ෆ්ලයි ඩුබායි මගී ගුවන් යානයක නියමුවන් අතර උඩු ගුවනේදී ගැටුමක්: යානයට සිදුවූයේ කුමක් ද?

ෆ්ලයි ඩුබායි
Published
කියවීමේ කාලය: මිනිත්තු 5

ඩුබායි සිට ටෙල් අවිව් වෙත ගමන් කළ ගුවන් යානයක්, නියමුවන් අතර ඇති වූ "ගැටුමක්" හේතුවෙන් සෞදි අරාබිය වෙත හරවා යැවූ බව ඊශ්‍රායල නිලධාරීන් දේශීය මාධ්‍ය වෙත පවසා තිබේ.

බදාදා (සැප්:30) අලුයම ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වූ Flydubai ගුවන් යානය සිය ගමන ආරම්භ වී පැය දෙකකට පමණ පසු හදිසි අවස්ථා සංඥාවක් නිකුත් කළ බව ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන Flightradar24 පවසයි.

මිනිත්තු කිහිපයකට පසු එය ගුවන් යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා භාවිත කරන සංඥාවකට මාරු වූ නමුත්, අනතුරුව නැවත සාමාන්‍ය හදිසි අවස්ථා සංඥාවක් බවට එය මාරු කර තිබිණි.

ඊශ්‍රායල ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් දේශීය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම හදිසි සංඥාව නියමුවා සහ සහයක නියමුවා අතර ඇති වූ "ආරවුලක්" හේතුවෙන් නිකුත් කළ බවට සැලකෙන බව ය.

පුද්ගලයන් 150කට ආසන්න පිරිසක් රැගත් FZ1073 ගුවන් ගමනේ මගීන්ගෙන් බහුතරය ඊශ්‍රායල ජාතිකයන් වූ අතර, එය බෙන් ගුරීයන් ගුවන් තොටුපොළට ගොඩබැසීමට නියමිතව තිබුණ ද ඒ වෙනුවට උතුරු නැගෙනහිර සෞදි අරාබියේ පිහිටි ටාබුක් ගුවන් තොටුපොළට ගොඩ බස්වන ලදී.

නියමුවා සහ සහයක නියමුවා අතර ඇති වූ "ගැටුමක්" හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් වී ඇති බවට වාර්තා වේ.

යානයේ සිටි ඊශ්‍රායල මගියෙකු මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ, කාර්ය මණ්ඩලය උදව් ඉල්ලා සිටි බවත් අනතුරුව මගීන් එක්ව නියමුවන්ගෙන් එක් අයෙකු පාලනය කර බැඳ තැබීමට සහය වූ බවත් ය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ, තත්ත්වය පාලනය යටතේ පවතින බවත්, සෞදි අරාබියේ සිටින ඊශ්‍රායල මගීන් නැවත තම රටට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවත් ය.

ෆ්ලයි ඩුබායි ගුවන් යානයක්

සියලු ම මගීන් ආරක්ෂිත යි - ෆ්ලයි ඩුබායි

ෆ්ලයි ඩුබායි සමාගම සිය ගුවන් යානයේ "සිදුවීමක්" ඇති වූ බව තහවුරු කර ඇති නමුත් "සියලු ම මගීන් ආරක්ෂිතව පසු වන අතර ඔවුන් සියලු දෙනා පිළිබඳ තොරතුරු තහවුරු කර ඇත" යනුවෙන් නිවේදනය කර තිබේ.

"2026 සැප්තැම්බර් 30 වන දින ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඊශ්‍රායලයේ බෙන් ගුරීයන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගමන් කළ FZ1073 ගුවන් ගමන අතරමගදී සිදුවීමකට මුහුණ දුන් බව Flydubai තහවුරු කරයි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

"ගුවන් යානය ටාබුක් ගුවන් තොටුපොළ (TUU) තුළ ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර සියලු ම මගීන් ආරක්ෂිත වන අතර ඔවුන් පිළිබඳ තොරතුරු තහවුරු කර ඇත. අපගේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ යහපැවැත්ම අපගේ ඉහළ ම ප්‍රමුඛතාව ලෙස පවතියි.

"අදාළ බලධාරීන් සමග අපගේ කණ්ඩායම් සමීපව කටයුතු කරමින් සිටී. තහවුරු කරන ලද වැඩිදුර තොරතුරු ලැබෙන විට තවත් යාවත්කාලීන කිරීම් නිකුත් කරනු ඇත."

A screengrab from website Flightradar24 showing the plan changing course ගුවන් යානය සිය ගමන් මග වෙනස් කරන ආකාරය දැක්වෙන Flightradar24 වෙබ් අඩවියේ තිර රුවක්.

'ලේ වැගිරී තිබුණා' - මගියෙක් කියයි

යස්මින් අබු කායිස් රොයිටර් ප්‍රවෘත්ති ආයතනයට පවසා ඇත්තේ, ඇගේ දියණිය වන මාරියම් එම ගුවන් යානයේ සිටි බවත් ඇයට කෑ ගැසීමේ ශබ්ද ඇසී ඇති බවත් ය.

ඇයගේ දියණිය පැවසුවේ, පිහියක් අතැති පුද්ගලයෙකු විසින් ගුවන් නියමුවන්ගෙන් එක් අයෙකු බිමට තල්ලු කර තිබූ බවත්, ලේ වැගිරී තිබූ බවත් ය.

ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීමට පෙර මිනිත්තු හතක් පුරා හදිසි සංඥාව නිකුත් කර තිබුණා

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

Flightradar24 දත්ත අනුව, ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ FZ103 ගුවන් ගමන සෞදි අරාබියට ඉහළින් ගමන් කරන අතරතුර හදිසි ලෙස දිශාව වෙනස් කර පහළට බැසීම ආරම්භ කිරීමෙන් කෙටි වේලාවකට පසු මිනිත්තු හතකට ආසන්න කාලයක් හදිසි සංඥාවක් නිකුත් කර තිබිණි.

මිනිත්තු 20ක ප්‍රමාදයකින් පසුව එම ගුවන් යානය UTC වේලාවෙන් 03:05 ට ඩුබායි ගුවන් තොටුපළෙන් පිටත් වී තිබිණි.

UTC වේලාවෙන් 05:31 ට පමණ "සාමාන්‍ය හදිසි අවස්ථාවක්" ප්‍රකාශ කරන හදිසි "squawk" කෝඩ් හෙවත් 7700, නිකුත් කර තිබිණි.

පසුව Flightradar24 විසින් X ගිණුමෙහි සඳහන් කර තිබුණේ "නීති විරෝධී මැදිහත්වීමක්"ගැන අනතුරු අඟවන 7500 හදිසි සංඥාව UTC වේලාවෙන් 05:38 ට නිකුත් කළ බවයි. කෙසේ වෙතත් එය ඔවුන්ගේ වෙබ් අඩවියේ දෘශ්‍යමාන නොවේ.

ගුවන් යානය කෙටි වේලාවකට පසුව එනම් UTC වේලාවෙන් 05:40 ට පමණ ජෝර්දාන ගුවන් කලාපයට ඇතුළු වූ අතර මිනිත්තු හයකට පසු නැවත සෞදි ගුවන් කලාපයට පැමිණියේ ය.

අනතුරුව UTC වේලාවෙන් 06:11 ට පමණ සෞදි අරාබියේ ටාබුක් නගරය වෙත ගමන් කරන බවට පෙන්නුම් කරන අතර පසුව නැවත ගුවන් යානය එකවර පහළට බැසීම ආරම්භ කර තිබිණි.

ඉන් කෙටි වේලාවකට පසු ස්ථානීය දත්ත තාවකාලිකව අහිමි වූ අතර, UTC වේලාවෙන් 06:58 ට පමණ ගුවන් යානය ටාබුක් ගුවන් තොටුපොළේදී එය නැවත දර්ශනය විය.

'විශාල ව්‍යසනයක් වැළැක්වුණා' - ඊශ්‍රායල් මාධ්‍ය වෙත නිලධාරීහු කියති

නම හෙළි නොකළ ඊශ්‍රායල් නිලධාරීන් සමග කළ සාකච්ඡා උපුටා දක්වමින් ඊශ්‍රායල මාධ්‍ය තවත් තොරතුරු වාර්තා කර ඇත.

"ඉතා බරපතළ ව්‍යසනයක් වැළැක්වීමට හැකි වුණා," යැයි එම නිලධාරීන්ගෙන් එක් අයෙකු Channel 12 වෙත පවසා ඇත.

එමෙන් ම, Jerusalem Post පුවත්පත ද නම හෙළි නොකළ ඊශ්‍රායල් නිලධාරියෙකු උපුටා දක්වමින්, "විශාල ව්‍යසනයක් යන්තමින් වැළැක්වුණා" යනුවෙන් වාර්තා කර තිබේ.

යානයේ සිටි වෙනත් නියමුවන් දෙදෙනෙක් ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්වීමට සහය වුණා - මාධ්‍ය වාර්තා

නම හෙළි නොකළ මගියෙකු Jerusalem Post පුවත්පතට පවසා ඇත්තේ, එක් නියමුවෙකු තවත් නියමුවෙකුට පිහියෙන් ඇන ඇති බවත්, යානයේ ඉදිරිපස අසුන් ගෙන සිටි මගීන් ප්‍රහාරකයා නියමු කුටියෙන් ඉවත් ගැනීමට මැදිහත් වූ බවත් ය.

එම සාක්ෂිකරු පවසන්නේ, යානයේ පිටුපස තවත් නියමුවන් දෙදෙනෙකු ද සිටි බව ය.

"මම ඔවුන්ට කෑ ගසා, ඉදිරියට දිව ගොස් යානයේ පාලනය භාර ගන්නා ලෙස කිව්වා," යැයි එම මගියා ජෙරුසලම් පෝස්ට් වෙත පවසා තිබේ.

එමෙන් ම, තුවාල ලැබූ නියමුවාට ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබා දී ඇත්තේ, එම ගුවන් යානයේ ගමන් කරමින් සිටි දන්ත වෛද්‍යවරයෙකු බව ද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් ස්වාධීනව තහවුරු කිරීමට බීබීසී ප්‍රවෘත්ති සේවයට මෙතෙක් හැකි වී නොමැත.