රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: මහේස්ත්‍රාත්ගෙන් නීතිපතිට නියමයක්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධ නීතිමය පියවර පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ජූලි 08) දිනයක් නියම කළේ ය.

මහේස්ත්‍රාත්වරයා නියම කළේ, ඒ සඳහා සැප්තැම්බර් මස 30 වන දා නඩුකරය නැවත කැඳවන ලෙස ය.

මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි.

CID ප්‍රකාශය

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උධෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ය.

ඒ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ය.

එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න පැවසුවේ, මෙම නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර තිබෙන්නේ වාහන සඳහා බව විමර්ශකයින් ප්‍රකාශ කර ඇති බව ය.

එහෙත්, තම සේවාදායකයාට වාහන ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජය බව ඔහු පැවසීය.

ඊට අදාළව බ්‍රිතාන්‍ය රජය අනුගමනය කළ පියවර ඇතුළත් ලේඛනයක් රජයේ නීතිඥවරියට භාර දුන් ජනාධිපති නීතිඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළිත් සැප්තැම්බර් මස 30 වන දා කැඳවන ලෙස නියම කළේ ය.

එදින නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා රජයේ නීතිඥවරියට නියම කළේ ය.

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදාන උත්සවයකට සහභාගි වෙමින් රුපියල් ලක්ෂ 166කට වැඩි රජයේ මුදල් ප්‍රමාණයක් පෞද්ගලික සංචාරයක් සඳහා වැය කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සැකපිට හිටපු ජනාධිපති රනිල් විකමසිංහ සහ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.