ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරේෂ් සලේ අධිකරණයෙන් කළ ඉල්ලීම් සහ ඒවා ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා දැක්වූ හේතු
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳව සිදු කරන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් ඉවත් කර වෙනත් පරීක්ෂණ අංශයක් වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 01) ප්‍රතික්ෂේප කළේ ය.
ඊට අමතරව මෙම විමර්ශනයට අදාළව සැකකාර පාර්ශවය විසින් කරන ලද තවත් ඉල්ලීම් කිහිපයක් ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව
සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන විමර්ශන සිදු කරන ලෙස, ඉකුත් පෙබරවාරි මස 28 වන දා සහ මැයි මස 27 වන දා ආරක්ෂක අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගවල සඳහන්ව ඇති බව ය.
"ආරක්ෂක අමාත්‍යවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ මෙම නියෝගය අභියෝගයට ලක් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් නඩුකර සහ 140 වන ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට රිට් නඩුකර හරහා යි. එම අධිකරණ හැර වෙනත් අධිකරණවලට එම රැඳවුම් නියෝග සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිපාලනය කරනු ලබන්නේ එහි අධ්‍යක්ෂවරයා විසින්. ඒ අනුව ඔහුගේ භාරයේ සිටින මෙම සැකකරු වෙනත් අංශයකට මාරු කරන ලෙස නිකුත් කිරීමට මගේ අධිකරණයට බලයක් නැහැ. පුරෝගාමී මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා විමර්ශන කණ්ඩායම් තමන්ට හොඳින් සලකන බවට. ඒක සහනයක් බවටත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මේක ඉතා ම සංකීර්ණ විමර්ශනයක්. එය තාම හොඳින් සහ කාර්යක්ෂම සිදුවන බව අධිකරණයට ඉදිරිපත් වන වාර්තාවලින් පෙනී යනවා. "ඒ අනුව සැකකරු වෙනුවෙන් කරනු ලැබූ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන" බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
ඊට අමතරව, අත්අඩංගුවේ පසු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට නිවසින් පුවත්පත්, පොත්පත් හා පෑන් ලබා දීමට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා මේ පිළිබඳව අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී නිරීක්ෂණය කළ අවස්ථාවේදී පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විමසීමක් කර තිබෙන බවත්, කියවීමට අවශ්‍ය පොත්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට ලබා දෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙන බවත් සඳහන් කළේ ය.
"මෙම සැකකරු ජීවිතය නැති කර ගැනීම සඳහා ආහාර වර්ජනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබෙනවා.
එම තත්ත්වය යටතේ පෑනක් වැනි ද්‍රව්‍යයක් ඔහුට ලබා දුන්නොත් ඒ හරහා ජීවිතයට හානියක් කර ගැනීමේ කිසියම් අනතුරක් මතුවීමේ අනතුරක් තිබෙනවා. එමෙන් ම පිටතින් පොත්පත් රැගෙන ඒමට අවසර දුනහොත් ඒ හරහා කිසියම් අනතුරුදායක ද්‍රව්‍ය සැකකරු කරා ළඟා වීමට ඉඩකඩ පවතිනවා. ඊට අමතරව විමර්ශනවලට බාධා සිදුවිය හැකි කරුණු බාහිර පාර්ශව වෙත විවිධ තොරතුරු පිටතට ගමන් කිරීමටත් හැකියාවක් තිබෙනවා."
එ් හේතුවෙන් මෙම අවස්ථාවේදී එම ඉල්ලීමට අවසර දීම නුසුදුසු බවත්, ඒ අනුව මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
ඊට අමතරව, මෙම සැකකරුට ඉදිරියේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් සිදු කිරීමට අවසර දෙන ලෙස ද ඔහුගේ නීතිඥවරුන් මීට පෙර ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, "මෙම ඉල්ලීම ඉදිරිපත් වූ අවස්ථාවේදී සැකකරු විසින් සිදු කිරීමට සූදානම් වන්නේ පාපොච්චාරණයක් ද නැත්නම් ප්‍රකාශයක් ද යන්න විමසා තිබුණා. ඊට පිළිතුරු දෙමින් සැකකරුගේ නීතිඥවරු කියා සිටියේ ඔහු විසින් සිදු කිරීමට සූදානම් වන්නේ පාපොච්චාරණයක් නොවන බව. මෙම සැකකරු මේ වන විට ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා විමර්ශන සිදුකරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම අවස්ථාවේදී අපරාධ උච්චාරණයක් නොවන සාමාන්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සඳහා අවසර ලබා දීම තුළින් මෙම සැකකරු පිළිබඳව විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙන කාලය අහිමි වී යාමක් සිදුවනවා. අපරාධ පාපොච්චාරණයක් නොවන ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කාලයක් වැය කිරීම විමර්ශනවලට සිදු කරන බාධාවක් ලෙස අධිකරණය නිරීක්ෂණය කරනවා," යනුවෙනි.
ඒ අනුව අපරාධ පාපොච්චාරණයක් නොවන ප්‍රකාශයක් ලබාදීමට සැකකරුට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් විසින් කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා පැවසීය.
එමෙන් ම මෙම සැකකරු නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුරෝගාමී මහේස්ත්‍රාත්වරයා කර ඇති නියෝගය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සුරේෂ් සලේ මෙම සිද්ධිය සැකකරුවෙකු වශයෙන් නම් කිරීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා නියෝයක් නිකුත් කර තිබූ බව පෙන්වා දුන්නේ ය.
"සාධාරණ නඩු විභාගයක් පවත්වාගෙන යාම සඳහා පූර්වාගාමී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා. අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන ඇවිත් ආපසු එම ආයතනයට රැගෙන යාමේදී සැකකරුගේ ශරීර පරීක්ෂාවක් සිදු කිරීමට සිදුවනවා. මෙම ශරීර පරීක්ෂාව සම්බන්ධයෙන් සැකකරු සිය විරෝධය මෙන් ම අතෘප්තිය පළකර තිබුණා. මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු නොවන අතර ඔවුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලබනවා. එම තත්ත්වය යටතේ මෙම සැකකරුට පමණක් සුවිශේෂී සැකකරුවෙකු වශයෙන් අධිකරණයට සැලකිය නොහැකි යි. නීතිය සර්ව සම්පූර්ණව සැමට එක හා සමානව ක්‍රියාත්මක වීම වැදගත්. ඒ අනුව මෙම සැකකරු භෞතිකව අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව මින් ඉදිරියට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු අධිකරණයට ඉදිරිපත් කරන" ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
ඉන් අනතුරුව සැකකරු හමුවීම සඳහා තිබෙන නීතිඥ ප්‍රවේශය අධිකරණය විසින් අධීක්ෂණය කරනු ලැබිය යුතු බවටත් විත්තියේ නීතිඥවරුන් විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින බවත්, ඔහුට නීතිඥ ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් එම පනතේ 10 වන වගන්තිය තුළින් කරුණු දක්වා තිබෙන බවත් පැවසීය.
එම පනත ප්‍රකාරව නීතිඥ ප්‍රවේශය සම්බන්ධයෙන් මැදිහත්වීම් කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවත්, ඒ අනුව එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන තවත් සැකකරුවන් දෙදෙනෙකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති හෙයින් ඔවුන් නිදහස් කරන ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීමක් ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, "මෙම සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ලැප්ටොප් යන්ත්‍රයක් සහ ජංගම දුරකතනයක් ඔහුගේ වාහනේ තිබී සොයා ගත්තා. ලැප්ටොප් යන්ත්‍රය සැකකරුගේ දියණියගේ බව තමයි, ඔහු ප්‍රකාශ කළේ. ඒ නිසා ඒක ඔහුගේ ආයතනයේ තියලා එන්න සූදානම් වුණා. නමුත් විමර්ශන නිලධාරීන් සූක්ෂමව ක්‍රියාත්මක වීම නිසා ඒවා ඔවුන්ගේ භාරයට ගත්තා. නමුත් එම ජංගම දුරකතනයේ සහ ලැප්ටොප් යන්ත්‍රයේ මුරපද ලබාදීම සැකකරු ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ සැකකරු දක්ෂ හැකර්වරයෙක්. ඔහු පරිගණකවලට රිංගා තොරතුරු සොරා ගන්න පුහුණුව ලබපු තැනැත්තෙක්. ඒ නිසා මෙම මුර පද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස සැකකරුට නියෝගයක් නිකුත් කරන්න ලෙස මා ඉල්ලා සිටිනවා," යනුවෙන් ඉල්ලීමක් කළේ ය.
එම ඉල්ලීමට සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු දැඩි විරෝධය පළ කළේ ය.
මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
එහෙත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වන වගන්තිය යටතේ විමර්ශනවලට සහය වීමක් වශයෙන් අදාළ නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලය තිබෙන බව ය.
ඒ අනුව, අදාළ මුර පදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස සැකකරුට නියෝග කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 2 වන දා කැඳවීමට නියම කෙරිණි.
එදින සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.