අසභ්‍ය ලිංගික දසුන් නැරඹීම ජීවිතයට බලපාන හැටි

lips
ඡායාරූප ශීර්ෂ වැකිය, 'අස්වාභාවික දේ තමයි හරි දේ කියල ඔලුවේ තැන්පත් වුනාම ස්වභාවික දෙයින් සතුටක් ලබා ගන්න අපහසු වෙනවා'
Published

අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික දසුන් නරඹන නව යොවුන් දරුවන් ඊට පහසුවෙන් ඇබ්බැහි විය හැකි අතර ඔවුන්ගේ අනාගත පවුල් දිවිය අසාර්ථක විය හැකි බවට විශේෂඥ වෛද්‍යවරියක් අනතුරු අඟවන්නීය.

අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් දරුවන්ගේ මනෝ ලෝකය තුළ තැන්පත් වීමත් විවාහ දිවියට පත් වූ පසු ඒවා ස්වභාවික ලෝකය තුළින් නොලැබීමත් නිසා ඔවුන් අතරමං වන බවයි මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසන්නේ.

'අස්වාභාවික දේ තමයි හරි දේ කියල ඔලුවේ තැන්පත් වුනාම නිසි වයසට පැමිණි පසු ස්වභාවික දෙයින් ඔවුන්ට සතුටක් ලබා ගන්න අපහසු වෙනවා. ඔවුන් ලෝක දෙකක අතරමං වෙනවා. ඒ නිසා ඇතැම් විට ඔවුන්ගේ ලිංගික අවයව වල අකර්මණ්‍යතා පවා ඇති වීමට ඉඩ කඩ තියෙනවා.' බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසීය.

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර

ඡායාරූප මූලාශ්‍රය, Dr Ramani Ratnaweera

ඡායාරූප ශීර්ෂ වැකිය, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර

නව යොවුන් වියට එළැඹෙද්දී හෝමෝන වෙනස් වීමත් සමඟ ලිංගික උත්තේජන පිළිබඳ හැඟීම් ඇති වෙනවා. ලිංගික දර්ශන නැරඹීමේ දී මේ දරුවන්ගේ 'Riwards and pleasure Centre' උත්තේජනය වීමෙන් නිකුත් වන රසායන මොළයේ ව්‍යුහයට බලපානවා. ඒ අනුව මෙය ඉතා සතුට දනවන දෙයක් බවට පත් වී අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඉතා පහසුවෙන් ඇබ්බැහි වෙනවා.' ඇය පැවසුවාය.

දරුවන්ගේ හොඳම මිතුරා බවට පරිගණකය පත් වී ඔවුන් හුදෙකලා වීම වළක්වා ගැනීමට නම් දෙමාපියන් දරුවන්ගේ හොඳම මිතුරා බවට පත් විය යුතු බවයි විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර අවධාරණය කරන්නේ.

එමගින් වයසට සරිලන ලිංගික දැනුමක් දරුවාට ලබා දීම සඳහා දෙමාපියන්ට ම හැකියාවක් ලැබෙන බව ඇය පෙන්වා දෙන්නීය.