ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මතුවෙමින් පවතින අභ්‍යන්තර තොරතුරු මත පදනම් වූ වෙළෙඳාම පිළිබඳ සැකයන්

US President Donald Trump arrives for a prime-time address to the nation in the Cross Hall of the White House in Washington, DC, US, on Wednesday, 1 April, 2026.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Image

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති නිවේදනවලට පෙර සිදු කරන ලද අසාමාන්‍ය වෙළෙඳ ගනුදෙනු කිහිපයක් වෙළඳපොළ නිරීක්ෂකයින් ඉස්මතු කර ඇත
කියවීමේ කාලය: මිනිත්තු 7

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය පුරාවටම ඔහු ප්‍රධාන නිවේදන නිකුත් කිරීමට පෙර වෙළෙඳුන් ඩොලර් මිලියන ගණනින් ඔට්ටු අල්ලමින් සිටියහ.

මූල්‍ය වෙළඳපොළ කිහිපයක වෙළඳ පරිමාව පිළිබඳ දත්ත BBC ය විසින් පරීක්ෂා කළ අතර ඒවා ජනාධිපතිවරයාගේ වඩාත්ම වැදගත් වෙළඳපොළ චලනය කරන ප්‍රකාශ කිහිපයකට ගැලපුණි.

සමාජ මාධ්‍ය සටහනක් පළ කිරීමට හෝ ජනමාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවක් ප්‍රසිද්ධියට පත් කිරීමට පැය කිහිපයකට පෙර හෝ ඇතැම්විට මිනිත්තු කිහිපයකට පෙර ස්ථාවර ඉහළ යාමේ රටාවක් ඉන් හෙළිකර ගත්තේය.

ඇතැම් විශ්ලේෂකයින් පවසන්නේ එහි නීති විරෝධී අභ්‍යන්තර වෙළඳාමේ ලක්ෂණ (අභ්‍යන්තර තොරතුරු මත පදනම්) තිබෙන බව සහ එමඟින් සාමාන්‍ය ජනතාවට ලබා ගත නොහැකි තොරතුරු මත පදනම්ව පුද්ගලයින් ඔට්ටු අල්ලන බවයි.

අනෙක් පිරිස් පවසන්නේ තත්ත්වය වඩාත් සංකීර්ණ බව සහ ඇතැම් වෙළෙඳුන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම් අනුමාන කිරීමේදී වඩාත් දක්ෂ වී තිබෙන බවයි.

2026 මාර්තු 9: 'යුද්ධය බොහෝ දුරට සම්පූර්ණයෙන්ම අවසන්'

විශාලතම වෙනස්කම් කිහිපයක් ඉදිරි වෙළෙඳ ගිවිසුම් මත සිදුවන තෙල් වෙළඳාමේදී සිදුවී ඇත.

ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වී දින නවයක් ගතවිමෙන් අනතුරුව ට්‍රම්ප් CBS පුවත් සේවය සමඟ දුරකතනය ඔස්සේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ගැටුම "බොහෝ දුරට සම්පූර්ණයෙන්ම අවසන්" බවයි."

  • 18:29 GMT: තෙල් සඳහා ඔට්ටු ඇල්ලීම ඉහළ යාම
  • 19:16 GMT: යුද්ධය අවසන් වීමට ආසන්න බව ට්‍රම්ප් පවසයි
  • 19:17 GMT: Oil drops by 25% තෙල් මිල සියයට 25 කින් පහළ යයි

සම්මුඛ සාකච්ඡාව පිළිබඳව මහජනතාව පළමුවරට දැනගත්තේ නැගෙනහිර වේලාවෙන් (19:16 GMT) වාර්තාකරු ඒ පිළිබඳව X හි පළකළ අවස්ථාවේදීය.

ගැටුම බලාපොරොත්තු වූවාට වඩා බොහෝ ඉක්මනින් අවසන් විය හැකි බවට වන මෙම පුවතට තෙල් වෙළෙන්දන් ප්‍රතිචාර දැක්වූ අතර ඒ සමග තෙල් මිල සියයට 25 කින් පමණ පහළ ගියේය.

කෙසේ වෙතත්, වෙළෙඳපොල දත්ත වලින් පෙනී යන්නේ වාර්තාකරුගේ සටහනට මිනිත්තු 47 කට පෙර GMT 18:29 ට තෙල් මිල පහත වැටීම මත ඔට්ටු ඇල්ලීමේ විශාල වැඩිවීමක් ඇති බවයි.

මෙම ඔට්ටු ඇල්ලීම් සිදුකළ වෙළෙඳුන් තෙල් මිලෙහි සිදු වූ මෙම වෙනස මගින් ඩොලර් මිලියන ගණනක් උපයා ගන්නට ඇත.

2026 මාර්තු 23: 'සතුරුකම් සඳහා පූර්ණ සහ මුළුමනින්ම විසඳුමක්

ඉරානයේ බලාගාර "මකා දමන" බවට තර්ජනය කිරීමෙන් දින දෙකකට පසු එනම් මාර්තු 23 වන දින, ට්‍රම්ප් Truth Social හි සටහනක් පළ කරමින් පැවසුවේ සතුරුකම් සඳහා "පූර්ණ සහ මුළුමනින්ම විසඳුමක්" සම්බන්ධයෙන් වොෂින්ටනය ටෙහෙරානය සමඟ "පූර්ණ සහ ඵලදායී සංවාද" පවත්වා ඇති බවයි.

එය රාජ්‍ය තාන්ත්‍රික නිරීක්ෂකයින්ට සහ වෙළඳුන්ට විශාල පුදුමයක් විය.

  • 10:48-10:50 GMT: තෙල් සඳහා ඔට්ටු තැබීම් ඉහළ යයි
  • 1:04 GMT: ට්‍රම්ප් සතුරුකම් සඳහා "සම්පූර්ණ විසඳුම" පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේය
  • 11:05 GMT: තෙල් මිල 11% කින් පහත වැටෙයි

එසැණින් කොටස් වෙළඳපොළ මිල ගණන් ඉහළ ගිය අතර, ඉහළ යමින් පැවති ඇමෙරිකානු තෙල් මිල තියුණු ලෙස පහත වැටුණි.

එම අවස්ථාවේදී බීබීසී පුවත් සේවය වාර්තා කළ පරිදි ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය සටහනට මිනිත්තු 14 කට පෙර, එක්සත් ජනපද තෙල් මිල මත අසාමාන්‍ය ලෙස ඉහළ ඔට්ටු ඇල්ලීම් සංඛ්‍යාවක් විය.

අනෙක් ප්‍රධාන තෙල් වෙළෙඳපොල වන බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තු සඳහා ද වෙළෙඳුන් තුළ ඒ හා සමාන රටාවක් දක්නට ලැබිණි.

වෙළෙඳාම් "නිසැකවම, අසාමාන්‍ය" ලෙස පෙනෙන්නට තිබුණා,'' තෙල් විශ්ලේෂකයෙකු බීබීසී පුවත් සේවය වෙත එම අවස්ථාවේදී පැවසුවේය.

2025 අප්‍රේල් 9: 'නිදහස් දිනය' තාවකාලික විරාමය

මැද පෙරදිග යුද්ධයෙන් බැහැරව කුතුහලයට හේතු වී තිබෙන වෙළෙඳ ක්‍රියාකාරකම් පිළිබඳ තවත් උදාහරණ තිබේ.

ප්‍රායෝගිකව ලෝකයේ සෑම රටකින්ම පැමිණෙන භාණ්ඩ සඳහා විශාල තීරු බදු මාලාවක් පනවමින් පසුගිය වසරේ අප්‍රේල් 2 වනදා ට්‍රම්ප් ඔහු නිදහස් දිනය ලෙස හැඳින්වූ දින නව බදු ක්‍රමය ප්‍රකාශයට පත් කළේය.

ලොව පුරා කොටස් වෙළඳපොළවල මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටුණි.

නමුත් සතියකින් අනතුරුව චීනය හැර අනෙකුත් සියලු රටවලට පනවා තිබූ බදු සඳහා දින 90 ක "විරාමයක්" ප්‍රකාශයට පත් කළ විට කොටස් වෙළෙඳපොල මිල ගණන් යළි ඉහළ ගියේය.

S&P 500 දර්ශකය 9.5% කින් ඉහළ ගිය අතර එය දෙවන ලෝක යුද්ධයෙන් පසු එම දර්ශකය දිනක් තුළ ලැබූ විශාලතම ලාභවලින් එකකි.

  • BST 18:00: කොටස් වෙළෙඳපොළ ඉහළ යාම පිළිබඳව වෙළෙන්දන් විශාල ඔට්ටු ඇල්ලීම අරඹයි
  • BST 18:18: ට්‍රම්ප් තීරුබදු විරාමය නිවේදනය කරයි
  • BST 18:19: කොටස් වෙළෙඳපොළ මිල ගණන් ඓතිහාසික ලෙස ඉහළ යාම ඇරඹෙයි

නැවතත්, මෙම සිදුවීම්වලට පෙර අසාමාන්‍ය වෙළඳ රටාවක් දක්නට ලැබුණු අතර, S&P 500 නිරීක්ෂණය කරන එක් අරමුදලක නිවේදනයට පෙර අසාමාන්‍ය ලෙස ඉහළ ඔට්ටු සංඛ්‍යාවක් සිදුව තිබිණි.

බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් පස්වරු 06 න් පසු වෙළෙඳාම් කරන ලද කොන්ත්‍රාත්තු සංඛ්‍යාව මිනිත්තුවකට 10,000 ඉක්මවා ගියේය. එදින මුල්භාගයේදී එම සංඛ්‍යාව සිය ගණනින් පැවතුනි.

දින හතක් අඛණ්ඩව පාඩු ලැබුවද, ඇතැම් වෙළෙඳුන් එදින වැඩිවන කොටස් වෙළඳපොළ සඳහා ඩොලර් මිලියන 2 කට වඩා ඔට්ටු ඇල්ලූහ. දැවැන්ත මිල වැඩිවීම හමුවේ ඔවුන්ට ඩොලර් මිලියන 20 කට ආසන්න ලාභයක් උපයා ගත හැකිව තිබුණි.

එම සතිය අගදී ඇමෙරිකානු සෙනෙට් සභාවේ ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පිරිසක් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් මූල්‍ය නියාමන ආයතනයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ නිවේදන මගින් 'පාලන තන්ත්‍රයේ අභ්‍යන්තරිකයින් සහ මිතුරන් ඇමෙරිකානු මහජන වියදමින් පොහොසත් කර ඇත්ද' යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙසයි."

මෙම චෝදනා පිළිබඳව විමර්ශනය කර තිබේදැයි බීබීසී පුවත් සේවය විසින් විමසූ අවස්ථාවේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු ඒ පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

මෙම වාර්තාවේ විශ්ලේෂණය කර ඇති කිසියම් අසාමාන්‍ය වෙළඳ ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් දක්වන ලෙස බීබීසී පුවත් සේවය කළ ඉල්ලීමකට ධවල මන්දිරය ද ප්‍රතිචාර දැක්වූයේ නැත.

2026 ජනවාරි 3: මදුරෝ අල්ලා ගැනීම

Venezuela's President Nicolas Maduro holds Simon Bolivar's sword as he addresses members of the armed forces

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනවාරි අග වන විට නිකොලස් මධුරෝ ධුරයෙන් ඉවත් වන බවට ඔට්ටු ඇල්ලීමෙන් එක් පරිශීලකයෙක් ඩොලර් 436,000 ක් දිනා ගත්තේය
  • 2025 දෙසැම්බර්: Burdensome-Mix ගිණුම නිර්මාණය කළේය
  • 2026 ජනවාරි 2: මදුරෝ ධූරයෙන් නෙරපා හැරීම මත ගිණුම ඩොලර් 32,000 ක් ඔට්ටු තබයි
  • 26 ජනවාරි 3: මදුරෝ අල්ලා ගනු ලැබූ අතර Burdensome-Mix ඩොලර් 436,000 ක් දිනා ගනී

මෑතකාලීනව අන්තර්ජාලය හරහා සිදුකරන අනාවැකි පළකිරීමේ වෙළෙඳපොළ වර්ධනය කෙරෙහි නිරීක්ෂකයින්ගේ අවධානය යොමුව ඇත.

Polymarket සහ Kalshi වැනි Blockchain-බලයෙන් ක්‍රියාත්මක වන වේදිකා මඟින් පරිශීලකයින්ට කාලගුණයේ සිට බේස්බෝල් සහ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය දක්වා ඕනෑම දෙයක් පිළිබඳව අනුමාන කිරීමට අවස්ථාව පිරිනමයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්, Polymarket හි ආයෝජකයෙකු වන අතර එහි උපදේශක මණ්ඩලයේ අසුනක් හොබවයි. ඔහු Kalshi වෙත උපායමාර්ගික උපදේශකයෙකු ලෙස ද කටයුතු කරන අතර අදහස් දැනගැනීම සඳහා බීබීසී පුවත් සේවය ඔහු සම්බන්ධ කරගෙන ඇත.

2025 දෙසැම්බර් මාසයේදී, පරිශීලකයෙකු Polymarket හි Burdensome-Mix ලෙස හැඳින්වෙන ගිණුමක් නිර්මාණය කළේය. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ 2026 ජනවාරි අග වන විට ධුරයෙන් ඉවත් වන බවට දෙසැම්බර් 30 වන දින එහි පළමු ඔට්ටුව තැබීය.

දෙසැම්බර් 30 සහ ජනවාරි 2 අතරදී Burdensome-Mix මතය වෙනුවෙන් සම්පූර්ණයෙන් ඩොලර් 32,500 ක් ඔට්ටු තැබිය.

එක්සත් ජනපද විශේෂ බලකාය විසින් මදුරෝ අල්ලාගෙන ඊට පසුදිනයේදී නෙරපා හරින විට, Burdensome-Mix ඩොලර් 436,000 ක් දිනුවේය.

ඉන් ටික කලකට පසුව ගිණුම එහි පරිශීලක නාමය වෙනස් කළ අතර එතැන් සිට කිසිදු ඔට්ටුවක් තබා නොමැත.

2026 පෙබරවාරි 28: ඉරානයට ප්‍රහාර එල්ල කිරීම

  • 2026 පෙබරවාරි: Polymarket හි ගිණුම් හයක් නිර්මාණය කෙරුණි
  • පෙබරවාරි 28: ගිණුම් ඔවුන් අතර ඩොලර් මිලියන 1.2 ක් ජයග්‍රහණය කළේය

blockchain විශ්ලේෂණ වෙබ් අඩවියක් වන Bubblemaps ට අනුව, පෙබරවාරි මාසයේදී Polymarket තුළ ගිණුම් හයක් නිර්මාණය කළේය.

ඔවුන් සියලුදෙනා පෙබරවාරි 28 වන විටඑක්සත් ජනපදයෙන් ඉරානයට ප්‍රහාරයක් එල්ල වන බවට ඔට්ටු අල්ලා තිබුණි. එදින මුල් පැය කිහිපයේදී ජනාධිපති ට්‍රම්ප් විසින් එම ප්‍රහාරයන් තහවුරු කළ විට, මෙම ගිණුම් ඩොලර් මිලියන 1.2 ක් උපයා ගත්තේය.

එම පරිශීලකයින් හය දෙනාගෙන් පස් දෙනෙකු එතැන් සිට කිසිඳු ඔට්ටුවක් තබා නොමැති නමුත් ගිණුමේ මෑත කාලීන ක්‍රියාකාරකම්වලින් එකකින් පෙන්නුම් කෙරෙන්නේ අප්‍රේල් 7 වන දින වන විට එනම් එදින වොෂින්ටනය සහ ටෙහෙරානය විසින් නිවේදනය කරන ලද එක්සත් ජනපද - ඉරාන සටන් විරාමයක් මත නිවැරදිව ඔට්ටු ඇල්ලීමෙන් ඩොලර් 163,000 ක් උපයා ඇති බවයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

Polymarket බීබීසී පුවත් සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ "වෙළෙඳපොළ අඛණ්ඩතාවයේ ඉහළම ප්‍රමිතීන් සකස් කරන, පවත්වාගෙන යන සහ බලාත්මක කරන" බව සහ ඒ සඳහා නියාමකයින් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ "ක්‍රියාකාරීව" කටයුතු කරන බවයි.

මෙම වසරේ මාර්තු මාසයේදී Polymarket සහ Kalshi යන දෙපාර්ශවයම අභ්‍යන්තර වෙළඳාම් මැඩපැවැත්වීම සඳහා නව නීතිරීති පද්ධතිය සැලැස්මක් ඉදිරිපත් කළේය.

පුරෝකථන වෙළෙඳපොලවල්, කොමිසමේ (වෙළඳ භාණ්ඩ අනාගත මිල ගණන් පිළිබඳ වෙළඳ කොමිසම) නියාමනයට යටත් වේ.

අදහස් දැක්වීම සඳහා බීබීසී පුවත් සේවය කරන ලද ඉල්ලීමකට එම කොමිසම ප්‍රතිචාර නොදැක්වූ නමුත්, එහි සභාපතිවරයා මෑතකදී කොංග්‍රස් කමිටුවකට පැවසුවේ තම සංවිධානය වංචා සහ අභ්‍යන්තර වෙළෙඳාම් නොඉවසන බවයි.

පසුගිය මාසයේදී ධවල මන්දිරය සිය කාර්ය මණ්ඩලය වෙත අනාවැකි පළකිරීමේ වෙළෙඳපොළවල ඔට්ටු තැබීම සඳහා අභ්‍යන්තර රහස්‍ය තොරතුරු භාවිතා නොකරන ලෙස අනතුරු අඟවමින් අභ්‍යන්තර ඊමේල් පණිවිඩයක් යොමුකර ඇති බව ද හෙළි වී ඇත.

"පරිපාලන නිලධාරීන් එවැනි ක්‍රියාකාරකම්වල නියැලී සිටින බවට සාක්ෂි නොමැතිව සිදු කරන ඕනෑම ඇඟවීමක් පදනම් විරහිත සහ වගකීම් විරහිත වාර්තාකරණයකි" යනුවෙන් එම අවස්ථාවේදී මාධ්‍ය ප්‍රකාශක ඩේවිස් ඉන්ගල් බීබීසී පුවත් සේවයට පැවසීය.

සනාථ කිරීම අපහසුය

1933 වසරේදී සුරැකුම්පත් පනත සම්මත වූ අවස්ථාවේ පටන් ඇමෙරිකානුවන් බහුතරයකට අභ්‍යන්තර තොරතුරු මත පදනම්ව වෙළෙඳාම් කිරීම නීති විරෝධී වේ.

2012 දී එය එක්සත් ජනපද රජයේ නිලධාරීන් ආවරණය වන පරිදි පුළුල් කරන ලද නමුත් මේ දක්වා කිසිවෙකුට මෙම නීතිය යටතේ නඩු පවරා නොමැත.

ESSEC ව්‍යාපාරික පාසලේ මූල්‍ය නියාමන නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය පෝල් ඕඩින් පවසන්නේ මෙම නීති බලාත්මක කිරීම අපහසු බවයි.

''තොරතුරුවල මූලාශ්‍රය කවුද කියන එක හඳුනා ගැනීමට නොහැකි නම්, මූල්‍ය බලධාරීන් නඩු පැවරීමක් සිදු කරන්නේ නැහැ,' ඕඩින් පවසයි.

බීබීසී පුවත් සේවය විසින් සම්බන්ධ කර ගත් ඇමෙරිකානු මූල්‍ය බලධාරීන් කිසිවෙකු අභ්‍යන්තර වෙළෙඳාම් පිළිබඳ එල්ල වන එකදු චෝදනාවක් හෝ පිළිනොගත්තේය.

''ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ‍යට පත් කිරීමට යන්නේ කුමක්දැයි යමෙකු රහසිගතව දැන සිටි බව පැහැදිලිව පෙන්වන මූල්‍ය උපකරණයක් මත ඔබට විශාල ලෙස වෙළෙඳාම් කරන්න පුළුවන්,'' ඕඩින් පවසයි

''එහෙත් කිසිවෙකුට නඩු පැවරීමට නොහැකි වීමට ප්‍රබල අවස්ථාවක් තිබේ," ඔහු තවදුරටත් පවසයි.