කොවිඩ් මැද හඳුනා නොගත් උණ රෝගයක්: ඉන්දියාවේ පනස් දෙනෙක් මරුට, වැඩි දෙනෙක් දරුවන්

Many of the child victims who died in Gorakhpur were suffering from encephalitis
Published

සතියකට වැඩි කාලයක සිට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇතැම් දිස්ත්‍රික්කවල දරුවන් තද උණ සහ දහදියෙන් නැහැවී අවදි වන බව වාර්තා වේ.

හන්දි කැක්කුම, හිසරදය, විජලනය සහ ඔක්කාර වැනි රෝග ලක්ෂණ ඔවුන් වෙතින් පෙන්නුම් කරයි.

ඒ අතර සිටින ඇතැම් දරුවන්ගේ අතපය පුරා කුෂ්ඨ පැතිර ගොස් ඇති බව ද වාර්තා වේ.

උණ හේතුවෙන්, අවම වශයෙන් පනස් දෙනෙකුවත් මරණයට පත්ව ඇති අතර ඉන් වැඩි දෙනෙකු දරුවන්ය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර දෙසට පිහිටි දිස්ත්‍රික්ක හයක රෝහල් වෙත තවත් රෝගීන් ගණනාවක් ඇතුල් කරනු ලැබ ඇත.

මරණයට පත් කිසිවෙකුටත් කොව්ඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

වීඩියෝ ශීර්ෂ වැකිය, උණ, හෙම්බිරිස්සාව ද? නැතිනම් කෝවිඩ්-19 ද? දැන ගන්නේ කොහොමද?

මාරක කොවිඩ් දෙවෙනි රැල්ලෙන් බැට කෑ ඉන්දියාව සෙමෙන් හිස ඔසවමින් සිටින බවක් දක්නට ලැබේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ "අද්භූත උණක්" යැයි සඳහන් පුවත් සිරස්තල පළ වන්නේ ඒ අතරේදීය.

ඉන්දියාවේ ජනගහනය වැඩිම ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් හි ජනතාව තැති ගන්වමින් එකී පුවත ගම්දනව් පුරා පැතිර ගියේය.

පීඩාවට පත් අග්‍රා, මතුරා, මනිපුරි, ඒටා, කස්ගන්ජ් සහ ෆිරසාබාද් වැනි දිස්ත්‍රික්ක කීපයක වෛද්‍යවරුන්ගේ විශ්වාසය වී ඇත්තේ මරණවලට හේතුව ඩෙංගු විය හැකි බවය.

රෝහල් වෙත ගෙන ගිය බොහෝ රෝගීන්ගේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) පහළ ගොස් ඇති බව වෛද්‍යවරු පවසති.

එය ඩෙංගු රෝගය බරපතල වූ විට දක්නට ලැබෙන තත්ත්වයකි.

"රෝගල් ගත කර සිටින රෝගීන්, විශේෂයෙන් දරුවන් ඉතා ඉක්මනින් මිය යනවා." යනුවෙන් ෆිරසාබාද් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය බලධරයා වන වෛද්‍ය නීටා කුල්ශ්‍රේශ්තා පැවසුවාය.

පසුගිය සතිය තුළ එම දිස්ත්‍රික්කයේ 40 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් 32 ක් දරුවන්ය.

2016/09/22: Patient suffering from Dengue being treated at Tej bahadur Sapru hospital (District Hospital) in Allahabad
ඡායාරූප ශීර්ෂ වැකිය, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ඩෙංගු රෝගීන් නිතර වාර්තා වේ

ගැහැණු මදුරුවන් ඔස්සේ වැළඳෙන ඩෙංගු, නිවර්තන කලාප ආශ්‍රිතව දක්නට ලැබෙන වෛරසයකි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක වෛරසය දැකිය හැක.

ඉන් 70% ක් පමණ වාර්තා වන්නේ ආසියානු රටවලිනි.

ඩෙංගු වෛරස් වර්ග හතරකි.

දෙවන වර ආසාදනය වීමෙන් දරුවන් මරණයට පත් වීමට ඇති හැකියාව වැඩිහිටියන්ට වඩා පස් ගුණයකට වැඩිය.

දරුණු ලෙස රුධිරය වහනය වන, ඉන්ද්‍රියන්වලට හානි වූ ඩෙංගු රෝගීන් මිලියන 100 ක් පමණ සෑම වසරකදීම ලොව පුරා වාර්තා වේ.

කොවිඩ්-19 සහ ඩෙංගු යන වසංගත දෙකේම බලපෑම, අනතුරේ පවතින රටවලට ව්‍යසනකාරී ලෙස බලපෑ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

එහෙත් උත්තර් ප්‍රදේශ් හි උණ ලක්ෂණ පෙන්නුම් කළ රෝගීන්ගේ මරණවලට ඩෙංගු වසංගතයම හේතු වී ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

මිලියන 200 වැඩි ජනගහනයක් සිටින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සෞඛ්‍ය පුරුදු පහළ අඩියක පවතින අතර දරුවන් තුළ ඉහළ මන්දපෝෂණ තත්ත්වයක් දැකිය හැක.

සෑම වසරකදීම මෝසම් කාලයෙන් පසු හඳුනා නොගත් උණක් හේතුවෙන් මරණ වාර්තා වීම එහි බහුල ලෙස දැකිය හැක.

මේ ගැනත් කියවන්න: