තුර්කිය 'රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙළයි'

'ලටාකියා' පළාතේ කඳුකර ප්‍රදේශයකට රුසියානු යානය කඩා වැටෙන ආකාරය වීඩියෝ දර්ශනයක ඇතුළත් වේ
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ලටාකියා' පළාතේ කඳුකර ප්‍රදේශයකට රුසියානු යානය කඩා වැටෙන ආකාරය වීඩියෝ දර්ශනයක ඇතුළත් වේ
Published

සිරියානු දේශ සීමාවට ඉහළින් පියාසර කළ රුසියානු ප්‍රහාරක ගුවන් යානයකට තුර්කි ප්‍රහාරක යානා විසින් වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වේ.

'Su-24' වර්ගයේ යානය උතුරු දිග සිරියාවට කඩා වැටී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය කියා සිටි බව රුසියානු 'ඉන්ටර්ෆැකස්' ප්‍රවෘත්ති ආයතනය සඳහන් කරයි.

එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා පැරිෂූට ආධාරයෙන් යානයෙන් පිටතට පැන දිවි බේරා ගෙන ඇති බව වැඩි දුරටත් සඳහන්.

'Su-24' වර්ගයේ රුසියානු ප්‍රහාරක යානයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'Su-24' වර්ගයේ රුසියානු ප්‍රහාරක යානයක්

තම රටට අයත් ගුවන් කලාපය උල්ලංඝනය කරමින් සිටින බවට රුසියානු ගුවන් නියමුවන් දෙදෙනාට නොනවත්වා අනතුරු අඟවා සිටි බව තුර්කි හමුදා බලධාරීහු පවසති.

ඉන් අනතුරුව 'F-16' වර්ගයේ ප්‍රහාරක යානා යොදා ගනිමින් රුසියානු යානය බිම හෙලු බවයි තුර්කි හමුදා නිවේදනය කළේ.

'ලටාකියා' පළාතේ කඳුකර ප්‍රදේශයකට රුසියානු යානය කඩා වැටෙන ආකාරය වීඩියෝ දර්ශනයක ඇතුළත් වේ.

සිරියානු ජනපති බෂර් අල් අසාද්ට සහාය පළ කොට රුසියානු ප්‍රහාරක යානා සිරියාව තුළ ගුවන් මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.