පෞද්ගලික රෝහලක සිටි අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කොළඹ ජාතික රෝහලට මාරු කරයි

පල්ලේගම හිමි

ඡායාරූප මූලාශ්‍රය, SHARA S. KODIKARA/AFP via Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බ්‍රහස්පතින්දා (මැයි 14) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන බදාදා (මැයි 13) වන දා ලබා දුන් නියෝගය අනුව එම හිමිනම පෙරවරු 10:30ට පමණ පෞද්ගලික රෝහලේ සිට ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

මෙම නඩුකරය බදාදා (මැයි 13) මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් මැයි 22 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

සැකකාර හිමිනම ප්‍රතිකාර ලබන කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගොස් එම හිමිනම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ ය.

වෛද්‍ය නිර්දේශ මත සැකකාර හිමිනම කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා එදින කළ නියෝගයේ සඳහන් විය.

මේ අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට තම දැරිය ලිංගික හිංසනයට ලක් කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් දැරියගේ මව මැයි මස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ලබා දුන් නියෝගයකට අනුව ය.

ඊට අදාළ නඩුව සිකුරාදා (මැයි 15) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිත ය.

අනුරාධපුර අධිකරණයේදී මැයි 12 වන දා සිදු වූයේ කුමක් ද?

සැකකාර හිමිනම යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අඟහරුවාදා (මැයි 12) ප්‍රතික්ෂේප කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එලෙස සැකකාර පල්ලේගම හේමරතන හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් තමන්ට නිකුත් කළ නොහැකි බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, මෙම සිද්ධියට අදාළ නඩුව එදින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.

මෙහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් සහ සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතීඥයන් සහ බන්ධනාගාර නිලධාරීන් අමතමින් ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මේ බව සඳහන් කළේ ය.

මහේස්ත්‍රාත්වරයා එහිදී පැවසුවේ, සැකකාර හිමිනම මැයි 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවට සහ එම හිමිනම එදින තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය තම අධිකරණයට ලැබී නොතිබුණු බව ය.

ඒ හේතුවෙන්, සැකකාර පල්ලේගම හේමරතන හිමි තම අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින පසුබිමක යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරිමට තමාට නීතිමය හැකියාවක් නොමැති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.

සැකකාර හිමිනම යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නේ නම් එම නියෝගය ද දැනට පවතින තත්ත්වය අනුව නිකුත් කළ යුත්තේ ද, සැකකාර හිමි නිරීක්ෂණය කර මැයි 12 දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝගය ලබා දුන් මහේස්ත්‍රාත්වරයා විසින් ම බව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න පැවසීය.

ඒ අනුව, මෙම නඩුව එළැඹෙන 15 වන දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද නිට්ටඹුව පොලිසියට නියෝග කළේ ය.

නඩුව කැඳවූ අවස්ථාවේ නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බව ය.

සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස පැවසුවේ, තම සේවාදායක අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

සමාජයේ ජීවත් වන වෛද්‍යවරුන්, නීතීඥවරුන් මෙන්ම විවිධි වෘත්තීයවේදීන් සහ සාමාන්‍ය ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාග කොට තීන්දු ලබා දී අවසන් බවට ජනාධිපති නිතීඥවරයා චෝදනා කළේ ය.

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මගින් එවා තිබූ සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්, බන්ධනාගාර නිලධාරින් පැවසුවේ, සැකකාර හේමරතන හිමියන් දුර බැහැරකට ප්‍රවාහනයට කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොමැති බව සහ උන්වහන්සේ විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ද භාජනය කිරිමට ඇති බැවින් එදින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නොහැකි තත්ත්වයක පසු වූ බව ය.

This picture taken on May 19, 2023 shows monk Pallegama Hemarathana, the chief custodian of the ancient bodhi tree, showing newly sprouting leaves of the holy tree at Sri Maha Bodhi temple in Anuradhapura.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පැමිණිල්ල වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නඩු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ඇතුළු නිලධාරීන් පිරිසක් පෙනී සිටියහ.

සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් ජනාධිපති නිතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළුව නීතීඥවරුන් වන හේමන්ත ගමගේ, කූජන බානගොඩ, ෂමින්ද හේරත්, ජනිත් මහසෙන්, හිමංසා සමරදිවාකර යන පිරිස සමඟ ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, චන්දන වීරකෝන්, ආරියරත්න වික්‍රමආරච්චි, ධනුෂ්ක දහම්පත්, කාලිංග රවීන්ද්‍ර, මදාරා විජේසිංහ, ජයලත් අබේසිංහ ඇතුළු තවත් අනුරාධපුර නීතිඥ සංගමයේ නීතීඥවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටියහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී ද අනුරාධපුර නීතිඥ සංගමයේ නීතීඥවරුන් සහ නීතීඥවරියන් 30කට ආසන්න පිරිසක් විවෘත අධිකරණයේ රැඳී සිටි අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ ස්වර්ණමාලී අනුරාධනායක සහ නිතීඥවරුන් වන සංජය රත්නායක සහ සුනන්ද තෙන්නකෝන් ඇතුළු නීතීඥවරු සහ නීතීඥවරියන් 7 දෙනෙක් පමණක් සැකකාර පල්ලේගම හේමරතන හිමි වෙනුවෙන් පෙනී නොසිටියහ.

මැයි 12 වන දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ කුමක් ද?

අඟහරුවාදා (මැයි 12 ) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුවූයේ කුමක් දැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීවේදී එෆ්.යූ. වුට්ලර්ගෙන් බීබීසී සිංහල එදින සවස විමසීමක් කළේය.

"අද දින බන්ධනාගාර අධිකාරීන් විසින් මෙම සැකකාර හිමිනම ඉදිරිපත් කළේ නැහැ, මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් මෝසමක් ඉදිරිපත් කර ඒ බව අධිකරණයට දැනුම් දුන් අතර එහිදී අධිකරණය විසින් සැකකාර හිමිනම 2026 මැයි 15 වන දා දක්වා රිමාන්ඩ් කරන ලදී," යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ ය.

අනතුරුව බීබීසී සිංහල විමසා සිටියේ මෙම මෝසම ඉදිරිපත් කළේ, කොළඹ අධිකරණයට ද යන්න පිළිබඳවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම මෝසම ඉදිරිපත් කරනු ලැබුවේ, අනුරාධපුර අධිකරණයට බවයි.

ඔබට සහයක් අවශ්‍ය ද?

ඔබත් ලිංගික හිංසනයක වින්දිතයෙක් ද? නැතිනම් බාල වයස්කරුවෙකු ලිංගික හිංසනයට ලක් වන බවක් ඔබට නිරීක්ෂණය වී තිබේ ද?

පහත අංක අමතා සහය ලබා ගන්න.

  • ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
  • ශ්‍රී ලංකා ළමා උපකාරක සේවය - 1929
  • පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය- 011-2444444
  • පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ හදිසි ඇමතුම් අංකය - 109
  • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
  • ළමා උපකාරක සේවය - 1938