අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂට ඇප: අධිකරණයේදී හෙළිවූයේ මොනවා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුනි 17 වැනිදා) පස්වරුවේ නියෝග කළේ ය.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර සිටියේ ය.

සැකකරුගේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වන පුද්ගලයින් අදාළ වටිනාකම සපුරාලිය හැකි වත්කම් සහිත පුද්ගලයින් බවට සහතික ඉදිරිපත් කළ යුතු බව නියෝගයේ සඳහන් විය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අමා විජේසිංහ සමග පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ, අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ ජූලි මස 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කරන බව සඳහන් කළා ය.

'සැකකරුට පාඨමාලාවට සහභාගි වීමට හැකිවන පරිදි සුදුසුකම් වෙනස් කරලා'

නිසි සුදුසුකම් සහිත අපේක්ෂකයින් සිටියදී සුදුසුකම් සපුරා නොමැති මෙම සැකකරු නාවික හමුදා පුහුණුවක් සඳහා එංගලන්තයට සහ යුක්රේනයට යැවීම සහ ඊට අවශ්‍ය කටයුතු සැලසීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බවත් ඇය පැවසුවා ය.

"ස්වාමීනි... ඒ අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කළා. 2006 වසරේ ඔක්තෝබර් මස සිවිල් පුරවැසියෙකු වශයෙන් සිටි මේ සැකකරු, එංගලන්තයේ රෝයල් නේවි යන්ග් ඔෆිසර්ස් කෝස් නමැති පාඨමාලාවට සහභාගි වීම සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කරනවා. එම පාඨමාලාවට සහභාගි වීම සඳහා නාවික හමුදාවේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් වසර දෙකක පුහුණු කාලය අවසන් කළ දක්ෂතම ශිෂ්‍යයෙකු ලෙස තේරී පත්ව තිබිය යුතු යි. ඒ වගේ ම ගණිතය සහ විද්‍යාව විෂයන්වලින් අ. පො. ස. උසස් පෙළ විභාගය සමත් වී තිබිය යුතුයි," නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා ය.

"නමුත් මේ සැකකරු උසස් පෙළ විභාගය ලියලා තිබෙන්නේ කලා අංශයෙන්. ඒ අනුව, මෙම සැකකරුට අදාළ පාඨමාලාවට සහභාගි වීමට හැකිවන පරිදි සුදුසුකම් වෙනස් කරනවා. ඒ අනුව විද්‍යාව, වාණිජ හා කලා අංශවල පෙනී සිට විෂයන් දෙකක් සමත්වීම ප්‍රමාණවත් බවටත් අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි හෝ සිංහල විෂයන් සම්මාන සාමාර්ථ ලබා සමත් වී තිබිය යුතු බවටත් සුදුසුකම් වෙනස් කරමින් පුවත්පත් දැන්වීම් පළ කරනවා. ඉන් අනතුරුව 2016 වසරේ දෙසැම්බර් මස 14 වැනි දා මෙම සැකකරු නාවික හමුදාවට බඳවාගැනීම සිදුවෙනවා."

"ඔහු සමග ශිෂ්‍ය භටයින් විසි හය දෙනෙකු බඳවා ගැනීම සිදුවෙනවා. සැකකරු මෙම පාඨමාලාවට යැවීම සඳහා ලහි ලහියේ කටයුතු සූදානම් වෙනවා. ඔහුගේ නම එංගලන්තයට යවනවා. මේ සැකකරු වෛද්‍ය පරීක්ෂණවලට ඉදිරිපත් වන්නේ දෙසැම්බර් මස 06 වන දා. ඒ කියන්නේ බඳවා ගැනීමට පෙර තමයි මොහු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඉන් පසුව 2007 වසරේ ජනවාරි මස පළමු වන දා අදාළ පුහුණුවට සහභාගි වීම සඳහා සැකකරු එංගලන්තයට පිටව යනවා. මෙවැනි පාඨමාලාවකට සහභාගි විය හැක්කේ නාවික හමුදාවේ විධායක අංශයේ දක්ෂතම ශිෂ්‍යයින් ලෙස දක්ෂතා දැක්වූ අයට පමණයි," නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයට කරුණු දක්වමින් පැවසුවා ය.

"1995 වසරේ සිට 2010 වසර දක්වා නිලධාරින් පස් දෙනෙකු මේ පාඨමාලාවට යවා තිබෙනවා. ඒවා ශිෂ්‍යත්ව වශයෙන් තමයි යවලා තිබෙන්නේ. නමුත් මේ සැකකරු සහභාගි වූ පාඨමාලාව වෙනුවෙන් රුපියල් 6,284,218.61ක මුදලක් රජයෙන් වැය කර තිබෙනවා. මෙම ක්‍රියාව තුළින් රජයට එවැනි මුදලක් පාඩු වී තිබෙනවා," යනුවෙන් ඇය සඳහන් කළා ය.

"මේ සැකකරු නාවික හමුදාවට බඳවාගෙන තිබෙන්නේ යුද්ධය පැවති සමයේ ආරක්ෂක නිලධාරීන්ගේ චිත්ත ධෛර්ය ඇති කිරීමේ අරමුණින් බවට සාක්ෂි වලින් ප්‍රකාශ වෙලා තිබුණා. ආරක්ෂක අංශ නිලධාරීන්ගේ චිත්ත ධෛර්යය වැඩිදියුණු කිරීමට නම් නායකයින් යුද පෙරමුණට යා යුතුයි. නමුත් මේ සැකකරු කවදාවත් යුද පෙරමුණට ගිහිල්ලා නෑ. යුද්ධය තිබෙන ප්‍රදේශවල රාජකාරි කරලා නෑ. එංගලන්තයේ පුහුණුව අවසන් කර මෙරටට පැමිණීමෙන් පසු මාස දෙකකින් ඔහු යළි යුක්රේනයට පුහුණුවකට යනවා. මෙම සැකකරු සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා එක්ව මෙම කුමන්ත්‍රණය සිදුකර තිබෙන බව සාක්ෂි වලින් පැහැදිලි වෙනවා," යනුවෙන් සඳහන් කළ අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය, මෙම සැකකරුට ඇප ලබා දීමෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවත් අධිකරණයට දන්වා සිටියා ය.

'ඔහු පිට වරදක් පටවන්න බෑ'

ඉන් අනතුරුව සැකකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම විමර්ශනය ආරම්භ වී තිබෙන්නේ මීට වසර දහයකට පමණ පෙර බව සඳහන් කළේ ය.

" ස්වාමීනී, මගේ සේවා දායකයාට එරෙහිව මෙවැනි චෝදනාවක් එල්ල කරන්න බැහැ. ඕනෑ ම පුද්ගලයෙකුට පාඨමාලාවකට අයදුම් කරන්න පුළුවන්. සුදුසුකම් තිබෙනවා නම් පමණයි තෝරාගන්නේ. ඒ වගේ මගේ සේවාදායකයාත් මේකට අයදුම් කළා. ඔහුව තෝරාගෙන තිබෙනවා. ඒකට ඔහුට කළ හැකි දෙයක් නෑ. එනිසා ඔහු පිට වරදක් පටවන්න බෑ. ඔහුට මහාධිකරණ වල නඩු තුනක් තිබෙනවා. සෑම නඩුවකටම ඔහු නොකඩවා පෙනී සිට තිබෙනවා," ඔහු පැවසුවේ ය.

මේ නිසා සැකකාර යෝෂිත රාජපක්ෂ ඇප පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සාධාරණ හේතු කිසිවක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසම කටයුතු කර නැති බවත්, ඔහු ඕනෑ ම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදා හරින ලෙසත් නීතීඥවරයා ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස නියෝග කළේ ය.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර සිටියේ ය.