මාරාන්තික යුද්ධයක් ඇති මැද පෙරදිග රටවල සේවය කරන ආසියානුවන් අවිනිශ්චිත තත්ත්වයක

Middle East workers

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අසාදේ මොෂිරි, ජොයෙල් ගින්ටෝ
    • Role, ඩුබායි
  • කියවීමේ කාලය: මිනිත්තු 6

සයිරන් නලා හඬ ඇසෙන විට නෝර්මා ටැක්ටකෝන්ට කළ හැකි එක ම දෙය වන්නේ,යාච්ඤා කිරීම පමණි.

ගෘහ සේවිකාවක ලෙස මැද පෙරදිග කලාපයේ සේවය කරන 49 හැවිරිදි ඇය, ඇගේ සැමියා සහ දරුවන් වෙසෙන නිවස පිහිටි පිලිපීනයෙන් සැතපුම් ගණනාවක් දුර රටක රැකියාව කරයි.

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධයට හසුවී කටාරය තුළ සිරවී සිටින ඇගේ එක ම බලාපොරොත්තුව ඇගේ පවුල සමග නැවත එක්වීම ය.

"අහස පුරා මිසයිල යන පින්තූර සහ වීඩියෝ දකින හැම වෙලාවක ම මම බියටත් කලබලයටත් පත්වෙනවා," ඇය බීබීසී පුවත් සේවයට පවසයි. "මගේ පවුල වෙනුවෙන් මට ජීවත් වෙන්න ඕනේ. ඔවුන්ට ඉන්නේ මං විතර යි."

ධනවත් ගල්ෆ් කලාපීය රටවල් විසින් සත්කාරකත්වය සපයනු ලබන එක්සත් ජනපද හමුදා කඳවුරු හේතුවෙන්, මැද පෙරදිග කලාපයේ රටවල් ඉරාන ප්‍රහාරවල ඉලක්ක බවට පත්වීමත් සමග, විදේශිකයන් විශාල වශයෙන් එම කලාපයෙන් පිටව ගිය අතර සංචාරකයෝ ද පැමිණීම නතර කළහ.

නමුත් දැන් සිය අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට හැරී තිබෙන මිලියන සංඛ්‍යාත සංක්‍රමණිකයෝ අතිශයින් ම දුෂ්කර කාලයක් ගත කරමින් සිටිති. ගෘහ සේවිකාවන්ගේ සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කම්කරුවන් දක්වා තම මව් රටවල සිටින පවුල් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම සඳහා දීර්ඝ කාලයක් පුරාවට මෙම ආර්ථිකයන් ශක්තිමත් කිරීමට සහය වී ඇත.

23 හැවිරිදි වියේ පසුවන ඇගේ පුත්‍රයාට පොලිස් ඇකඩමියෙන් උපාධිය ලබා ගැනීමට සහ 22 සහ 24 හැවිරිදි වයස්වල පසු වන ඇගේ දියණියන් දෙදෙනාට විදෙස් රටවල ඉහළ වැටුප් සහිත රැකියා ලබා ගැනීමට මගපාදන හෙදියන් වීමට අවශ්‍ය මුදල් ගෙවීමට ටැක්ටකෝන් බලාපොරොත්තුවෙන් සිටියා ය.

පසුගිය දශක දෙකක කාලයෙන් වැඩි කොටසක් ඇය කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය යන රටවල ගෘහ සේවිකාවක ලෙස සේවය කළේ, එබැවිනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඇයව තවමත් එහි රඳවාගෙන සිටින හේතුව වන්නේ ඇයගේ වැටුප යි. මැද පෙරදිග සේවය කරන පිලිපීන ගෘහ සේවිකාවන් මසකට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 500ක (ස්ටර්ලිං පවුම් 370ක) වැටුපක් උපයන අතර, එය ඔවුන්ගේ රටේදී එම රැකියාවේ නිරතවුවහොත් ලබා ගත හැකි වැටුපට වඩා හතර පස් ගුණයකින් වැඩි මුදලකි.

''ලෝකය නැවතත් සාමකාමී වෙලා හැම දේ ම තිබුන විදිහට ම යථාතත්ත්වයට පත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. යුද්ධය නතර වේවා කියලා මම යාඥා කරනවා," කටාරයේ සිටින ටැක්ටකොන් පවසයි.

නමුත්, තවදුරටත් එරට රැඳී සිටිනවා ද? යන්න පිළිබඳව දෙවරක් සිතා තීරණයක් ගැනීමට යුද්ධය ඇයව පොළඹවයි. ඇයට නැවත සිය රට වෙත පැමිණ ඇගේ ස්වාමි පුරුෂයා සමග කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි ය. එහෙත්, ඇයට කනගාටු වීමට හේතුවක් පවතී.

මෙම ගැටුමේ පළමු වින්දිතයන්ගෙන් එක් අයෙකු වූයේ, ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක ලෙස සේවය කළ 32 හැවිරිදි පිලිපීන ජාතික මේරි ඈන් වෙලොස්කුවෙස් ය.

මැනිලාහි පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාලය පැවසුවේ, ටෙල් අවිව්හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඇගේ නිවසට බැලැස්ටික් මිසයිලයක් එල්ල වීමෙන් අනතුරුව ඇය සිය රෝගියා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට උත්සහ කිරීමේදී තුවාල ලබා ඇති බව ය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන පරිදි විදේශීය ශ්‍රමිකයන් සඳහා ලොව ප්‍රධානතම ගමනාන්තයක් ලෙස ක්‍රියාකරමින් මැද පෙරදිග කලාපය මිලියන 24ක සංක්‍රමණික සේවකයින්ට සත්කාරකත්වය සපයයි. ඔවුන්ගෙන් බහුතරයක් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන ආසියානු රටවලින් පැමිණෙති. මෙම සේවකයින්ගෙන් බොහෝ දෙනෙක් අඩු වැටුප් සහිත හෝ අනතුරුදායක රැකියාවල නිරත වන අතර සෞඛ්‍ය පහසුකම් වැනි සේවාවන් සඳහා ඔවුන්ට පවතින්නේ ඉතා අඩු ප්‍රවේශයක් බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.

ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මේ දක්වා දකුණු ආසියානු රටවලින් පැමිණ සිටි සංක්‍රමණික ශ්‍රමිකයින් 12 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි වාර්තා වේ.

යුද්ධය හේතුවෙන් ඉහළ යන මරණ සංඛ්‍යාවට අබුඩාබිහි ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි නේපාල ජාතික ඩිබාස් ශ්‍රේස්තා (Dibas Shrestha) ද ඇතුළත් වේ. ඔහු මාර්තු 1 වන දින එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් මිය ගියේ ය.

"මම ඔහුව නැවත නේපාලයට එන්න පොළඹවා ගන්න උත්සහ කළා, නමුත් ඔහු කිව්වා ඔහු අබුඩාබිවල තියෙන ඔහුගේ රැකියාවට කැමතියි කියලා සහ එහේ හොඳ ජීවිතයක් තිබුණා කියලා," ඔහුගේ ඥාතියෙකු වන රමේෂ් බීබීසී පුවත් සේවයට පැවසීය.

''අපේ නෑදෑයෝ බොහෝ දෙනෙක් රැකියා සඳහා ගල්ෆ් කලාපයට ගිහින් ඉන්නවා, ඉතිං අපි ඒ ඔක්කොමලා ගැන බයෙන් ඉන්නේ,''

යුද්ධය ආරම්භ වූ විට, ශ්‍රේස්තා ඔහුගේ පවුලට සහතික වී තිබුණේ තමන් ආරක්ෂිතව සිටින බව ය. ෆේස්බුක් සටහනක ඔහු සඳහන් කර තිබුණේ, පුවත් වාර්තා නැරඹීමෙන් ඔහු "කණස්සල්ලට" පත් වූ නමුත්, "පුවත් ඇතැම් විට අතිශයෝක්තියෙන් හෝ නොමග යවනසුලු තොරතුරු ඉදිරිපත් කරන" බව තමාට හැඟෙන බව ය.

ඔහුගේ ඥාතියා පැවසුවේ, 2015 වසරේ සිය ගණනක් මියගිය භූමිකම්පාවෙන් හානියට පත් වූ සිය දෙමාපියන්ගේ නිවස නැවත ඉදිකිරීම සඳහා ශ්‍රේස්තා මුදල් ඉතිරි කරමින් සිටි බව ය.

''ඔහු තමයි ඔවුන්ට සිටි එක ම පුතා'' රමේෂ් පවසයි. ''ඔහු හරි ම කරුණාවන්ත යි, ඒ වගේ ම හරි ම දක්ෂ යි.''

ඩුබායිහි කිලෝමීටර් 120කට වඩා එපිටින් විනාශ කරන ලද මිසයිලයක සුන්බුන් කොටසක වැදීමෙන් බංග්ලාදේශයෙන් පැමිණ ජල ටැංකි සපයන්නෙකු ලෙස සේවය කළ 55 හැවිරිදි අහමඩ් අලි මිය ගියේ ය.

ඔහුගේ පුත් අබ්දුල් හක් පවසන්නේ, ඔහු පියා සමග එක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ නමුත් යුද්ධය ආරම්භ වීමට පෙර නැවත බංග්ලාදේශයට පැමිණි බව ය. ඔහුගේ පියා අඛණ්ඩව නිවසට ඩොලර් 500 සිට 600 දක්වා මුදල් එවූ අතර ඔවුන්ට එය ඉතා විශාල මුදලකි.

අහමඩ් රාමසාන් උපවාස සමය අතරතුරදී මිය ගිය අතර ඔහුගේ පුත්‍රයාට දැනුම් දී තිබුණේ, මිනිසුන් උපවාසය අවසන් කරමින් සිටින අතරතුර සවස් කාලයේදී එය සිදුවූ බව ය.

''ඔහු ඩුබායිවලට හරි ම කැමැත්තෙන් හිටියේ, ඔහු කිව්වා ඔවුන් සුහදශීලීයි කියලා වගේ ම එය ජීවත් වෙන්න හරි ම හොඳ තැනක් කියලා'' අබ්දුල් බීබීසී පුවත් සේවයට පැවසුවේය.

''යුද්ධයක් යනවා කියලාවත් ඔහු දැනගෙන හිටියා කියලා මම හිතන්නේ නැහැ. ඔහු පත්තර කියවන්නේ නැහැ සහ ඔහුට ජංගම දුරකතනයක් තිබුණෙත් නැහැ.''

ඩුබායි සහ එම කලාපය පිළිබඳ අබ්දුල්ගේ දැක්ම මේ වන විට වෙනස් වී ඇත, "දැන් එහේ ආරක්ෂාවක් නැහැ, කිසි ම කෙනෙකුට තාත්තෙක් නැති වෙන්න හොඳ නැහැ.''

ආසියානු රටවල රජයන් සංක්‍රමණික සේවකයින් නැවත මව්බිම වෙත ගෙන්වා ගැනීමට දැඩි උත්සහයක නිරත වෙමින් සිටී.

නමුත් මිසයිල ප්‍රහාරවල තර්ජනය හේතුවෙන් ඩුබායි, අබුඩාබි සහ කටාර් වෙත ගුවන් යානා පියාසර කරවීමට බාධා එල්ල වී ඇත. එබැවින් එරටින් පිටවීමට උත්සහ කරන පිරිසට සිය රට බලා යාම සඳහා වඩාත් දිගු මාර්ග භාවිත කිරීමට සිදුවී තිබේ.

සංක්‍රමණිකයින් මව්‍ රටට නැවත ගෙන්වා ගැනීම සඳහා අවසන් වරට ක්‍රියාත්මක වූ යානය තුළ කුවේටය, කටාරය සහ බහරේනය යන රටවල සිටි පිලිපීන සේවකයින් 234 දෙනෙකු ගොඩබිම් මාර්ගයෙන් පැය අටක් පමණ ගමන් කර තිබූ අතර, තවත් 109 දෙනෙකු පිලිපීන ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩවීමට බලාපොරොත්තුවෙන් සවුදි අරාබියට පැමිණ තිබිණි.

රජයට අනුව මාර්තු 23 වන විට පිලිපීන සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් 2,000කට ආසන්න පිරිසක් මැනිලා වෙත යළි පැමිණ තිබිණි.

විදේශ රටවල සේවය කරන මිලියන දෙකකට අධික පිලිපීන ජාතිකයින්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට මැද පෙරදිග නිවහන වන අතර ඔවුන්ගේ විදේශ ප්‍රේෂණ එරට ආර්ථිකයෙන් 10%ක් පමණ වේ.

විදේශ ප්‍රේෂණ බංග්ලාදේශයට තීරණාත්මක වන අතර එරට මිලියන 14ක් වන සංක්‍රමණික සේවකයින්ගෙන් බහුතරයක් මැද පෙරදිග කලාපයේ සේවය කරති.

ගැටුම ආරම්භ වූ දා සිට බංග්ලාදේශ සේවකයින් 500කට ආසන්න පිරිසක් නැවත මව් රටට ගෙන්වාගෙන ඇති අතර, ඩකා රජය බහරේනයේ සිට අව ම වශයෙන් තවත් ගුවන් ගමන් දෙකක් පමණ සූදානම් කර තිබේ.

ඇතැමුන්ට කලාපයෙන් පිටවීම විකල්පයක් නොවේ.

මියන්මාරයේ සිට පැමිණි සු සු 2021 වසරේ සිට ඇවිලෙමින් පවතින ලේ වැගිරෙන දරුණු සිවිල් යුද්ධයෙන් පීඩිත තම රට අතහැර ඩුබායිහි ආරක්ෂිත නිවසක් සොයා ගත්තා ය.

දේපළ සමාගමක මෙහෙයුම් විශේෂඥවරියක ලෙස සේවය කරන 31 හැවිරිදි ඇය වසර දෙකක සිට ඩුබායිහි රැඳී සිටියි.

සයිරන් නාදය හැරුණුකොට ඇයගේ නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ (work-from-home) ක්‍රමවේදය ඇයට කොවිඩ් වසංගත සමයේ ලොක්ඩවුන් කිරීම සිහිකැඳවන බව ඇය පවසයි. සයිරන් හඬ ඇසෙන විට ඇය නිවසේ කවුළුව අසලින් ඉවත් වී සිටිය යුතු ය.

''හදිසියෙවත් ගෙදරින් ඉවත් වෙන්න වෙයි කියලා මම එමර්ජන්සි බෑග් එකක් ලැහැස්ති කරගෙන යි ඉන්නේ. මියන්මාරයේ ඉන්නකොට තමයි මට මේ පුරුද්ද මට ලැබුණේ.''

"මෙහෙ ඉන්නකොට දැනෙන්නේ වඩාත් සන්සුන් හැඟීමක්. අවසානයේදී අපිට හොඳක් වේවි කියා මම විශ්වාස කරනවා," ඇය පවසයි.