මලක්කා සමුද්‍ර සන්ධිය: ගෝලීය වෙළෙඳාම සඳහා වැදගත් තවත් 'මුහුදු මාර්ගයක්' ගැන අනතුරු ඇඟවීමක් ඇයි?

    • Author, ලුයී බරූචෝ
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 7

මැද පෙරදිග කලාපයේ පිහිටා තිබෙන ලෝකයේ වඩාත් ම තීරණාත්මක ජල මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිරතාව මධ්‍යයේ ගෝලීය වෙළෙඳාම සඳහා අත්‍යවශ්‍ය මුහුදු මාර්ගයක් වෙත ලෝකයේ අවධානය යොමුවීමට පටන් ගෙන තිබේ.

ඉකුත් සඳුදා අත්සන් තබන ලද ආරක්ෂක ගිවිසුමෙන් අනතුරුව ඉන්දුනීසියානු භූමියට ඉහළින් පියාසර කිරීම සඳහා එක්සත් ජනපදය පූර්ණ හමුදා අවසරයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව ඉන්දුනීසියානු නිලධාරීන් තහවුරු කිරීමෙන් පසු අග්නිදිග ආසියාවේ පිහිටි මලක්කා සමුද්‍ර සන්ධිය නැවත අවධානයට ලක්ව තිබේ. ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ, මෙතෙක් ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹ නොමැති බව ය.

එවැනි ක්‍රියාවක් ගෝලීය වශයෙන් භූ දේශපාලනික බලපෑම් ඇති කළ හැකි බව විශේෂඥයෝ පවසති.

මලක්කා සමුද්‍ර සන්ධිය යනු කුමක් ද? එය වැදගත් වන්නේ ඇයි?

ගෝලීය වැදගත්කම

"මලක්කා සමුද්‍ර සන්ධිය ඉතා වැදගත් වන්නේ එය ඉන්දියානු සාගරය පැසිෆික් සාගරයට සම්බන්ධ කරන කෙටි ම සහ කාර්යක්ෂම ම මුහුදු මාර්ගය වන නිස යි. මැද පෙරදිග, යුරෝපය සහ නැගෙනහිර ආසියාව අතර වෙළෙඳාම සඳහා එය අත්‍යවශ්‍ය වෙනවා," ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ උර්බානා චැම්පේන්හි ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු සහ එක්සත් රාජධානිය පදනම් කර ගත් ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ (IISS) සමුද්‍ර සන්ධීය සහ සමුද්‍රීය සිදුවීම් පිළිබඳ අධ්‍යයනය කර ඇති කලාපීය විශේෂඥයෙකු වන අසිෆා ඇස්ට්‍රිනා පවසයි.

"ගෝලීය වෙළෙඳාමෙන් තුනෙන් එකක් පමණ සිදුවන දකුණු චීන මුහුදට ඒක ඍජුව සම්බන්ධ වෙනවා,'' ඇය පවසයි.

සිංගප්පූරුව ආසන්නයේ පිහිටි ෆිලිප්ස් ඇළ වටා ඇති එහි පටු ම ස්ථානය පළලින් කිලෝමීටර 2.8ක් පමණ වේ.

එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයේ නවතම වාර්තාවට අනුව, 2025 මුල් මාස 06 දී මලක්කා සමුද්‍ර සන්ධිය හරහා දිනකට ඉන්ධන බැරල් මිලියන 23.2ක් ප්‍රවාහනය කර ඇති අතර, එය ගෝලීයව මුහුදු මාර්ග ඔස්සේ සිදු කළ ඉන්ධන ප්‍රවාහනයෙන් 29%කට සමාන වේ. එම කාලය තුළ ම ජල මාර්ගය ඔස්සේ දිනකට ඝන අඩි බිලියන 9.2ක් පමණ වන ද්‍රව ස්වාභාවික වායු තොග ද ප්‍රවාහනය කර ඇත.

ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ තිරසර භාණ්ඩ ප්‍රවාහනය සහ සැපයුම් පිළිබඳ කථිකාචාර්ය ගොකායි බල්සි පවසන්නේ, ජල මාර්ගය "ඉලෙක්ට්‍රොනික, පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ, යන්ත්‍රෝපකරණ සහ මෝටර් රථ" ප්‍රවාහනය සඳහා ද භාවිත කෙරෙන ප්‍රධාන නාවික මාර්ගයක් බව ය.

''ලෝකයේ මෝටර් රථ වෙළෙඳාමෙන් සියයට 25ක් විතර ඒ හරහා සිදුවනවා. ධාන්‍ය සහ සෝයා බෝංචි වගේ වියළි ආහාර තොග ද ප්‍රවාහනය කරන්නේ මේ සමුද්‍ර සන්ධිය හරහා යි,'' ඔහු පවසයි.

"ඔබ භූගෝලීය පිහිටීම, බලශක්ති යැපීම්, භාණ්ඩ ප්‍රමාණය සහ භාණ්ඩ වර්ග ඒකාබද්ධ කර බලන විට මලක්කා සමුද්‍ර සන්ධිය හෝමූස් සමුද්‍ර සන්ධියට වඩා වෙනස් වෙනවා. හෝමූස් සමුද්‍ර සන්ධියත් ගෝලීය වෙළෙඳාමට තීරණාත්මක වන නමුත් මලක්කා සමුද්‍ර සන්ධිය වගේ වැදගත් භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් නෙමෙයි. ඒකේ කාර්යභාරය බලශක්තියෙන් ඔබ්බට ගිහිං පුළුල් පරාසයක භාණ්ඩ ප්‍රවාහනයක් ආවරණය කරනවා," බල්සි පවසයි.

"මලක්කා කියන්නේ ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රීය මාර්ගයක් කියලා කියන එක සාධාරණ යි" ඇස්ට්‍රිනා වැඩිදුරටත් පවසයි.

මුහුදු කොල්ලකෑම් ප්‍රධාන ගැටලුවක් ලෙස පවතී. සිංගප්පූරුව පදනම් කර ගත් ReCAAP තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයට අනුව, 2025 වසරේදී මලක්කා සහ සිංගප්පූරු සමුද්‍ර සන්ධි ආශ්‍රිතව මුහුදු කොල්ලකෑම් 108ක් වාර්තා වී ඇත. එය 2007 වසරෙන් පසු වාර්තා වූ වැඩි ම කොල්ලකෑම් සංඛ්‍යාව වේ.

එම සමුද්‍ර සන්ධිය සුනාමි සහ ගිනි කඳු බලපෑම් ඇතුළු ස්වභාවික විපත් සඳහා ද නිරාවරණය වී ඇත. උදාහරණයක් ලෙස 2004 වසරේදී බලපෑ සුනාමි ව්‍යවසනයේදී එහි දකුණු දිග පිවිසුම ආසන්නයේ පිහිටි වෙරළබඩ යටිතලපහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදු විය.

ගැටලු මොනවා ද?

විශේෂඥයින් පවසන්නේ, මලක්කා සමුද්‍ර සන්ධිය ගෝලීය ආර්ථිකයට දක්වන දායකත්වය මත පමණක් නොව, එහි වර්ධනය වෙමින් පවතින භූ දේශපාලනික සංවේදීතාව මත ද ඉතා වැදගත් බව ය.

"කලාපය තුළ සමුද්‍රීය වශයෙන් පවතින ආධිපත්‍යය පදනම් කර ගනිමින් චීනය සහ එක්සත් ජනපදය හෝ ඉන්දියාව අතර ඇති වන ඕනෑ ම නොසන්සුන්තාවක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල කරන්න පුළුවන්," බල්සි පවසයි.

ඇස්ට්‍රිනා පවසන්නේ, ඉන්දුනීසියානු ගුවන් සීමාව තුළ එක්සත් ජනපද හමුදා ප්‍රවේශය ඉහළ යාමේ හැකියාව පවා දිගුකාලීන බලපෑම් ඇති කළ හැකි බව ය.

"වෙළෙඳාමට අද හෙට ම බාධා එල්ල නොවුණත්, ව්‍යුහාත්මක ලෙස බලන විට අස්ථාවරත්වයක් ඇති කරන්න පුළුවන් දෙයක් විදිහට තමයි මම ඒක දකින්නේ."

ඇගේ පර්යේෂණ මගින් යෝජනා කරන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය තුළ පවතින වත්මන් ආරක්ෂක ක්‍රමවේදය ප්‍රධාන බලවතුන් අතර පවතින එදිරිවාදිකම් කළමනාකරණය සඳහා නිර්මාණය කර නොමැති බව ය.

"ඒක සැලසුම් කර තිබෙන්නෙ ම මුහුදු කොල්ලකෑම්, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ වගේ සාම්ප්‍රදායික නොවන තර්ජන සම්බන්ධයෙන් කටයුතු කිරීමට. ලෝක බලවතුන් අතර තිබෙන තරගකාරිත්වය කළමනාකරණය කිරීමට ඒක සකස් කරලා නැහැ," ඇය පවසයි.

''ඉතින් එක්සත් ජනපදය වැනි ප්‍රධාන බලවතෙකු සිය මෙහෙයුම් පියවර ඉහළ නංවද්දී පවතින පද්ධතියට පාලනය කර ගත නොහැකි ආකාරයේ ආරක්ෂක ආතතීන් නිර්මාණය කරනවා.''

කෙසේ වෙතත්, කෙටිකාලීන බාධා ඇති වීමට ඉඩක් නොමැති බව ඇය පවසයි.

"වෙළෙඳ නැව්වල ගමනාගමනයට බාධා එල්ල වෙයි කියලා මම තවමත් අපේක්ෂා කරන්නේ නැහැ. වෙළෙඳාම අඛණ්ඩව පවත්වාගෙන යාමට තිබෙන දිරිගැන්වීම් හරි ම ප්‍රබල යි."

විශාලතම අවදානම පවතින්නේ ඉදිරියේදී බව ඇය පවසයි.

"කනස්සල්ලට හේතුව මේක ක්‍රමයෙන් විශාල මතභේදයකට තුඩු දිය හැකි වීම යි. එක්සත් ජනපදය වැදගත් මුහුදු මාර්ගයක් අසල නිරීක්ෂණ හෝ ස්ථානගත කිරීම වැඩි කරන බව චීනය දැක්කොත්, ඒක වෙළෙඳාමට ඍජුව ම බාධා නොවුණත්, එම ප්‍රදේශය තුළ තමන්ගේ ම පැවැත්ම හෝ බලපෑම වැඩි කිරීමෙන් ඔවුන් එයට ප්‍රතිචාර දැක්විය හැකි යි."

''අන්න එතන තමයි අවදානම රැඳිලා තියෙන්නේ. සහයෝගීතාවයෙන් සහ නීතිය පවත්වාගෙන ගිය ආරක්ෂක පරිසරයක් ක්‍රමානුකූලව වඩාත් තරගකාරී, මිලිටරිකරණය වූ පරිසරයක් දක්වා වෙනස් වෙන හැටි ඔබට බලාගන්න පුළුවන් වෙයි.''

ඍජු ගැටුමක් නොමැති වුව ද එවැනි වෙනසක් දැනෙන බලපෑම් ඇති කළ හැකි බවට ඇය අනතුරු අඟවයි.

''ඉහළ රක්‍ෂණ වියදම්, අවදානම් පිළිබඳ දැනුවත්භාවය ඉහළ යාම සහ ලෝකය බොහෝදුරට රඳා පවතින වෙළෙඳ මාර්ගයක දැඩි අස්ථාවරත්වය ගෝලීය වෙළෙඳාම සඳහා වක්‍රව නමුත් සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල කරන්න පුළුවන්''

එසේ ම ඉන්දුනීසියාවේ භූමිකාව පටු ලෙස දැකීමට එරෙහිව ද ඇය අනතුරු අඟවයි.

"ඒකට ඉන්දුනීසියාව එක් පාර්ශවයක් සමග එකතු වීමක් ලෙස දකින්නේ නැතුව ඉන්න එකත් වැදගත්" ඇය පවසයි.

''ඉන්දුනීසියාව අනුගමනය කරමින් ඉන්නේ සමතුලිත උපාය මාර්ගයක් බව පේනවා. ඔවුන් එක්සත් ජනපදය සමග සහයෝගීතාව ශක්තිමත් කර ගනිමින් සිටින්නේ චීනය සමග ශක්තිමත් ආර්ථික සබඳතා පවත්වා ගනිමින් සහ රුසියාව වගේ අනෙක් හවුල්කරුවන් සමගත් කටයුතු කරමින් ඉන්න අතරතුර යි.''

''මෙතැනදී දකින්න තියෙන ලොකු ම දේ සන්ධාන ගොඩනැගීම නෙමෙයි. යථාර්ථය වන්නේ ඓතිහාසිකව ගෝලීය වෙළෙඳාම සඳහා පොදු කොරිඩෝවක් ලෙස කළමනාකරණය වූ අවකාශයකට ලෝක බලවතුන්ගේ තරගකාරිත්වය ඇතුළු වෙමින් තිබීම යි.''

'මලක්කා උභතෝකෝටිකය'

2003 වසරේදී එවක චීන ජනාධිපති හූ ජින්ටාඕ විසින් මෙම ජල මාර්ගය මත චීනයේ දැඩි රඳා පැවැත්ම විස්තර කිරීමට "මලක්කා උභතෝකෝටිකය" යන සංකල්පය හඳුන්වා දුන්නේ ය.

පාරිසරික බලපෑම් තක්සේරුව සහ CSIS චීන බලශක්ති ව්‍යාපෘතියේ දත්ත චීනයේ ඉන්ධන ආනයනයෙන් හතරෙන් තුනක් පමණ සහ වටිනාකම අනුව එහි සමුද්‍රීය වෙළඳාමෙන් 60%ක් පමණ මලක්කා සමුද්‍ර සන්ධිය සහ ඊට යාබද දකුණු චීන මුහුද හරහා සිදු කරයි.

"නමුත් ඒක චීනයට විතරක් ම නෙමෙයි. ජපානය සහ දකුණු කොරියාවත් එම සමුද්‍ර සන්ධිය මත දැඩිව යැපෙන අතර ඔවුන්ගේ ඉන්ධන ආනයනයෙන් සියයට 90ක් පමණ සිදු කරන්නේත් ඒ හරහා යි," බල්සි පවසයි.

ලොව දෙවන කාර්ය බහුල ම බහාලුම් වරායට සත්කාරකත්වය සපයන සහ ප්‍රධාන නැව්වලට ඉන්ධන පිරවීමේ මධ්‍යස්ථානයක් වන සිංගප්පූරුවට ද මෙම ජල මාර්ගය ඉතා වැදගත් බව ඔහු තවදුරටත් පවසයි.

ඇස්ට්‍රිනා පවසන්නේ, චීනයට මෙම සමුද්‍ර සන්ධිය මත පවතින රඳා පැවැත්ම අඩු කිරීම කෙටි කාලීනව සිදු කළ හැකි තාත්වික විකල්පයක් නොවන බව ය.

"අවම වශයෙන් නුදුරු කාලයේදී හරි එම රඳා පැවැත්ම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට ප්‍රායෝගික මාර්ගයක් චීනයට තියෙනවා කියලා මම හිතන්නේ නැහැ," ඔහු පවසයි.

"නළ මාර්ග හෝ වෙනත් කොරිඩෝ වැනි විකල්ප මාර්ග සුළු වශයෙන් උපකාරී වෙන්න පුළුවන් වුණත් මහා පරිමාණයෙන් ඔවුන්ට මලක්කා සමුද්‍ර සන්ධියට ආදේශකයක් නැහැ."

ඊට බල්සි ද එකඟ ය. ඇය පවසන්නේ වඩාත් ශක්‍යතාවයෙන් යුතු විකල්ප මාර්ග දෙක වන සුන්ඩා සමුද්‍ර සන්ධිය සහ ලොම්බොක් සමුද්‍ර සන්ධිය ද පවතින්නේ ඉන්දුනීසියානු මුහුදු සීමාවේ බව ය.

පැපුවා නිව්ගිනියාව ආසන්නයේ පිහිටි ටෝරස් සමුද්‍ර සන්ධිය යනු "කොරල් පර තියෙන නොගැඹුරු, සංවේදී ජල මාර්ගයක්. විශාල වෙළෙඳ නෞකාවලට එහි යාත්‍රා කරන්න පුළුවන්කමක් නැහැ" ඔහු පැහැදිලි කරයි

බල්සි පවසන්නේ, ඔස්ට්‍රේලියාවේ දකුණු දිග කලාපය වටා ගමන් කිරීම ''අතිවිශාල පිරිවැයක් සහ කාලයක්" වැය කිරීමක් වනු ඇති බව ය.

මෙම සීමාවන් සැලකිල්ලට ගත් විට චීනයේ අවධානය යොමුව ඇත්තේ මෙම දුර්වලතාව මුලිනුපුටා දැමීමට වඩා එය කළමනාකරණය කිරීමට බව ඇස්ට්‍රිනා පවසයි.

"උභතෝකෝටිකය වන්නේ ඇත්ත වශයෙන් ම යැපීම අඩු කිරීම ගැන නෙමෙයි. චීනය එම යැපීම කළමනාකරණය කරන්නේ කොහොම ද කියන එකයි."

"ඒක නිසා තමයි චීනය විවිධාංගීකරණය මත පමණක් නෙමෙයි කලාපය පුරා විශේෂයෙන් දකුණු චීන මුහුදේ සහ ප්‍රධාන මුහුදු මාර්ග ඔස්සේ ඔවුන්ගේ බලපෑම සහ පැවැත්ම ව්‍යාප්ත කිරීමට අවධානය යොමු කරමින් ඉන්නවා කියලා අපිට පෙනෙන්න තිබෙන්නේ," ඇය අවසාන වශයෙන් පැවසීය.