ත්‍රිකුණාමලයේදී පුද්ගලයෙකුගේ මුත්‍රාශයෙන් 3.1kg බර ගලක් ඉවත් කිරීම: නොදැනුවත්ව ම සෑදෙන මුත්‍රා ගල් වළක්වා ගන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Trincomalee General Hospital
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
අලුත උපන් නිරෝගී දරුවෙකුගේ බරට සමාන ගලක් මනුෂ්‍යයෙකුගේ මුත්‍රාශයේ තිබී හමුවුවහොත් ඔබට කුමක් සිතෙනු ඇති ද?
මෙය ප්‍රබන්ධයක් නොව සත්‍ය සිදුවීමකි.
ඉකුත් සතියේ ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදු කළ ශල්‍ය කර්මයකින් 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මුත්‍රාශයේ තිබී කිලෝග්‍රෑම් 3.1kg බර ගලක් (bladder stone) ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකි විය.
එය මෙතෙක් වාර්තා වී ඇති එවැනි විශාලතම මුත්‍රා ගල බවට ඔවුහු විශ්වාස කරති.
ආඝාත තත්ත්වයක් (stroke) හේතුවෙන් රෝහල්ගත කර සිටි 55 හැවිරිදි මෙම රෝගියා ප්‍රතිකාර ලබමින් සිටියදී, ඔහුට මුත්‍රා කිරීමේ අපහසුතාවක් ඇති බවට වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී තිබිණි.
ඒ අනුව, සිදු කළ පරීක්ෂණවලදී ඔහුගේ මුත්‍රාශයේ ගල් පවතින බවට හෙළිවී තිබේ.
"දැනට තියෙන වාර්තාවලට අනුව, ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලද සහ මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මුත්‍රා ගල මේක," යනුවෙන් එම ශල්‍යකර්මයට නායකත්වය දුන් වෛද්‍ය ප්‍රගලතන් බාලක්‍රිෂ්ණන් බීබීසී සිංහල වෙත පැවසීය.
ඔහු සඳහන් කළේ රෝගියා "ඉතා හොඳ සෞඛ්‍ය තත්වයක" පසුවන බව ය.
රෝගියා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ අනෙකුත් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරු පැවසූහ.
එම ගල රෝගියාගේ මුත්‍රාශයේ වසර පහත් දහයත් අතර කාලයක් තිස්සේ තිබෙන්නට ඇතැයි වෛද්‍ය බාලක්‍රිෂ්ණන් වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඒ අනුව මුත්‍රා ගල් යනු මොනවා ද? ඒවා සෑදෙන්නේ කෙසේ ද? අපට එය වළක්වා ගත හැකි ද? මෙම ලිපියෙන් අපි ඒ ගැන සොයා බලමු.
මුත්‍රා ගල් යනු මොනවා ද?
මුත්‍රාවල ඇති ඛනිජ සහ ලවණ සාන්ද්‍රණය වී සෑදෙන ස්එටික (crystals) කලක් තිස්සේ මුත්‍රා මාර්ගයේ විවිධ ස්ථානවල එකතු වී ගල් බවට පරිවර්තනය වන බව කොළඹ ජාතික රෝහලේ මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් පතිරණ පවසයි.
"ඛනිජ සහ ලවණ එකතු වෙලා, සාන්ද්‍රණය වීම නිසා තමයි මුත්‍රා මාර්ගයේ මේ ගල් හැදෙන්නේ," ඔහු බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක වෙමින් සඳහන් කළේ ය.
වකුගඩු ගල් හෝ මුත්‍රා ගල් යන වචන මෞත්‍ර ලිංගික පද්ධතියේ සෑදෙන ගල් හැඳින්වීමට පොදු ව්‍යවහාරයේදී භාවිත වන වචන බව ඔහු පැවසීය. "මේ දෙක ම එකක් ඇත්තට ම."
මුත්‍රා ගල් සෑදීමට බලපාන හේතු මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මුත්‍රා ගල් සෑදීම සඳහා බලපාන හේතු කිහිපයක් පවතී.
"මූලිකව ම ගල් හැදෙන්නේ මුත්‍රාවල ලවණ සහ ඛනිජවල සාන්ද්‍රණය වැඩි වීම නිසා. එම සාන්ද්‍රණය වැඩි වීමට බලපාන හේතු තමයි ගල් සෑදීමට හේතු වෙන්නේ," ඔහු පැහැදිලි කළේ ය.
එම හේතු ලෙස;
- ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම
"ජලයෙන් කරන්නේ මුත්‍රාවල තියෙන ඛනිජ සහ ලවණ තනුක කිරීම. ජලය අඩුවෙන් පානය කළොත සාන්ද්‍රණය වැඩි වෙලා ක්‍රිස්ටල් සෑදීමේ ප්‍රවණතාව වැඩි වෙනවා."
- ලවණ අධික ආහාර භාවිත
"ලවණ අධික ආහාර වැඩිපුර ගැනීම නිසා ගල් සෑදීමේ අවදානම වැඩි වෙනවා."
- අධික ලෙස දහඩිය දැමීම
"එළිමහනේ අධික වෙහෙස මහන්සි වී වැඩ කරන අයට විශාල වශයෙන් දහඩිය දමනවා. එවිට ශරීරයේ ජලය දහඩිය මගින් බැහැර වන නිසා මුත්‍රා පිටවන ප්‍රමාණය අඩු වෙනවා. මුත්‍රා ප්‍රමාණය අඩු වූ විට සාන්ද්‍රණය වැඩි වී ගල් සෑදීමට පටන් ගන්නවා."
- විශේෂිත රෝගී තත්ත්වයන්:
"ගවුට් (Gout) වැනි රෝග හෝ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග නිසා රුධිරයේ කැල්සියම් ප්‍රමාණය වැඩි වෙනවා. එවිට කැල්සියම් ඔක්සලේට් වැනි ගල් සෑදීමේ අවදානම ඉහළ යනවා."
(ගවුට් යනු ඕනෑ ම කෙනෙකුට වැළඳිය හැකි, ආතරයිටිස් (සන්ධි ප්‍රදාහය) රෝගයේ සුලභ ආකාරයකි.)
- ජානමය බලපෑම
"පවුලේ සාමාජිකයෙකුට (විශේෂයෙන් මව්පියන්ට) මුත්‍රා ගල් තිබේ නම්, දරුවන්ට මුත්‍රා ගල් හැදීමේ සම්භාවිතාව වැඩියි," විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් පතිරණ පෙන්වා දුන්නේ ය.
ස්ත්‍රී පුරුෂ භේදය සහ මුත්‍රා ගල් සෑදීමේ ප්‍රවණතාව
පර්යේෂණ දෙස බැලීමේදී කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට මුත්‍රා ගල් සෑදීමේ ප්‍රවණතාව ඉහළ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් පතිරණ පවසයි.
ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකීමේදී වැඩි වශයෙන් මුත්‍රා ගල් සෑදෙන්නේ පිරිමි පාර්ශවයට බව ය.
"ඒකට හේතු කීපයක් තියෙනවා; කාන්තාවන් බොහෝ විට ගෘහස්ථව හෝ වායුසමීකරණය කළ කාර්යාල කාමරවල සේවය කරන නිසා දහඩිය දැමීම අඩුයි, ඔවුන් ජලය පානය කරන ප්‍රමාණය ද වැඩියි.
"නමුත් පිරිමින් බොහෝ විට එළිමහනේ කායිකව මහන්සි වී වැඩ කරනවා. ඒ නිසා අධික ලෙස ඩහදිය දමනවා. ඒ වගේ ම සංචාරය කිරීම වැනි හේතු නිසා ඔවුන්ට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට ඇති අවස්ථාව ද අඩුයි.
"එතකොට මුත්‍රා පිටවීම අඩු වෙනවා. ඒ නිසා සාන්ද්‍රණය වැඩි වෙලා ගල් සෑදීමේ ඉඩකඩ වැඩියි," ඔහු පැහැදිලි කළේ ය.
මීට අමතරව පිරිමින්ගේ මාංශමය ආහාර භාවිතය වැඩි වීම ද මෙයට තවත් ප්‍රධාන හේතුවක් යැයි පැවසූ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, රතු මස් භාවිතය අවදානම් සාධකයක් බව ය.
මුත්‍රා ගල් වර්ග

ප්‍රධාන වශයෙන් මුත්‍රා ගල් වර්ග හතරක් පවතින බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් පතිරණ පැවසීය;
- කැල්සියම් ආශ්‍රිත ගල්
"මුත්‍රා ගල්වලින් 90%ක් ම කැල්සියම් ආශ්‍රිත ඒවා තියෙන්නේ, ප්‍රධාන වශයෙන් කැල්සියම් ඔක්සලේට් කියන එක. මොනෝහයිඩ්‍රේට් සහ ඩයිහයිඩ්‍රේට් ගලුත් තියෙනවා. නමුත් 90%ක් ම ගල්වල තියෙන්නේ කැල්සියම්."
- යූරික් ඇසිඩ් ගල්
"ගවුට් වැනි රෝගී තත්ත්වයන් ඇති හෝ ජානමය බලපෑම් ඇති රෝගීන්ට මේවා ඇති විය වෙන්න පුළුවන්."
- ස්ටෘවයිට් ගල්
"මුත්‍රා මාර්ගයේ දීර්ඝකාලීන පවතින ආසාදන නිසා මේවා ඇතිවෙන්න පුළුවන්.
- සිස්ටීන් ගල්
"මෙය සාපේක්ෂව ඉතා අඩුවෙන් දකින්න ලැබෙන වර්ගයක්."
(සිස්ටීන් වර්ගයේ ගල් ඇතිවීමට හේතු වන්නේ 'සිස්ටිනූරියා' නම් ජානමය රෝගී තත්ත්වයකි.)

රෝග ලක්ෂණ මොනවා ද?
මුත්‍රා ගල් ඇතිවීමට සම්බන්ධ රෝග ලක්ෂණ අවබෝධ කර ගැනීමට මෞත්‍ර ලිංගික පද්ධතියේ ව්‍යුහය පිළිබඳව අවබෝධ කර ගත යුතු බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් පතිරණ සඳහන් කළේ ය.
"අපේ වකුගඩු දෙක පිහිටා තිබෙන්නේ පිටුපස ඉඟටිය ආශ්‍රිතවයි .වකුගඩුවේ සිට සෙන්ටිමීටර 25ක් පමණ දිග සහ මිලිමීටර 5ක් පමණ විෂ්කම්භය ඇති සිහින් නාල දෙකක් මගින් මුත්‍රා, මුත්‍රාශය වෙත ගලා එනවා. ඒවා මුත්‍රාශයේ තාවකාලිකව ගබඩා වී පසුව පහ කරනවා," ඔහු පැහැදිලි කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, මෙම පද්ධතිය ආශ්‍රිතව "විවිධ තැන්වල" ගල් ඇති විය හැකි බව ය.
එවැනි අවස්ථාවකදී දීර්ඝකාලීන කොන්දේ වේදනාවක් ඇති විය හැකි බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පැවසීය.
"[ගලක් මුත්‍රා නාලයේ හිරවූ විට] ඉකිලිය දක්වා විහිදෙන ඉතා අධික තද කැක්කුමක් ඇතිවෙනවා. මෙය රීනල් කොලික් (Renal Colic) ලෙස හඳුන්වනවා," ඔහු සඳහන් කළේ ය.
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, ඊට අමතරව මුත්‍රා සමග ලේ පිටවිය හැකි බව ය.
තව ද මුත්‍රා ආසාදන හේතුවෙන් තද උණ, වමනය සහ ඔක්කාරය ඇති විය හැකි බව ද ඔහු පැවසීය.
"ගල පිහිටන ස්ථානය අනුව මුත්‍රා පිටවීමේදී අධික වේදනාවක් ඇතිවිය හැකියි. සමහර රෝගීන් පවසන්නේ මෙම වේදනාව ප්‍රසව වේදනාව (දරුවෙකු බිහි කිරීමේදී දැනෙන වේදනාව) තරම් දරුණු බවයි," ඔහු තවදුරටත් සඳහන් කළේ ය.
මුත්‍රා ගල් සෑදීම වළක්වා ගන්නේ කෙසේ ද?
විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් පතිරණ පෙන්වා දුන්නේ, මුත්‍රා ගල් සෑදීම වළක්වා ගැනීම සඳහා ආහාර මගින් කැල්සියම් පාලනය කිරීමට නිර්දේශ නොකරන බව ය.
"කැල්සියම් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. ලංකාවේ බහුතරයක් දෙනා පෙළෙන්නේ කැල්සියම් ඌණතාවයෙන්. ඒ නිසා ආහාර මගින් කැල්සියම් පාලනය කිරීම මම නිර්දේශ කරන්නේ නැහැ," ඔහු පැවසීය.
මුත්‍රා ගල්වල කැල්සියම් සංඝටකයක් ලෙස පැවතිය ද ඉන් කැල්සියම් ගැනීම නුසුදුසු බව අදහස් නොවන අතර කැල්සියම් අඩු වීමෙන් ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි රෝග ඇතිවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
"ඒ නිසා කැල්සියම් සහිත ආහාර නොගෙන සිටීම අනුවණ ක්‍රියාවක්. නමුත් කැල්සියම් ඖෂධ ලෙස, ඒ කියන්නේ පෙති විදිහට අනවශ්‍ය විදිහට ගැනීම අවශ්‍ය නැහැ," විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.
කැල්සියම් ඌණතාවක් පවතින බවට වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වූ අවස්ථාවක පමණක් වෛද්‍ය නිර්දේශය මත කැල්සියම් පෙති ලෙස ගැනීම සුදුසු බව ඔහු පෙන්වා දුන්නේ ය.
ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම ගල් සෑදීම වළක්වා ගැනීමට උපකාර වන බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පැවසීය.
"ගලක් නිර්මාණය වෙන්න මූලක හේතුව වෙන්නේ මුත්‍රාවල සාන්ද්‍රණය වැඩි වීම. නමුත් ඛනිජ සහ ලවණ තනුක වෙනවා නම් ගල් සෑදීමට තියෙන ඉඩ නැති වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
ඔහු සඳහන් කළේ, එය සැලකිල්ලට ගෙන දිනකට ජලය ලීටර් 2 සිට 2.5ක් පමණ පානය කිරීමෙන් මුත්‍රා ගල් සෑදීම වළක්වා ගත හැකි බව ය.
මීට අමතරව සමබල ආහාර වේලක් ගැනීම සහ ක්‍රියාශීලීව වීම හෝ ව්‍යායාම කිරීම මගින් ද මුත්‍රා ගල් ඇතිවීම වළක්වා ගත හැකි බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මුත්‍රා ගල් සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම
මුත්‍රා ගල් සඳහා වන ප්‍රතිකාර ක්‍රම තීරණය වන්නේ ගලේ ප්‍රමාණ, එහි පිහිටීම සහ සංයුතිය අනුව ය.
වර්තමානයේ නගරබදව ස්කෑන් පරීක්ෂණ පහසුවෙන් සිදු කළ හැකි බැවින් මුල් අවස්ථාවේදී ම ගල් හඳුනා ගැනීමේ හැකියාව පවතින බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් පතිරණ සඳහන් කළේ ය.
එලෙස හඳුනා ගන්නා "කුඩා ප්‍රමාණයේ" ගල් ඉවත් කිරීම සඳහා සැත්කම් අවශ්‍ය නොවන අතර ඖෂධීය ප්‍රතිකාර සහ වැඩිපුර ජලය පානය කිරීමෙන් සුව කළ හැකියි.
ඊට වඩා විශාල ගල් කම්පන තරංග භාවිතයෙන් ඉවත් කළ හැකි බව වෛද්‍යවරයා පැවසීය.
"ශල්‍යකර්මයකින් තොරව, බාහිරින් ලබාදෙන ෂොක් වේව් මගින් ගල කුඩු කර මුත්‍රා සමග පිටවීමට සලස්වන්න පුළුවන්."
මේවා නේවාසිකව නොසිට ප්‍රධාන රෝහලක් වෙත පැමිණ සිදු කර ගැනීමට හැකියාව පවතී.
අනෙක් ප්‍රතිකාර ක්‍රමය ලෙස ලේසර් ප්‍රතිකාර යොදා ගන්නා බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා සඳහන් කළේ ය.
"මුත්‍රා මාර්ගය ඔස්සේ කෙස් ගසක් තරම් සිහින් නලයක් යවා ලේසර් කිරණ මගින් ගල දූවිලි බවට පත් කිරීම," එහිදී සිදු කරනවා," ඔහු එම ප්‍රතිකාරය ක්‍රමය සිදු කෙරෙන ආකාරය පැහැදිලි කළේ ය.
ඊට අමතරව සෙන්ටිමීටරයක් පමණ කුඩා කැපුමක් දමා කැමරාවක් ආධාරයෙන් ගල ඉවත් කිරීම සිදු කරන බව ඔහු පැවසීය.
"වර්තමානයේදී බඩ විශාල ලෙස කපා සිදු කරන විවෘත සැත්කම් (Open Surgery) සිදු කරන්නේ ඉතා ම කලාතුරකින්," යැයි පැවසූ වෛද්‍ය ප්‍රභාත් පෙන්වා දුන්නේ බොහෝ ප්‍රතිකාර ක්‍රම සැත්කම් රහිතව හෝ අවම කැපුම් සහිතව" සිදු කරන බව ය.
මෙම රෝගී තත්ත්වයට අදාළ මූලික රෝග ලක්ෂණ නොසලකා හැරීම මගින් "විශාල ගල්" ඇතිවීම සිදුවිය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.
"ඕනෑම රෝගයක අවසාන සංකීර්ණ තත්ත්වයට යාමට බලපාන්නේ රෝග ලක්ෂණ මග හැරීමයි. මුල් අවස්ථාවේදී ම හඳුනාගතහොත් ප්‍රතිකාර කිරීම ඉතා පහසුයි. එබැවින් ජනතාව මූලික රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වී, සුදුසු වෛද්‍යවරයෙකු වෙත නියමිත වේලාවට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි," ඔහු වැඩිදුරටත් පැවසීය.
































