උදය ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, අදාළ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් ඒවා අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

ප්‍රශ්න කෙරෙන වගන්ති මොනවා ද?

පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතා කියා සිටින්නේ, අදාළ පනත් කෙටුම්පතේ 27 සහ 28 යන වගන්ති මගින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීම සඳහාත්, රඳවා තබා ගැනීම, රඳවා ගැනීමේ කාලසීමාවන් දීර්ඝ කිරීම සඳහාත් විධිවිධාන සලසා ඇති බව ය.

අදාළ පනත් කෙටුපතේ 27(3) වගන්තිය යටතේ පුද්ගලයෙකු වසරක් දක්වා වූ කාලසීමාවක් සඳහා රඳවා තබා ගැනීමට ඒ යටතේ ආරක්ෂක ලේකම්වරයාට බලය පවරා තිබෙන බව පෙත්සමේ සඳහන් වේ.

නිසි අධිකරණ බලයක් ඇති අධිකරණයක විනිසුරුවරයෙකුගේ නියෝගයක් මත මිස, වෙනත් කිසිදු ආකාරයකින් පුද්ගලයෙකුගේ නිදහස අහිමි කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) ව්‍යවස්ථා වගන්තිය උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පත යටතේ පුද්ගලයෙකු රඳවා ගනු ලබන අවස්ථාවක මහේස්ත්‍රාත්වරයාට සිය බලය ක්‍රියාත්මක කිරීමට තිබෙන අවස්ථාව සීමා කර තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කළේ ය.

අදාළ පනත් කෙටුම්පතේ 30 වන වගන්තිය තුළින් පුද්ගලයෙකු මෙම පනත් කෙටුම්පත යටතේ රඳවා ගන්නා අවස්ථාවක එම රැඳවුම් නියෝග සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවනු ලබන අතර, ඊට සාමාජිකයින් පත් කරනු ලබන්නේ විෂය භාර අමාත්‍යවරයා විසින් බව සඳහන් කරන පෙත්සම්කරු, එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ මත තීරණ ගැනීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට පැවරීම ජනපතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවත් කියා සිටියේ ය.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ 54 වන වගන්තිය මගින් අධිචෝදනා පත්‍රයක් ගොනු කරනු ලැබීමෙන් පසු පුද්ගලයෙකු සම්බන්ධයෙන් රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගැනීමට ඉඩ සලසා තිබෙන අතර, ඒ අනුව අදාළ පුද්ගලයා සාමාන්‍ය බන්ධනාගාර පද්ධතියේ සිට ආරක්ෂක ලේකම්වරයා විසින් නියම කරනු ලබන ස්ථානයක් වෙත මාරු කිරීමට හැකියාව ලැබේ.

මේ තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතාවගේ අධිකරණ බලය කප්පාදු වීමක් සිදුවන බවත් පෙත්සම්කරු චෝදනා කළේ ය.

යෝජිත පනත් කෙටුම්පතේ 19 සහ 20 වන වගන්ති මගින්, සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේ බලතල ලබා දී ඇති අතර, අදාළ පනත් කෙටුම්පතේ දක්වා ඇති අවස්ථාවන්හිදී පුද්ගලයින් නතර කිරීම, සෝදිසි කිරීම, ප්‍රශ්න කිරීම, පරිශ්‍රයන්ට ඇතුළු වීම සහ දේපළ අත්පත් කර ගැනීම සඳහා ඉඩ සලසා ඇති බවත් පෙත්සම්කරු ප්‍රකාශ කළේ ය.

මේ හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු චෝදනා කළේ ය.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රශ්නගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත්, ඒ අනුව එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.