ගෝඨාභය රාජපක්ෂ: අසාද් මවුලානා සහ ගෝඨාභය ගැන අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා සඳුදා (ජූලි 06) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා සිටියේ ය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තුන් වන දිනටත් සලකා බැලිණි.
දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙසේ පැවසීය.
"මෙම පෙත්සම්කරු අසාද් මවුලානා නමැති පුද්ගලයාව තමන් නාඳුනන බව මේ පෙත්සමේ සඳහන් කර තිබුණා. එවැනි පුද්ගලයෙක් තමන් නොදන්නා බවටත්, ඔහු කවුද? කියාත් මේ පෙත්සම්කරු ප්‍රකාශ කර තිබුණා. නමුත් අත්අඩංගුවේ පසුවන ඉනියභාරතී නමැති පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීලා තිබෙනවා. ඔහු තමන්ගේ ප්‍රකාශයේ සඳහන් කරලා තිබෙනවා, 2019 වසරේ හෙන්දාවිතාරණ මහතා තමන්ට කතා කර ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන ලෙස දැනුම් දුන් බවට. ඒ අනුව ඉනියභාරතී නමැති පුද්ගලයා මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් තිබෙනවා. එහිදී එම නිවසේ අසාද් මවුලානා, පිල්ලයාන්ගේ පක්ෂයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරික ඇතුළු පිරිසක් සිටි ආකාරය තමන් දුටු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ බව තහවුරු කරන ඡායාරූප ද වගඋත්තරකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඡායාරූපවල අසාද් මවුලානා මේ පෙත්සම්කරු සමඟ සිටින ආකාරය දකින්නට තිබෙනවා."
ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මේ ඡායාරූප ලබාගෙන තිබෙන්නේ කොහෙදී දැයි ප්‍රශ්න කළේ ය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ, "ස්වාමීනී... මේ ඡායාරූප ලබාගෙන තිබෙන්නේ පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී. ඒ නිසා ඔහු අසාද් මවුලානා හඳුනන්නේ නැහැ කියා තමන්ගේ පෙත්සමේ ඉදිරිපත් කළ කරුණු පිළිගන්න බැහැ. ඒ නිසා ඔහු මේ අධිකරණයට ඇවිත් තිබෙන්නේ පිරිසුදු දෑතින් නෙවෙයි. ඔහු මේ නඩුකරය හරහා සත්‍ය කරුණු සැඟවීමක් සිදුකරලා තිබෙනවා. ඒ නිසා ඔහු ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ," යනුවෙනි.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙසේ පැවසීය.
"පෙත්සම්කරු මේ පෙත්සම තුළින් තමන්ගේ නිදහසේ ගමන් බිමන් යාමේ අයිතිය උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. පුද්ගලික නිදහසට බාධා සිදුවී ඇති බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒවා සම්පූර්ණයෙන් ම මූලික අයිතිවාසිකම් හා බැඳුණු කරුණු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාවට අනුව මෙවැනි කාරණා සම්බන්ධයෙන් විභාගයක් පැවැත්විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණ යි. අභියාචනාධිකරණයට එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් විභාග කරන්න බැහැ. එනිසා මා ඉල්ලා සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126(3) ව්‍යවස්ථාව යටතේ මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙසට."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ දේශනය ආරම්භ කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින්, සිය සේවාදායකයාගේ නිදහසට බාධාවක් වන අයුරින් ඔහු අත්අඩංගුවට පත්වීම වළක්වාලීමේ අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේ ය.
"යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ පුද්ගලික නිදහස සීමා කිරීම සඳහා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වී තිබිය යුතු යි. සාධාරණ සැකයක් උද්ගත විය යුතු යි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේදී මෙම තත්ත්වය අදාළ වන බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ විනිශ්චිත නඩු තීන්දුවලින් අවධාරණය කර තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ දක්වා එම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා කොමිෂන් සභා ගණනාවක් පත් කර තිබුණා. එම කිසිදු කොමිෂන් වාර්තාවක මේ පෙත්සම්කරු ගැන වචනයක් වත් සඳහන් කර තිබුණේ නෑ. ඉන්පසුව අසාද් මවුලානා නමැත්තා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත්කර විමර්ශන සිදු කළා. එම කොමිෂන් වාර්තාවේ පවා මේ පෙත්සම්කරු ගැන කිසිදු වචනයක් සඳහන් කර නැහැ. එසේ තිබියදී මෙම පෙත්සම්කරු නීතියට පටහැනි ලෙස වගඋත්තරකරුවන් විසින් අත් අඩංගුවට ගනු ලැබීමට සූදානම් වන බව සඳහන් කළ යුතු යි. මේ ක්‍රියාවලට නීතිපතිවරයා සහය වීම ගැන මා පුදුමයට පත් වෙනවා."
වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙසේ ද පැවසීය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) සහ 13(2) ව්‍යවස්ථාවලට අනුව පදනම් විරහිත චෝදනා මත පුද්ගලයෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත නොහැකි යි. පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැක්කේ නීතිය මගින් නියම කර තිබෙන නියමයන්ට අනුකූලව පමණ යි. සාධාරණ සැකයක් පැවතීම එහි අනිවාර්ය සාධකයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 06 වන වගන්තිය තුළින් සාධාරණ සැකය පිළිබඳව පැහැදිලිව කරුණු දක්වා තිබෙනවා. වත්මන් අගවිනිසුරු සූරසේන මහතා මෑතකදී ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවක මේ බව ඉතා නිවැරදිව සඳහන් කර තිබෙනවා."
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඡායාරූප කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩිදුරටත් කරුණු දැක්වීමක් සිදු කළේ ය.
"ස්වාමීනි... මේක පෙත්සම්කරු කාදිනල් හිමිපාණන් සමග සිටින ඡායාරූපයක්. තවත් ජායාරූපයක ඔහු ඩග්ලස් දේවානන්දා සමග සිටිනවා. මේ ඡායාරූපවල ඔහු සම්බන්ධන් මන්ත්‍රීවරයා සහ ප්‍රභා ගනේෂන් සමග සිටින ආකාරය දකින්නට පුළුවන්. මේ ඡායාරූප ඔහු දේශපාලකයෙකු ලෙස ක්‍රියා කරද්දී ලබාගත් ඡායාරූප. මේ ආකාරයට ඔහු සිටින ඡායාරූපයක අසාත් මවුලානා සිටි පමණින් ඔහු යම් අපරාධයකට සම්බන්ධ බවට ප්‍රකාශ කරන්න බැහැ. ජනක් ද සිල්වා කොමිසමේ වාර්තාවේ පැහැදිලිව දක්වා තිබෙනවා, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසමත්වීම් ගැන. එම වකවානුවේ එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ශානි අබේසේකර මහතා යි. එම පුද්ගලයා අද මෙම විමර්ශනය සිදුකිරීම ගැටලුසහගත යි. මාවනැල්ල බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිස් කණ්ඩායම් එම සිද්ධිය පිටුපස විදේශීය අන්තවාදී සංවිධානයක සම්බන්ධයක් පවතින නිසා ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගෙන විමර්ශන සිදු කරන ලෙස ඉල්ලිමක් කර තිබුණා. එහෙත් එම ඉල්ලීම ශානි අබේසේකර මහතා විසින් නොසලකා හැර තිබුණා. එවැනි පුද්ගලයෙක් තමයි මේ විමර්ශනය සිදු කරන්නේ."
"මේ පෙත්සමට ඉදිරිපත් කළ සීමිත විරෝධතා සමග ශානි අබේසේකර මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. එම දිවුරුම් ප්‍රකාශයේ ඔහු ප්‍රකාශ කර තිබෙනවා, පෙත්සම්කරු ඉදිරිපත් කළ මේ පෙත්සම නොමේරූ ඉල්ලීමක් බවට. ඔහු එසේ ප්‍රකාශ කරන්නේ කොහොම ද? එසේ කීමට ඔහුට උපදෙස් දුන්නේ කවුද? එම දිවුරුම් පෙත්සමේ මේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට හේතු වන කරුණු කිසිවක් ඔහු දක්වා නෑ," යනුවෙන් ද සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා සිය දේශනය අවසන් කළේ ය.
ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ වැඩිදුර දේශන මේ මස 09 වන දා දක්වා කල් තැබිණි.
































