේ පැරා තරග සඳහා ඇයට යොමුවීමට අවස්ථාව උදාවූයේ, අහඹු ලෙස ය.
2018 වසරේ පාසලේ පැවති නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලකදී ජනනි දුටු, වයඹ පළාත් ක්‍රීඩා පුහුණුකරුවෙකු වූ නලින්ද සෙනරත් ඇය පැරා මලල ක්‍රීඩා තරග සඳහා යොමු කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනනි දැක්වූ දක්ෂතා
ජනනි මීටර් 100 සහ මිටර් 200 සහ දුර පැනීම යන ඉසව්වලට දක්ෂතා දක්වන්නී ය.
2019 වසරේ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජනනි, මීටර 100, 200 සහ දුර පැනීම යන ඉසව් තුනෙන්ම රන් පදක්කම් දිනා ගත්තා ය.
එපමණක් නොව එම වසරේ ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ඇය දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කළා ය.
2021 වසරේ බහරේනයේ පැවති ආසියානු යොවුන් පැරා මලල ක්‍රීඩා උළෙලේදී ඇය මීටර 100, මීටර් 200 සහ දුර පැනීම යන ඉසව් තුනෙන් ම ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත්තා ය.
චීනයේ සත්කාරකත්වයෙන් 2023 වසරේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී දුර පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ජනනි සමත් වූ අතර ඇය 2024 වසරේදී ජපානයේ පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී දුර පැනීම ඉසව්වෙන් 7වන ස්ථානය ලබා ගත්තා ය.
සැබෑ වූ ඔලිම්පික් සිහිනය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම වසරේදී ම පැරාලිම්පික් තරග සඳහා සුදුසුකම් ලැබීමේ සිහිනය සැබෑ කර ගැනීමට ජනනි සමත් වූවා ය. 2024 පැරිස් පැරාලිම්පික් උළෙලේදී දුර පැනීම ඉසව්වට තරග කළ ඇය 9 වන ස්ථානයට පත් වූවා ය.
පසුගිය වසරේදී ඉන්දියාවේ දිල්ලි නුවර පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී දුර පැනීමේ ඉසව්වෙන් ලෝකයෙන් ම සත්වැන්නා බවට පත්වීමට ජනනි සමත් විය.
ඇයට 2026 පොදු රාජ්‍ය මණ්ඩල තරග බිමට එක් වීමට අවස්ථාව හිමි වන්නේ ඉන්දියාවේ පැවති එම පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී මීටර 100 ඉසව්වට ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනි. ඇය එහි මූලික වටයේ තරගයකදී මීටර 100 ඉසව්වට තම පුද්ගලික හොඳ ම කාලය ද සටහන් කිරීමට සමත් වූවා ය.
එමෙන් ම, මෙම වසරේදී ඩුබාහිදී පැවති ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 ඉසව්වට ඇය දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රේණිගත කිරීමෙහි 6 වන ස්ථානය ලබා ගැනීමට ද ඇයට හැකි වූයේ ද, ජනනිට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට තරග කිරීමේ අවස්ථාව හිමි වූයේ ද ඉහත තරගාවලි දෙකේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන එම ක්‍රීඩා උළෙලේදී මීටර 100 ඉසව්වට පෞද්ගලික ඉහළ ම දක්ෂතාව ද දක්වමින්, පදක්කමක් කරා ගමන් කිරීම සිය අරමුණ බව ජනනි පැවසීය.






























