'ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකියි' - නීතිපති

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා බවට තමන්ට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බව නීතිපතිවරයා බදාදා (ජූනි 17) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සම බදාදා අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මෙම දැනුම්දීම සිදු කළා ය.

අභියාචනාධකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

'නඩුකරයට අදාළ ලේඛන ලැබුණේ අද පෙරවරුවේ'

එහිදී සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, පෞද්ගලික හේතු මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි.

සිය සේවා දායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් පැවසුවේ, මෙම නඩුකරයට අදාළ ලේඛන තමන්ට ලැබුණේ අද පෙරවරුවේ බවත් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට කිසිදු උපදෙසක් මේ දක්වා ලැබී නොමැති බවයි.

'අත්අඩංගුවට නොගන්නා බවට තමාට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකියි'

වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලැබී නොමැති නම් පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබා දීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බව මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ අවධානය යොමු කරමින් සඳහන් කළේ ය.

වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව මෙම පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට තමාට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බව මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවා ය.

ඉන් අනතුරුව මෙම සලකා බැලීම බදාදා දහවල් 1.30 දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේ ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේ අඟහරුවාදා (ජූනි 16) ය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කර ඇත.

'පෞද්ගලික නිදහස අහිමි වීමේ හෝ අත්අඩංගුවට පත් වීමේ අවදානමක්'

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම මගින් පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ කියා සිටින්නේ, ඉකුත් දා මාධ්‍ය මගින් පළ කළ වාර්තා ඔස්සේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් තමන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා තිබෙන බවට කරුණු දැන ගත් බව ය.

අදාළ පරීක්ෂණවලදී ඉදිරිපත් වී ඇති කරුණු සහ තමන් රටින් පිටවී යාමට ඉඩ තිබෙන බව සඳහන් කරමින් වගඋත්තරකරුවන් තමන්ට එරෙහිව එම විදේශ ගමන් තහනම ලබා ගෙන තිබූ බව ද ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස තම පෞද්ගලික නිදහස අහිමි වීමේ හෝ තමන් අත්අඩංගුවට පත් වීමේ අවදානමක් මතුවී ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී තිබෙන බව ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.

'පාස්කු ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නෑ'

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එම විමර්ශනවලට අදාළව මේ දක්වා කිසිදු විමර්ශන ආයතනයකින් තමන්ගෙන් ප්‍රශ්න ප්‍රකාශ සටහන් කරගෙන නොමැති බව ද පෙන්වා දී ඇත.

මෙම විමර්ශනයට අදාළව ඕනෑ ම අවස්ථාවක ප්‍රකාශයක් ලබා දීමට තමන් කැමැත්තෙන් සිටින බව ද ඔහු කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන් කිසිවෙකු තමන් නොහඳුනන බවත් එම සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බවත් පෙන්වා දෙන පෙත්සම්කරු, ඒ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් උද්ගත නොවන බව ද සඳහන් කර ඇත.

'ශානි අබේසේකර ද්වේශසහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩ තිබෙනවා'

දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කර ගෙන මෙම විමර්ශන සිදුවන බවත් අසාත් මවුලානා නමැති පුද්ගලයා තමා කිසිදු අවස්ථාවක හමුවී නොමැති අතර ඔහු සමග කිසිදු සම්බන්ධයක් පවත්වා නොමැති බව ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

තමා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමේ පරීක්ෂණ කොමිසම මගින් වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබූ බව ද ඔහු පවසා ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ විමර්ශනය මෙහෙය වීමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ශානි අබේසේකර, තමන් කෙරෙහි කිසියම් වෛරයකින් හෝ ද්වේශසහගත අදහසකින් කටයුතු කිරීමට ඉඩකඩ තිබෙන බව ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.

ඒ අනුව, ශානි අබේසේකරට මෙම විමර්ශනය ස්වාධීනව මෙහෙයවීමට හැකියාවක් නොමැති අතර තමන් ඕනෑ ම මොහොතක අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීමට ඔහුට හැකියාව තිබෙන බව ද හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත.

'තමාට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කර නැහැ'

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් සභා හෝ එම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කර ඇති නඩු තීන්දුව තුළින් තමන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බව ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබේ.

ඒ අනුව, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ විසින් පත් කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව, එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව සහ අසාද් මවුලානා නමැත්තා චැනල් 4 නාලිකාවට සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තාව අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන රිට් ආඥාවක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන් ම මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.