ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තවත් IMF ණය පහසුකමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ජනපති කියන්නේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
දැනට ක්රියාත්මක වන IMF විස්තීරණ ණය පහසුකම ඇතුළත් වැඩසටහනෙන් පසු 18 වන වැඩසටහන කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
IMF විස්තීරණ ණය පහසුකම 18 වන වරට ලබා ගැනීම සම්බන්ධයෙන් "මුළුමනින් ම අත්හරිනවා කියන තැනකුත් නෑ. යායුතු ම යි කියල එකකුත් නෑ," යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
ජනපති පැවසුවේ කුමක් ද?
ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්යන්තර අවධානය යොමු කරමින් කොළඹ ෂැංග්රිලා හෝටලයේ පැවති 2026 ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව සඳහා සහභාගි වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව ප්රකාශ කළේ ය.
එහිදී, පැවති සංවාදයකදී සංවාදය මෙහෙයවූ පුද්ගලයා "අලුත් IMF වැඩසටහනක්, එහෙමත් නැත්නම් 18 වන වැඩසටහනක් කිරීම ගැන ඔබ තුමාගේ අදහස කුමක් ද?" යනුවෙන් විමසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
"අපි ජාත්යන්තර මූල්ය අරමුදලත් එක්ක පළවෙනි විස්තීරණ ණය වැඩසටහනේ අවුරුදු 4 ඉලක්කය වුණේ, අපේ ස්ථාවරභාවය ළඟා කර ගන්න එක. මං හිතන්නෙ අපි සැලකිය යුතු ප්රමාණයකින් ස්ථාවරභාවය ළඟා කරගෙන තියෙනව සෑම අතින් ම. දැන් අපේ ඊළඟ සැලසුම වෙන්නෙ මේ ස්ථාවරභාවය ආරක්ෂා කර ගනිමින් කොහොම ද අපි වර්ධනය අත්පත් කර ගන්නේ? ඉතින් මම හිතන්නෙ වර්ධනය සඳහා අලුත් එකඟතාවකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්ති යි."
"නමුත්, ඊළඟ ප්රෝග්රෑම් එක මොන වගේ වෙන්න ඕන ද කියන එක තමයි, අපි සාකච්ඡා කරමින් ඉන්නෙ. දැනට මුදල් අමාත්යංශයේ මහ බැංකු අධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම, අපේ ආර්ථිකය පිළිබඳ යම් අවබෝධයක් තියෙන කණ්ඩායමක් සාකච්ඡාවක නිරත වෙමින් තිබෙනවා, මොන වගේ ප්රෝග්රෑම් එකකට ද අපි යන්න ඕනෙ කියලා තීරණය වෙන්නෙ ඒක මත තමයි. නමුත්, තව මාස 6ක පමණ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. නමුත්, අපි මුළුමනින් ම අත්හරිනවා කියන තැනකුත් නෑ. යායුතු ම යි කියල එකකුත් නෑ. නමුත් තව ම විවෘත තැනක අපි ඉන්නවා. අපට තියෙනව, ආර්ථිකය මොන මොන විදිහට චලනය වේවි ද? බාහිර කම්පනය මොන තරම් ප්රමාණයකට වර්ධනය වේවි ද? ඒකට මුහුණ දෙන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත් ද? කියන සාධකය ගැන තමයි අපි පුරෝකතනය කරල අපි එවැනි වැඩසටහනක් ගැන කල්පනා කරන්නෙ."
ජාත්යන්තර අරමුදල සහ ශ්රී ලංකා රජය අතර විශාල විසංවාදයක් නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
"අපි ආපහු හැරිල බැලුවා, අපි පාලන බලය ගත්තට පස්සෙ අපිට ඉටු කරන්න තිබුණු අරමුණු, ඒ දේ කිරීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලත් එක්ක තිබුණු අපගේ බැඳීම අපිට බාධා වුණේ මොනවට ද? මං හිතන්නෙ ඒව හඳුනාගත හැකි ඉතා කුඩා ප්රමාණයක් තියෙන්නෙ. ඉතාමත් කුඩා ප්රමාණයක්. ඒ කියන්නෙ අපේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා තියෙන දැක්ම සහ ක්රියාමාර්ගත්, අපි ඔවුන් සමග ආපු එකඟතාවන් අතර මං හිතන්නෙ ලොකු පරස්පරතාවන් තිබුණෙ නෑ. ඒ නිසා තමයි මං හිතන්නෙ ගැටුමක් නැතුව අවුරුදු 4 ම සම්පූර්ණ කරන්න පුළුවන්කම ලැබුණෙ. එහෙම නැත්නම් මම හිතන්නේ, අවුරුදු 4 ම යන්නෙ නෑ සාමාන්යයෙන්. බොහෝ තැන්වල බිඳ වැටිල තියෙනවා. මොක ද අපි අතර ලොකු විසංවාදයක් තියෙන්නෙ නෑ."
මේ වසරේ ඉන්ධන ආනයන විදයම් අභියෝගාත්මක ලෙස ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.
"ඇත්තට ම, අපි දැනට රේටිංස්වලින් උඩට ඇවිල්ල තියෙනවා. නමුත්, තවත් පියවරක් අපි ඉදිරියට යන්න ඕනෙ. අපේ විදෙස් සංචිත ප්රමාණය අපි අපේක්ෂා කරන මට්ටමට තව ළඟා විය යුතුව තිබෙනවා. මේ සාධක පරිපූර්ණ කර ගන්න පුළුවන් නම්, අපිට යා හැකි යි. නමුත් ලෝකෙත් යම් අවිනිශ්චිතභාවයක් මතු වෙලා තියෙනවා. කුමක් සිදුවේ ද කියල නොදන්න තත්ත්වයක් මතු වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත්, ගිය අවුරුද්දෙ අපේ ඉන්ධන ආනයන වියදම 2025 වසරේ බිලියන 4යි. මිලියන 4042යි. 2025 අපේ ඉන්ධන ආදායම (වියදම). මේ අවුරුද්දෙ අගෝස්තු මාසෙ වෙනකොට අපේ ඉන්ධන ආනයන වියදම මිලියන 4082යි. මේ මාසෙ මුල් මාස 8ට අපිට බිලියන 4ක් වැය වෙලා තියෙනවා. ඒ කියන්නෙ අවුරුද්දෙන් තුනෙන් දෙකකින් අපට බිලියන 4ක් වැය වෙලා තියෙනවා. ඒ විදිහට බැලුවොත් අපට බිලියන 6ක් යනව ඉන්ධන ආනයනයට. ඒක අපේ ආර්ථිකයට කොච්චර දරා ගන්න පුළුවන් ද කියන ප්රශ්නය අපට තියෙනවා."
'ඉල්ලුවොත් දෙනවා' - IMF
ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ඉදිරියටත් රැඳී සිටින බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අංශ ප්රධානී සොනාලි ජේන්-චන්ද්රා අවධාරණය කර තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්යන්තර මූල්ය අරමුදල සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික සමුළුවට සමගාමීව පසුගිය සිකුරාදා (ඔක්: 15) පැවති මාධ්ය හමුවකදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය පිළිබඳව කරුණු දක්වමින් ඇය මේ බව සඳහන් කළා ය.
එමෙන් ම, වත්මන් මූල්ය වැඩසටහනෙන් පසුව නැවතත් මූල්ය හෝ තාක්ෂණික සහය වැඩසටහනක් ඉල්ලීමට අදාළ තීරණය ශ්රී ලංකා බලධාරීන්ගේ පූර්ණ අයිතියක් බව ද ඇය පැවසීය.
ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අංශ ප්රධානී පැවසුවේ, වත්මන් විස්තීරණ වැඩසටහන යටතේ ශ්රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්රහණ රැසක් අත් කරගෙන ඇති බව ය.