විද්‍යා ඝාතන නඩුව: මරණ දඬුවම නියම වූ පූබාලසිංහම් ජෙයකුමාර් යාපනය බන්ධනාගාරය තුළ දී සියදිවි නසා ගනියි

විද්‍යා ඝාතන නඩුවට වරදකරුවන් වූ පිරිස 2017 වසරේ මරණ දඬුවම හිමි වීමෙන් පසුව අධිකරණයෙන් පිටතට ගෙන ආකාරය
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මහත් ආන්දෝලනයකට තුඩු දුන්, යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරියට බරපතළ ලිංගික අපරාධයක් සිදු කර මරාදැමීමට වරදකරුවෙකු වූ එම නඩුවේ දෙවන විත්තිකරු පූබාලසිංහම් ජෙයකුමාර් සියදිවි හානි කරගෙන තිබේ.

ඒ එම නඩුවට අදාළව ඔවුන්ගේ මරණ දඬුවම ස්ථිර කරමින් ඉකුත් මැයි 06 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව,එම දඬුවම ස්ථිර කිරීම සදහා යාපනය මහාධිකරණයේ කියවීමේ අවස්ථාවට වැලිකඩ බන්ධනාගාරයේ සිට යාපනය බන්ධනාගාරය වෙත ගෙන ගොස් සිටියදී ය.

බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම රැඳවියා යාපනයේ බන්ධනාගාරයේ ඔහුව රඳවා සිටි කුටිය තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී, අද උදෑසන එම කුටිය පරීක්ෂාව සඳහා ගිය බන්ධනාගාර නිලධාරීන්ට හමුව ඇති බව යි.

මරණ දඬුවම ස්ථිර කිරීම

2015 මැයි මස 13 දිනට ආසන්න දිනයකදී යාපනය, කයිට්ස්, පුංකුඩුතීවූ ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් දැරියක වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කර තිබූ අතර එය රට තුළ කැළඹීමක් ඇති කළ සිදුවීමක් විය.

එම සිදුවීමට අදාළව සැකකරුවන් 09 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල විය.

ඔවුන් අතරින් චෝදනාවලට වරදකරුවන් වූ ස්විස් කුමාර් ඇතුළු චූදිතයන් 7 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමට යාපනය මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2017 සැප්තැම්බර් 27 තීන්දු කළහ.

මරණ දඬුවමට අමතරව වසර 30 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද, එක් අයෙකු රුපියල් මිලියනය බැගින් මිලියන 7ක මුදලක් විද්‍යා දැරියගේ පවුලට ගෙවීමට ද, නඩු ගාස්තු වශයෙන් එක් අයෙකුට රුපියල් 40,000ක මුදලක් ගෙවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබිණි.

පසුව, 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එහි අභියාචනා විභාගය 2025 වසරේ නොවැම්බර් 06 වන දින පැවැත්විණි.

ඉන්පසු, එහි තීන්දුව ලබා දීම දින නියමයක් නොමැතිව කල් ගිය අතර, පසුව 2026 මැයි 06 දින ලබා දුන් තීන්දුවෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් හතර දෙනෙකුගේ දඬුවම ස්ථීර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

මෙම නඩුවට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටි තවත් විත්තිකරුවකු වන පූබාලසිංහම් තේවකුමාර් හෙවත් සෙන්දිල් නමැත්තා ද මීට පෙර මියගොස් තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

ඒ අනුව, මහලිංගම් සශී කුමාර් හෙවත් ස්විස් කුමාර්, මේ වන විට සියදිවි නසාගෙන සිටින පූබාලසිංගම් ජය කුමාර්, තිලයිනාදන් චන්ද්‍රහාසන් හෙවත් චන්ද්‍රා සහ, සිවතේවන් තුසිතන් හෙවත් පෙරියතම්බි යන විත්තිකරුවන් හතර දෙනාගේ මරණීය දණ්ඩනය තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

මේ අතර, අදාළ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි මහලිංගම් සසීදරන් හෙවත් ශෂී සහ, ජයදරන් කෝකිලන් යන විත්තිකරුවන් දෙදෙනාගේ දඬුවම් ඉවත් කළ අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටත් නියම කළේ ය.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වූ ස්විස් කුමාර් නමැත්තාට මුල් අවස්ථාවේ 'පැන යාමට ආධාර අනුබල දුන්' එවක උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.එම්. මිහාල් 2025 පෙබරවාරි 20 නියෝග කෙරිණි.

චෝදනාවලට වරදකරු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වෙත සිර දඬුවමට අමතරව රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළ අතර, දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් මාස 6ක සිර දඬුවමක් දෙන ලෙස ද නියෝග කර තිබිණි.

ඔබට සහයක් අවශ්‍ය ද?

මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.

දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535

ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909