බලයට පත්වූ පළමු වසර තුළ ට්‍රම්ප් ඉපයූ ක්‍රිප්ටෝ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියනය ඉක්මවයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කැලී හේස්
- Role, තාක්ෂණ වාර්තාකරු
- Author, පීටර් හොස්කින්ස්
- Role, ව්‍යාපාරික වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේ ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර ගනුදෙනුවලින් ඩොලර් බිලියන 1.4කට (£1.05bn) වඩා උපයාගෙන ඇති බව ඔහුගේ වාර්ෂික වත්කම් පිළිබඳ මූල්‍ය වාර්තාව (mandatory financial report) අනුව අනාවරණය වෙයි.
පිටු 927කින් සමන්විත වත්කම් හා ආදායම් හෙළිදරව් කිරීමේ වාර්තාවකදී, ඔහු Celebration Coins නම් ආයතනයකින් ඩොලර් මිලියන 635ක ආදායමක් ලබාගෙන ඇති බව වාර්තා කළේ ය. ඔහු බලයට පත්වීමට දින කිහිපයකට පෙර සිට වටිනාකම පහත වැටී ඇති $TRUMP meme coin පිටුපස එම ආයතනය සිටින බව සැලකේ.
ඔහු තම පුතුන් සහ ඔහුගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ගේ දරුවන් විසින් ආරම්භ කරන ලද ක්‍රිප්ටෝ මුදල් සමාගමක් වන වර්ල්ඩ් ලිබර්ටි ෆයිනෑන්ෂල් වෙතින් ඩොලර් මිලියන 500කට අධික ආදායමක් ලැබූ බව වාර්තා කළේ ය.
ජනාධිපති ධූරයෙන් ඔහු ලාභ ලබන බවට එල්ල වන චෝදනා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කළේ ය. ට්‍රම්ප් පැවසුවේ, "හැමෝම" ඉහළ යන කොටස් වෙළෙඳපොළවලින් ලාභ ලබන බවත්, තමන් පෞද්ගලික මූල්‍ය කටයුතුවලට සම්බන්ධ නොවූ බවත් ය.
ඔහුගේ නවතම මූල්‍ය ප්‍රකාශය අනුව, ක්‍රිප්ටෝ ආශ්‍රිත ඉපැයීම්වල මුළු අගය ඩොලර් 1,430,390,415කි.
මේ අතර, පසුගිය වසරේ ට්‍රම්ප්ගේ මුළු ආදායම අවම වශයෙන් ඩොලර් බිලියන 2.2ක් වූ අතර, එය 2024 සඳහා ඔහු හෙළි කළ ඩොලර් මිලියන 600ක ආදායමට වඩා බෙහෙවින් වැඩි අගයකි.
ට්‍රම්ප්, තම ව්‍යාපාර ඔහුගේ පුතුන් විසින් කළමනාකරණය කරනු ලබන භාරකාර මණ්ඩලයක් හරහා ක්‍රියාත්මක වන බව දිගින් දිගට ම අවධාරණය කර ඇති ධවල මන්දිරය, කිසිදු ළැදියාවන් අතර ගැටුමක් නැතැයි අවධාරණය කරයි.
ධවල මන්දිර නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ඇනා කෙලී පැවසුවේ, ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදය "ලෝකයේ ක්‍රිප්ටෝ අගනුවර" බවට පත් කළ බව ය.
"ජනාධිපතිවරයා හෝ ඔහුගේ පවුලේ අය කිසි විටෙකත් ළැදියාවන් අතර ගැටුමකට සම්බන්ධ වී නැත - ඉදිරියේදීත් එවැන්නක් සිදු නොවනු ඇත," ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා ය.
ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය: "ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය විසින් ගනු ලබන සියලු ම ක්‍රියාමාර්ග ඇමෙරිකානු ජනතාවගේ යහපත සඳහා ගනු ලැබේ. 'වාර්තාකරුවෝ' ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ මාධ්‍ය දශකයක් තිස්සේ භාවිත කරන, අසත්‍ය තොරතුරු නැවත නැවත මතු කරති."
ළැදියාවන් අතර ගැටුම්වලට අදාළ ෆෙඩ්රල් නීතිවලට තමා අදාළ නොවන බව ජනාධිපතිවරයා ම අවධාරණය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බදාදා ට්‍රම්ප් වාර්තාකරුවන්ට මෙසේ පැවසීය: "කොටස් වෙළෙඳපොළ ඉහළ යන නිසා, හැමෝම ලාභ ලබනවා. ඒ නිසා මම ලාභ ලබන්නේ කොහොම ද කියලා ඔබ දන්නවා."
ඔහු මෙසේ පැවසීය: "මම මගේ පෞද්ගලික මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වන්නේ නැහැ; මගේ මුදල් කළමනාකරණය කිරීම සඳහා අප සතුව අරමුදල් තිබෙනවා."
"ජනාධිපති වීමට පෙර මම විශාල මුදලක් උපයා තිබෙනවා; ඔවුන් මගේ මුදල් ආයෝජනය කරන අතර, මම ඔවුන් සමග කතා කරන්නේ නැහැ."
ට්‍රම්ප් වරක් ක්‍රිප්ටෝ මුදල් විවේචනය කළ අතර, 2021 වසරේදී ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, බිට්කොයින් යනු "වංචාවක්" සහ "සිදුවීමට නියමිත ව්‍යසනයක්" බව ය.
නමුත් වසර තුනකට පසු ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර, ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපදය "ග්‍රහලෝකයේ ක්‍රිප්ටෝ අගනුවර" බවට පත් කිරීමට තමාට අවශ්‍ය බව ය. පසුගිය වසරේ ඔහු නැවත ධවල මන්දිරයට පැමිණි විට ඔහුගේ පළමු ක්‍රියාමාර්ගවලින් එකක් වූයේ ක්‍රිප්ටෝ කර්මාන්තයේ "වගකිවයුතු වර්ධනයට සහය වීම" සඳහා විධායක නියෝගයක් ලබා දීම ය.
ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ ධවල මන්දිරයේ ප්‍රධාන ආචාර ධර්ම නීතිඥවරයා ලෙස සේවය කළ රිචඩ් පේන්ටර් බීබීසීයට පැවසුවේ, ට්‍රම්ප් ක්‍රිප්ටෝ මුදල්වලින් ඩොලර් මිලියනයක් උපයා ගැනීම "අසාමාන්‍ය" තත්ත්වයක් බව ය.
"ඇත්තට ම ඒක ළැදියාවන් අතර ගැටුමක්," ඔහු පැවසීය.
රේමන්ඩ් ජේම්ස් වෙල්ත් මැනේජ්මන්ට් ආයතනයේ පෞද්ගලික සේවාදායකයින් පිළිබඳ අධ්‍යක්ෂ විල් වෝකර්-ආර්නට් මෙසේ පැවසීය: "ඔහුගේ ප්‍රවේශය, මුදල් ඉපැයීම සම්බන්ධයෙන් පෙර ජනාධිපතිවරුන්ට වඩා වෙනස් යැයි මම සිතමි"
"ජිමී කාටර් ඔහුගේ රටකජු ගොවිපළ කිසිදු මැදිහත් වීමකින් තොර බාහිර භාරකාර අරමුදලකට පැවරීය. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජනාධිපති වීමට පෙර ටෙක්සාස් රේන්ජර්ස්හි ඔහුට අයත් වත්කම් විකුණා දැමීය, නමුත් ට්‍රම්ප් ඉතා වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වන අතර මෙම පවුලේ ක්‍රිප්ටෝ සමාගම හරහා විශාල මුදලක් උපයන බව පෙනේ."
ට්‍රම්ප්ගේ බයිබල්, ඔරලෝසු සහ සුවඳ විලවුන්
අඟහරුවාදා වත්කම් ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ, ඔහුගේ ක්‍රිප්ටෝ ඉපැයීම්, දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමට වඩා බෙහෙවින් අඩු බව ය.
ට්‍රම්ප් ඔහුගේ Mar-a-Lago සමාජයෙන් ඩොලර් මිලියන 77ක් සහ ෆ්ලෝරිඩාවේ ඩොරල්හි ඔහුගේ ගොල්ෆ් සමාජයෙන් ඩොලර් මිලියන 122ක් උපයා ඇත.
ඔහු නිව් ජර්සිහි බෙඩ්මින්ස්ටර්, ෆ්ලොරිඩාහි ජුපිටර් සහ ස්කොට්ලන්තයේ ටර්න්බෙරිහි ගොල්ෆ් සමාජවලින් ඩොලර් මිලියන 30කට වඩා උපයා ඇත.
වත්කම් ප්‍රකාශයට අනුව ට්‍රම්ප් වෙනත් ව්‍යාපාරවලින් ද මිලියන ගණනක් මුදල් උපයා ඇත.
ට්‍රම්ප් සන්නාමය සහිත ඔරලෝසු ආදී භාණ්ඩ අලෙවියෙන් ඩොලර් මිලියන 4.7ක ආදායමක් ලබා ඇති අතර, ඊට ට්‍රම්ප් සන්නාමය සහිත බයිබල්, සුවඳ විලවුන් සහ ගිටාර් ද ඊට ඇතුළත් විය.
ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් ද 2025 සිට ඇය ලබා ඇති ආදායම වත්කම් ප්‍රකාශයේ සඳහන් කර ඇත. පසුගිය වසරේ නිකුත් කරන ලද ඇය පිළිබඳ වාර්තා චිත්‍රපටයට අදාළ "බලපත්‍ර ගිවිසුමකින්" ඇය ඩොලර් මිලියන 10.7ක් උපයා ඇත.
ඉන්ටර්නෙට් හරහා අලෙවි කරන විවිධ ද්‍රව්‍ය (NFT) අලෙවි කිරීමෙන් ඇය තවත් ඩොලර් මිලියන 6ක ආදායමක් ලබා ඇත.
විවිධ නීතිමය ක්‍රියාමාර්ගවලින් ලැබුණු පියවීම්වලින් ඩොලර් මිලියන 86.5ක පමණ ආදායමක් ජනාධිපතිවරයා ලබා තිබේ.
ඒ අතරට ABC මාධ්‍ය ජාලයට එරෙහි නඩුවකින් ඩොලර් මිලියන 16ක්, CBS Broadcasting සහ CBS Interactive වෙතින් ඩොලර් මිලියන 16ක්, Meta වෙතින් ඩොලර් මිලියන 24.5ක්, YouTube වෙතින් ඩොලර් මිලියන 22ක් සහ X වෙතින් ඩොලර් මිලියන 8ක් ඇතුළත් විය.
එහෙත්, ධවල මන්දිරය පවසා ඇත්තේ එම මුදලින් වැඩි ප්‍රමාණයක් ට්‍රම්ප්ගේ අනාගත ජනාධිපති පුස්තකාලයට හෝ වොෂින්ටන් ඩීසී ප්‍රදේශයේ උද්‍යාන නඩත්තු කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතනයකට යොමු කළ බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ෆෝබ්ස් සඟරාව විසින් සම්පාදනය කරන ලද ලොව ධනවත් ම පුද්ගලයින්ගේ ලැයිස්තුවකට අනුව, ට්‍රම්ප්ගේ ධනය ඩොලර් බිලියන 6ක් ලෙස ඇස්තමේන්තු කර ඇත - එය 2024 දී ඩොලර් බිලියන 2.3ක් විය. බ්ලූම්බර්ග්හි බිලියනපතියන්ගේ දර්ශකය ජනාධිපතිවරයාගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 7.6ක් ලෙස දක්වයි.
ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු, ට්‍රම්ප් ඔහුගේ පවුලට සම්බන්ධ සමාගම් ඩිජිටල් ටෝකන් නිකුත් කළ විට පවා, ක්‍රිප්ටෝ කර්මාන්තයට මිත්‍රශීලී ප්‍රවේශයක් අනුගමනය කළේ ය.
ට්‍රම්ප් විසින් පත් කරන ලද මූල්‍ය නියාමන ආයතනය වන සුරැකුම්පත් හා විනිමය කොමිසම, ක්‍රිප්ටෝ කර්මාන්තයේ සගයෙකු ලෙස ද සැලකේ.
2025 අප්‍රේල් මාසයේ බලයට පත්වීමෙන් පසු, පෝල් ඇට්කින්ස් ඔහුගේ පූර්වගාමියාගේ දැඩි, නියාමනය මගින් බලාත්මක කිරීමේ ප්‍රවේශයෙන් ආයතනය ඉවත් කර ඇත.
"ඩිජිටල් වත්කම්වල අවිවාදිත ප්‍රමුඛයා ඇමෙරිකාව බවට පත් කිරීම" සඳහා ජනාධිපතිවරයා පසුගිය ජූලි මාසයේදී GENIUS පනතට අත්සන් තැබීය.
පිටු 900කට වඩා වැඩි සංඛ්‍යාවකින් යුත් ට්‍රම්ප්ගේ වාර්ෂික වත්කම් ප්‍රකාශය ඔහුට පෙර සිටි ජනාධිපතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ අභිබවා යයි. නිදසුනක් වශයෙන්, ජෝ බයිඩ්න්ගේ අවසන් නිල කාලය සඳහා වූ මූල්‍ය වාර්තාව පිටු 11කට සීමා විය.


































