පල්ලේගම හේමරතන හිමි 22 වන දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග: දැරියගේ මවගේ ඇප ඉල්ලීම ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
බාලවයස්කාර දැරියක දූෂණය කළේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කළ, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න කොළඹ රක්ෂිත බන්ධනාගාර අධිකාරිවරයාට අද (මැයි 15) නියෝග කළේ ය.
මේ අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට තම බාලවයස්කාර දියණිය බරපතළ ලිංගික අපයෝජනයක් සඳහා චේතාන්විතව ම මුදලට ලබා දුන්නේ යැයි කියන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වින්දිත දැරියගේ මව ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් දිසානායක අධිකරණයෙන් කළ ඉල්ලීමක් තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මව මේ මස 22 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේ ය.
නිට්ටඹුව පොලිසියේ විමර්ශනවල තත්ත්වය
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (මැයි 15) යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය කියා සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන මේ වන විට අවසන්ව ඇති බව ය.
ඒ අනුව, අදාළ විමර්ශනවල උදෘත නීතීපති උපදෙස් සඳහා යවා ඇති බව ද අධිකරණයට දැනුම් දුන් නිට්ටඹුව පොලිසිය මෙම සිද්ධියේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද දන්වා සිටියේ ය.
කොළඹ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මගින් එවා තිබූ සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් පවසා සිටියේ, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වෙමින් මේ වන විට කොළම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ය.
පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සදහන් කළේ, තම සේවාදායක සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අද දින ඇප ඉල්ලීමක් සිදු නොකරන බව ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කරන ලෙසට පොලිසියට නියෝග කරන්නැයි ද ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. සියලු පාර්ශ්වවල කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න, මෙම නඩුව යළි එළැඹෙන 22 වන දින කැඳවීමට තීන්දු කරමින් පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් එදිනට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරනු ලැබී ය. වින්දිත බාලවයස්කාර දැරියගේ සැකකාර මව ඇප මත මුදාහැරීම ද මෙහිදී ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය ලබන 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන සමග ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනිෂියා ප්‍රේමරත්න සහ නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න පෙනී සිටියහ. අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ද ඊට සහය වූහ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සමග ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, සජීව ගුණරත්න, මහේෂ් කොටුවැල්ල, චාන්දනී හටන්ගල, හේමන්ත ගමගේ, ආරියරත්න වික්‍රමආරච්චි, ධනුෂ්ක දහම්පත්, රේණුකා වික්‍රමාරච්චි, මදාරා විජේසිංහ සහ ජයලත් අබේසිංහ, සුරංග මොහොටිටි සහ අමිල කොලොන්නආරච්චි යන නීතිඥවරුන් 20 දෙනෙක් පමණ පෙනී සිටියහ. වින්දිත දැරියගේ මව වෙනුවෙන් නිතීඥ ප්‍රදීප් දිසානායක පෙනී සිටියේ ය.
දූෂණයට ලක්වූ බව කියන බාලවයස්කාර වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයක් පෙනී සිටියේ නැත.
මෙම සිද්ධියේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මේ මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ලබා දුන් නියෝගයකට අනුව ය. ඉකුත් 12 වන දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබුවේ ද, කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් මත ය.
පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම සහ 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 364 (2)(ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ චෝදනා යටතේ ය. මේ අතර, බාලවයස්කාර වින්දිත දැරියගේ මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ, 2006 අංක 16 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව, තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරත්න හිමියන්ට ඉහත චෝදනා සඳහා ආධාර අනුබල දීම යටතේ ය.


































