මාස 10කට පසු උඩරට දුම්රිය හෙට සිට යළි ධාවනයට: නව කාලසටහන මෙන්න

Tourist female enjoys a famous scenic train ride through Sri Lanka.
    • Author, සම්පත් දිසානායක
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස මාර්ගයට හානි වීමෙන් ඇණහිට තිබූ උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය මාස 10කට අධික කාලයකට පසු හෙට (ඔක්: 2) සිට යළි ආරම්භ වෙයි.

ඒ, දින 309කට ආසන්න කාලයකට පසුවයි.

එහෙත් තවමත් කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය නොවේ. ඊට හේතුව පේරාදෙණිය හා මහනුවර දුම්රිය ස්ථාන අතර පිහිටි, පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙනි.

දිට්වා සුළි කුණාටුව නිසා රඹුක්කන - ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103ක් හානියට ලක්ව තිබිණි. ඉන් විශාල ප්‍රමාණයේ නාය යාම් 36ක් සිදු වී තිබිණි. මීට අමතරව දුම්රිය මාර්ගය සේදී යාම්, පස් කඳු කඩා වැටීම් 67ක් සිදුව තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උඩරට දුම්රිය මාර්ගය

නායගිය ප්‍රධාන ස්ථාන 7ක් ප්‍රතිසංස්කරණය සඳහා ජාතික ගොඩනැගලි පර්යේෂණ සංවිධානය රුපියල් මිලියන 630කට අධික මුදලක් සහ සෙසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 150ක පමණ මුදලක් වැය කර තිබේ.

රඹුක්කන සහ කඩුගන්නාව අතර මාර්ගය, දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග පද්ධතියේ වැඩි ම ආනතිය ඇති මාර්ග කොටස්වලින් එකක් ලෙස සැලකේ.

එම ප්‍රදේශයට ළඟා වීම සඳහා විකල්ප මාර්ග නොමැති වීම, අයහපත් කාලගුණික තත්ත්වය හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය දුම්රිය මගින් ම ප්‍රවාහනය කිරීමට සිදු වීම යන අභියෝග මධ්‍යයේ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමග එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උපදෙපාර්තමේන්තුව විසින් සිදු කෙරිණි.

සරසවි උයන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර ඇති 'යකා පාලමේ ඡායාරුපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, සරසවි උයන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර ඇති 'යකා පාලම'

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ බීබීසී සිංහල වෙත පැවසුවේ, නාය යාමට ලක්වූ ස්ථාන මේ වන විට "ස්ථීරව ම" පිළිසකර කර ඇති බවයි.

"තාවකාලිකව ඉදිකිරීම් නෙවෙයි කරලා තියෙන්නේ, ස්ථීර විසදුමක් දීලා තියෙන්නේ."

ඒ අනුව යළි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට මාර්ගය "ආරක්ෂිත බවට" තහවුරු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු පෙර පැවති වේගසීමා අනුව ම උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන අතර අමතර වේගසීමා පැනවීමක් සිදුකර කර නොමැත.

සාමාන්‍යයෙන් දුම්රිය මාර්ග නඩත්තු සේවකයින් විසින් උඩරට මාර්ගය දිනපතා ම පරීක්ෂාවට ලක් කෙරෙන බව ද දුම්රිය ගමනාගමන අධිකාරීවරයා පැවසීය.

මුහුණ දුන් ප්‍රධාන අභියෝගය කුමක් ද?

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නාය යාම්වලට ලක්වූ ප්‍රධාන ස්ථාන 5ක ඉදිකිරීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධීක්ෂණය යටතේ, ක්‍රියාත්මක කරන ලැබුවේ, RR නැමති පෞද්ගලික ඉදිකිරීම් සමාගම විසිනි.

එහි ව්‍යාපෘති කළමනාකරු තිළිණ ස්වර්ණමාල් පැවසුවේ බලන, අඟුරුඅංග, ඉහළ කෝට්ටේ, මහ බිංගෙය අසල, පහළ කඩුගන්නාව යන නාය යාම් සිදුව තිබූ ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු තම කණ්ඩායම විසින් සිදු කරන ලද බවයි.

මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී ඇතිවූ ප්‍රධාන ම අභියෝගය අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන යාමේ දුෂ්කරතාව වූ බව ද ඔහු පැවසීය.

"ඉදිකිරීම් ද්‍රව්‍ය අරගෙන යන එකට තමා බාධා වුණේ, බලන දුම්රිය ස්ථානය අසල තැන්වලට විතරයි පිවිසෙන්න හැකියාව තිබුණේ, පහළ කඩුගන්නාවයි, ඉහළ කෝට්ටෙයි බැලස්ට් (නඩත්තු ද්‍රව්‍ය රැගෙන යන දුම්රිය) එකේ බඩු ගෙනල්ලා තමා අපි වැඩ කළේ, ඒ ස්ථානවලට ළඟා වීමේ අපහසුව තමා තිබුණේ."

"එක කියුබ් එකක් විතරයි ඒ පාරවල්වල ගෙනි යන්න පුළුවන් වුණේ, කියුබ් තුනේ ඒවා ගෙනාව නම් අපිට කලින් වැඩේ ඉවර කරන්න තිබ්බා."

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පැවසුවේ, මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමත් සමග කොළඹ කොටුවේ සිට පේරාදෙණිය, ගම්පොළ අතර සාමාන්‍ය දුම්රිය කාලසටහන ඔක්තෝබර් 2 වන දා පස්වරුවේ සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඉදිකිරීම් කටයුතු කරන කම්කරුවන්ගේ ඡායාරූපයකි
ඡායාරූප ශීර්ෂ වැකිය, නාය යාම්වලට ලක්වූ ප්‍රධාන ස්ථාන 5ක ඉදිකිරීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලැබුවේ, RR නැමති පෞද්ගලික ඉදිකිරීම් සමාගම විසිනි

ක්‍රමිකව ඉදිවන උඩරට දුම්රිය මාර්ගය

දිට්වා සුළි කුණාටුවෙන් පසු, උඩරට දුම්රිය මාර්ග පිළිසකර කිරීමේ කටයුතු අදියර වශයෙන් ආරම්භ කෙරුණේ, ඉදිකිරීම් කටයුතු මන්දගාමී බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් එල්ල වූ විවේචන මැදයි.

පළමුව අඹේවෙල සිට බදුල්ල දක්වාත්, කොළඹ කොටුව සිට රඹුක්කන දක්වාත් ක්‍රමිකව දුම්රිය ධාවනය ආරම්භ කෙරුණු අතර, මේ වන විට නානුඔය සිට බදුල්ල දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වේ.

හෙට සිට ගම්පොළ දක්වා ම දුම්රිය ගමන් සිදුවන අතර, නාවලපිටිය සිට හැටන් දක්වා දැනටමත් දුම්රිය ධාවනය වේ.

විටින් විට ඇඳ හැළෙන අධික වැසි සමග පෙරාදෙණිය කළු පාලම ඉදිකිරීම් අවසන් කිරීම අභියෝගයක් වී තිබේ. ඒ නිසා මහනුවර හා මාතලේ දක්වා දුම්රිය ගමන් යළි ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

කෙසේ නමුත් එය ඉදිකිරීමෙන් පසු, මහනුවර දක්වා දුම්රිය ගමන් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කරන බව ද ගමනාගමන අධිකාරිවරයා කියා සිටියේ ය.

ගම්පොළ - නාවලපිටිය සහ හැටන් නානුඔය අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුකෙරමින් පවතී.

මේ වන විට උඩරට මාර්ගයේ 75%ක පමණ කොටසක දුම්රිය ධාවනය වන බව ද ගමනාගමන අධිකාරීවරයා සඳහන් කළේ ය.

ගම්පොළ - නාවලපිටිය සහ හැටන් නානුඔය අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුකෙරමින් පවතී
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්පොළ - නාවලපිටිය සහ හැටන් නානුඔය අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුකෙරමින් පවතී

උඩරට මාර්ගයේ නව දුම්රිය කාලසටහන

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පැවසුවේ, කොළඹ කොටුව - පේරාදෙණිය, ගම්පොළ අතර සාමාන්‍ය දුම්රිය කාල සටහන ඔක්තෝබර් 2 වන දා පස්වරුවේ සිට ආරම්භ කරන බවයි. එතැන් සිට නව දුම්රිය ධාවන කාල සටහන ක්‍රියාත්මක වේ.

ඒ අනුව නගරාන්තර දුම්රිය ද ඇතුළුව දිනපතා දුම්රිය ගමන්වාර 8ක් ක්‍රියාත්මක කෙරනු ඇත.

කෙසේ වෙතත්, මීට පෙර උදෑසන 7:00ට කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ධාවනයට මෙතෙක් සැලසුම් කර නොමැත.

නව දුම්රිය කාලසටහන අනුව කලින් ආසන වෙන් කරවා ගැනීම සඳහා මගීන්ට පහසුකම් සලසා ඇති බව ද දුම්රිය ගමනාගමන අධිකාරීවරයා සඳහන් කළේය.

ඒ සඳහා https://seatreservation.railway.gov.lk/mtktwebslr/ යන වෙබ්අඩවිය වෙත පිවිස ආසන වෙන් කරවා ගත හැක.

දිනපතා පස්වරු 3.35ට කොළඹ කොටුව සිට පේරාදෙණිය දක්වා ගමන් ගන්නා නගරාන්තර දුම්රියට වායු සමනය කළ මැදිරි 4ක් ඇතුළත් කෙරෙනු ඇත.

උදෑසන 5.45ට කොළඹ කොටුව සිට ගම්පොළ බලා ධාවනය කරන දුම්රියට ද වායු සමනය කළ මැදිරි දෙකක් ඇතුළත් කිරීමට නියමිත ය.

Train

නගරාන්තර දුම්රිය

  • අංක 1029 - 2026.10.02 දින සිට - දිනපතා

කොළඹ කොටුවෙන් පිටත් වීම: ප.ව. 03:35

පේරාදෙණියට ළඟා වීම: ප.ව. 05:56

  • අංක 1030 - 2026.10.03 දින සිට - දිනපතා

පේරාදෙණියෙන් පිටත් වීම: පෙ.ව. 06:25

කොළඹ කොටුවට ළඟා වීම: පෙ.ව. 08:44

  • දුම්රිය අංක 1035 - 2026.10.02 දින සිට - දිනපතා

කොළඹ කොටුවෙන් පිටත් වීම: ප.ව. 04:35

මරදාන: ප.ව. 04:40

අලව්ව: ප.ව. 05:46

පොල්ගහවෙල: ප.ව. 05:56

රඹුක්කන: ප.ව. 06:10

පේරාදෙණිය: ප.ව. 07:17

ගම්පොළට ළඟා වීම: ප.ව. 07:51

  • දුම්රිය අංක 1040 - 2026.10.03 දින සිට - දිනපතා

ගම්පොළින් පිටත්වීම: පෙ.ව. 04:35

පේරාදෙණිය: පෙ.ව. 04:56

රඹුක්කන: පෙ.ව. 06:21

පොල්ගහවෙල: පෙ.ව. 06:34

අලව්ව: පෙ.ව. 06:45

මරදාන: පෙ.ව. 07:59

කොළඹ කොටුවට ළඟා වීම: පෙ.ව. 08:06

  • දුම්රිය අංක 1037 - 2026.10.02 දින සිට - දිනපතා

කොළඹ කොටුවෙන් පිටත් වීම: ප.ව. 05:15

මරදාන: ප.ව. 05:20

රඹුක්කන: ප.ව. 06:48

පේරාදෙණිය: ප.ව. 07:53

  • දුම්රිය අංක 1038 - 2026.10.03 දින සිට - දිනපතා

පේරාදෙණිය: පෙ.ව. 04:40

රඹුක්කන: පෙ.ව. 05:43

මරදාන: පෙ.ව. 07:06

කොළඹ කොටුවට ළඟා වීම: පෙ.ව. 07:12

  • පොඩි මැණිකේ දුම්රිය (අංක 1005/1006) - 2026.10.03 දින සිට - දිනපතා

කොළඹ කොටුව සිට:

කොළඹ කොටුවෙන් පිටත් වීම: පෙ.ව. 05:55

පේරාදෙණිය: පෙ.ව. 08:34

ගම්පොල ළඟාවීම: පෙ.ව. 09:06

ගම්පොළ සිට:

ගම්පොළින් පිටත් වීම: ප.ව. 04:10

පේරාදෙණිය: ප.ව. 04:31

කොළඹ කොටුවට ළඟා වීම: ප.ව. 07:23