උදරයේ මේදය වැඩිවීම කොතරම් භයානක ද? එය පාලනය කිරීමට ඔබට කළ හැකි දේ කුමක් ද?

 ආමාශයේ එකතු වන අතිරික්ත මේදය දියවැඩියාව හා හෘද රෝග ඇති කළ හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සුමිරාන් ප්‍රීත් කෞර්
    • Role, බීබීසී
  • කියවීමේ කාලය: මිනිත්තු 5

බොහෝ පුද්ගලයින් ඔවුන්ගේ ඉදිරියට නෙරා එමින් පවතින උදරය අඩු කර ගැනීම සඳහා ව්‍යායාම මධ්‍යස්ථානවල සහාය ලබා ගන්නා අතර ඇතැම්හු ඒ සඳහා වැඩි අවධානයක් යොමු නොකරති.

මෙම අතිරික්ත මේදය සාමාන්‍යයෙන් "belly fat", "tummy fat" හෝ "beer belly" ලෙස ද හැඳින්වේ. දැන් දැන් තම ප්‍රතිරූපය සහ ශරීරයේ යෝග්‍යතාවය පිළිබඳ දැනුවත් තරුණ ප්‍රජාව ඒ පිළිබඳව ද සැලකිලිමත් වෙමින් තිබේ.

ආමාශය වටා තැන්පත් වී ඇති මේදය වැඩිවීම නිසා බොහෝ දෙනෙකුට බොහෝ විට තමන්ට රිසි ඇඳුම් සුවපහසු ලෙස ඇඳීමට නොහැකි වේ.

කෙසේ වෙතත්, එහි බලපෑම් ඔබ තෝරා ගන්නා ඇඳුම්වලට පමණක් සීමා නොවේ. උදරයේ පවතින මේදය ඔබේ සෞඛ්‍යයට අංශ කිහිපයක් ඔස්සේ අහිතකර විය හැක.

උදරයේ පවතින මේදය අධිරුධිර පීඩනය, අධික සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු රැසකට හේතු විය හැක.

උදරයේ පවතින මේදය ඉහළ යාම නිසා සිදු විය හැක්කේ මොනවා ද?

මෙය දෙවන මට්ටමේ දියවැඩියාව සහ හෘද රෝග (type 2 diabetes) සඳහා පවතින අවදානම ද ඉහළ නංවයි.

හාවඩ් විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් උදරයේ මේදය ශරීරයේ ආම්ලිකතාව ඇති කිරීම සඳහා හේතු විය හැකි සයිටොකයින් නම් ප්‍රෝටීන් වර්ගය නිෂ්පාදනය වැඩි කරන බව පෙන්වා දෙයි.

මෙම උදරයේ පවතින මේදය ඇන්ජියෝටෙන්සින් නම් පැවසෙන තවත් ප්‍රෝටීනයක නිෂ්පාදනය වැඩි කරන අතර එමඟින් රුධිර වාහිනී හැකිලී රුධිර පීඩනය ඉහළ යයි.

මෙය ඩිමෙන්ශියාව, ඇදුම සහ ඇතැම් පිළිකා ඇතිවීමේ අවදානම ද ඉහළ නංවයි.

දිල්ලි ෆෝටිස් එස්කෝර්ට්ස් රෝහලේ ජ්‍යෙෂ්ඨ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශිව් කුමාර් චෞද්රි පවසන්නේ ආමාශය වටා එකතු වන මේදය ශරීරයේ අනෙකුත් කොටස්වල එකතු වන මේදයට වඩා භයානක බවයි.

වෛද්‍යවරයෙකු තවත් පුද්ගලයෙකු සමග කතා කරමින් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"උදරයේ ඇති මේද සෛල බිඳ වැටෙන විට හෝ විනාශ වූ විට, ඒවා බොහෝ විෂ සහිත ද්‍රව්‍ය නිකුත් කරනවා. මෙම ද්‍රව්‍ය හෘද ධමනිවල ආම්ලිකතාවය වැඩි කරනවා. මෙය හෘද රෝග සඳහා පවතින අවදානම ද වැඩි කරනවා. එය ශරීරයේ ඉන්සියුලින් සඳහා පවතින ප්‍රතිරෝධය ද වැඩි කරන අතර දියවැඩියාව ඇතිවීමේ අවදානම ද ඉහළ යා හැකියි," වෛද්‍ය චෞද්රි පැහැදිලි කර සිටියි.

විශේෂඥයින්ට අනුව, උදරයේ තැන්පත් වී ඇති මේදය ඉහළ යාම පිටුපස ජානමය නැඹුරුතාවක්, හෝමෝන වෙනස්කම්, වයස, අධික බර සහ ආර්තවහරණය වැනි බොහෝ හේතු තිබිය හැකිය.

මෙය හැරුණු විට අසමතුලිත ජීවන රටාව, අක්‍රමවත් ජීවන චර්යාව සහ අසමතුලිත ආහාර වේල් ද මේ සඳහා හේතු විය හැක.

සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් ලබා දෙන්නේ සමබර ආහාර වේලක් ලබා ගැනීම, නිතිපතා ව්‍යායාමවල නිරතවීම සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කිරීමෙන් උදරයේ තැන්පත් වී ඇති මේදය නියමිත පරිදි පාලනය කළ හැකි බවයි.

උදරයේ තැන්පත් වී පවතින මේදය අඩු කිරීම සඳහා, ඇතැම් දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.

ඩම්බෙල් දෙකක් ආධාරයෙන් ව්‍යායම කරන කාන්තාවක්‌

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

1. ආහාර ගැනීම සහ නිදන වේලාව අතර ඇති වෙනස

නින්දට යාමට පැය දෙක තුනකට පමණ පෙර කිසිවිටකත් ආහාර නොගන්න. ඔබ දිවා කාලයේදී ආහාර ගන්නා විට, ඔබේ ශරීරය ඔබේ දෛනික ක්‍රියාකාරකම් සඳහා කැලරි භාවිත කරන අතර ඒවා ශක්තිය සඳහා යොදා ගනී.

නමුත් රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු මෙම කැලරි භාවිත නොවේ.

අනතුරුව එය මේදය ලෙස ගබඩා වන අතර බර වැඩි වීම ආරම්භ වේ.

2. සමබර ආහාරවේලක් ලබා ගන්න

ඔබ ඔබේ ආහාර සඳහා වැඩිපුර තන්තුමය ආහාර පරිභෝජනය කරන්නේ නම්, ඔබට දිගු වේලාවකට කුසගින්න නොදැනෙන බව විශේෂඥයෝ පවසති.

ආහාරවල පවතින තන්තු; ආහාර සමඟ ආමාශයේ පවතී. මෙය ආමාශයේ සිට බඩවැල් දක්වා ආහාර ගමන් කිරීම මන්දගාමී කරයි.

මෙයින් අදහස් කෙරෙන්නේ ඔබට දිගු කාලයක් උදරයේ පිරුණු බවක් දැනෙන බවයි.

ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් ඇතුළත් කර ගන්න. දිගු වේලාවක් තෘප්තිමත් බවක් දැනීමට ප්‍රෝටීන් ඔබට උපකාරී වන අතර, නිතර ආහාර ලබා ගැනීමේ ආශාව අඩු කරයි.

මීට අමතරව, එය කුසගින්න ඇති කරන හෝමෝනය වන ග්‍රෙලින් මට්ටම අඩු කරන අතර ආහාර සඳහා ඇති ආශාව පාලනය කරයි.

ප්‍රෝටීන් ශරීරයේ මාංශ පේශි ශක්තිමත් කරමින් පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරන අතර එමඟින් කැලරි දහනය කිරීමේ හැකියාව ඉහළ නංවයි.

බිත්තර, පරිප්පු, කිරි, චීස්, මුදවපු කිරි, මාළු, කුකුල් මස් සහ සෝයා වැනි ප්‍රෝටීන් බහුල ආහාර ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කර ගන්න.

එලවලු වලින් සෑදු සලාදයක් ආහාරයට ගන්නා බඳුනක ඇති අතර ඒ අසල කජු ස්වල්පයක් සහ වතුර කෝප්පයක් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

3. පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් භාවිතයෙන් ඉවත් වෙන්න

සුදු පාන්, චිප්ස් සහ ක්‍රැකර්ස් වැනි ආහාරවල තන්තු නොමැති තරම්ය, එම නිසා ඒවා ඉක්මනින් දිරවන අතර එක්වර ම ඔබේ රුධිරයේ සීනි මට්ටම වැඩි කළ හැකිය.

රුධිරයේ සීනිවල මෙම වේගවත් ඉහළ පහළ යාම (උච්ඡාවචනය) කුසගින්න වැඩි කරනවා පමණක් නොව බර වැඩිවීම සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැනි රෝග ඇතිවීමේ අවදානම ද ඉහළ නංවයි.

එබැවින් සම්පූර්ණයෙන් ම ධාන්‍යවලින් සෑදූ පාන්, රොස්ට් කරන ලද ස්නැක්ස්, පලතුරු සහ ඇට වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න විකල්පමය ආහාර වෙත මාරු වීම වඩාත් සුදුසු වේ.

සීනි සහ කැලරි අධික ආහාර අනුභවයෙන් වළකින්න. මත්පැන් පරිභෝජනය සීමා කර දුම්පානය කිරීම නතර කරන්න.

රතු පැහැති කේක් කැබැල්ලක් ආහාරයට ගන්නා කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

4. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

ප්‍රමාණවත් නින්දක් නොලැබුණු විට, එය කුසගින්න ඇතිකරවන හෝමෝනවලට බලපාන අතර, එය ආහාර රුචියට හේතු විය හැක.

ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව, ආහාර රුචිය ඉහළ නංවන ආමාශයේ නිපදවන ග්‍රෙලින් හෝමෝනය ප්‍රමාණවත් නින්දක් නොලැබීමත් සමඟ ඉහළ යයි.

ආතතියෙන් වැළකී එය කළමනාකරණය කිරීමට විශේෂඥයෝ නිර්දේශ කරති. මානසික ආතතිය ඇති කරන කෝටිසෝල් හෝමෝනය රුධිරයට මුදා හරියි.

මේ හැර, අප ආතතියට පත් වූ විට ගනු ලබන ආහාරවල ගුණාත්මක භාවය ගැන වැඩි අවධානයක් යොමු නොකරන අතර අපගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ඕනෑ ම දෙයක් ආහාරයට ගනී.

5. ශාරීරිකව ක්‍රියාශීලී වන්න

ශාරීරික ව්‍යායාම සහ ක්‍රියාශීලීව සිටීම මගින් කැලරි දහනය කරන අතර එය විශේෂයෙන් උදරයේ මේදය අඩු කිරීමට උපකාරී වේ.

නිතිපතා වේගයෙන් ඇවිදීම, දිවීම, පාපැදි ධාවනය, පිහිනීම හෝ යෝග අභ්‍යාස මගින් මේදය අඩු කරනවා පමණක් නොව පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරයි.

ව්‍යායාමවල නිරතවීමෙන් මාංශ පේශි ශක්තිමත් කරයි. එය හදවත නිරෝගීව තබයි. උදරයේ මේදය නැති කර ගැනීමෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග අවදානම ද අඩු වේ.