ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගැනීමට සංක්‍රමණිකයින්ට සමලිංගිකයින් ලෙස පෙනී සිටීමට නීති උපදේශකයින් උපකාර කරන බව බීබීසී විමර්ශනයකින් හෙළි වෙයි
- Author, බිලී කෙන්බර්, දේශපාලන විමර්ශන වාර්තාකරු සහ ෆිල් කෙම්ප්, දේශපාලන වාර්තාකරු
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 16
එක්සත් රාජධානියේ රැඳී සිටීම සඳහා සංක්‍රමණිකයින්ට සමලිංගිකයින් ලෙස පෙනී සිටීමට උපකාර කිරීම වෙනුවෙන් පවුම් දහස් ගණනක් අය කරන නීති සමාගම් සහ උපදේශකයින්ගෙන් සමන්විත නොනිල කර්මාන්තයක් පිළිබඳව බීබීසීයට අනාවරණය වී තිබේ.
මෙම රහසිගත විමර්ශනය පිළිබඳ පළමු කොටසේදී වීසා බලපත්‍රවල වලංගු කාලය අවසන් වීමට නියමිත සංක්‍රමණිකයින්ට ව්‍යාජ කතා නිර්මාණය කර දෙන ආකාරය සහ උපකාරක ලිපි, ඡායාරූප සහ වෛද්‍ය වාර්තා ඇතුළු ව්‍යාජ සාක්ෂි ලබා ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ආකාරය අපි හෙළි කරන්නෙමු.
ඉන්පසු ඔවුන් සමලිංගිකයින් බව පවසමින් සරණාගතභාවය සඳහා ඉල්ලුම් කරන්නේ නැවත පකිස්ථානයට හෝ බංග්ලාදේශයට යාම ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් බව පවසමිනි.
අපගේ සොයාගැනීම් පිළිබඳ ප්‍රතිචාර දක්වමින්, එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මෙසේ පැවසීය: "පවතින ක්‍රමවේදයෙන් අනිසි ප්‍රයෝජන ගැනීමට උත්සහ කරන ඕනෑ ම අයෙකුට එරෙහිව එක්සත් රාජධානියෙන් පිටුවහල් කිරීම ඇතුළුව දැඩි දඬුවම් පමුණුවනු ඇත."
එක්සත් රාජධානියේ රැකවරණ ක්‍රියාවලිය යටතේ, තම උපන් රටවලට ආපසු යාම තර්ජනයක් විය හැකි අය සඳහා ආරක්ෂාව සපයයි. උදාහරණයක් ලෙස, සමලිංගිකභාවය නීති විරෝධී වන පකිස්ථානය හා බංග්ලාදේශය වැනි රටවල් දැක්විය හැක.
නමුත් බීබීසී විමර්ශනයෙන් අනාවරණය වන්නේ, රටේ රැඳී සිටීමට කැමති සංක්‍රමණිකයින්ගෙන් ගාස්තු අය කරමින් නීති උපදේශකයන් විසින් මෙම පද්ධතියෙන් ක්‍රමානුකූලව අනිසි ප්‍රයෝජන ලබා ගන්නා බවයි.
මෙවැනි අය අතර බහුලව සිටින්නේ, කුඩා බෝට්ටු හරහා හෝ අනීතික මාර්ගවලින් එක්සත් රාජධානියට පැමිණි අය නොව, ශිෂ්‍ය, රැකියා හෝ සංචාරක වීසා අවසන් වූ පුද්ගලයන් ය.
මෙම කණ්ඩායම දැන් 2025 වර්ෂයේදී 100,000 ඉක්මවා ගිය එක්සත් රාජධානියේ රැකවරණය පතා අයැදුම් කළ මුළු පිරිසෙන් 35%ක් නියෝජනය කරති.
මූලික සාක්ෂි සහ රහස් තොරතුරු රැස් කිරීමෙන් පසු, අපගේ රහස් වාර්තාකරුවන්, සරණාගතභාවය ලබා ගැනීම සඳහා ව්‍යාජ අයැදුම්පත් සකස් කිරීමට උපකාර කිරීමට සංක්‍රමණ උපදේශකයන් කෙතරම් උනන්දුවක් දක්වන්නේ ද යන්න විමර්ශනය කිරීමට යොමු කෙරිණි.
ඔවුහු පකිස්ථානය සහ බංග්ලාදේශයෙන් පැමිණි, වීසා බලපත්‍ර කාලය අවසන් වීමට ආසන්න ජාත්‍යන්තර ශිෂ්‍යයන් ලෙස පෙනී සිටියහ.
එම විමර්ශනයේදී මෙම තොරතුරු හෙළිවිණි:
- එක් නීති ආයතනයක් ව්‍යාජ සරණාගත අයැදුම්පතක් සඳහා පවුම් 7,000 දක්වා ගාස්තුවක් අය කළ අතර, එය ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් ප්‍රතික්ෂේප වීමේ අවදානම "ඉතා අඩු" බවට පොරොන්දු විය.
- ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් සරණාගතභාවය ලබා ගැනීමට තැත් කරන පිරිස් තම අයැදුම්පත්වල ඇතුළත් තොරතුරු අසත්‍ය නොවන බව ඇඟවීමට තමන්ට විෂාදය වැළඳී ඇති බව පවසමින් වෛද්‍යවරුන් හමුවීමට යාම, එක් අයෙක් තමන් HIV ආසාදිතයෙකු යැයි අසත්‍ය ප්‍රකාශ කිරීම.
- එක් සංක්‍රමණ උපදේශිකාවක, තමන් වසර 17කට වැඩි කාලයක් ව්‍යාජ අයැදුම්පත් සකස් කළ බවට වහසි බස් කියමින්, ගනුදෙනුකරුට අවශ්‍ය නම්, සමලිංගික සම්බන්ධයක් තිබූ බවට පෙනී සිටීමට පුද්ගලයෙකු සූදානම් කළ හැකි බව කියා සිටීම.
- එක්සත් රාජධානියේ රැකවරණය ලැබීමෙන් පසු පකිස්ථානයේ සිටින තම බිරිඳ රැගෙන ආ හැකි බවට ඉන් පසු ඇයට ද තමන් සමලිංගික බව පෙන්වා ව්‍යාජ අයැදුම් පතක් ඉදිරිපත් කළ හැකි බවත් අප රහසිගත වාර්තාකරු වෙත පැවසීම.
- සාර්ථකව සරණාගතභාවය ලබා ගැනීමට සමලිංගිකයින් හෝ අදේවවාදීන් ලෙස පෙනී සිටීමට තමන් පුද්ගලයින්ට උපකාර කළ බව තවත් නීති ආයතනයකට සම්බන්ධ නීතිඥයෙක් පැවසීම. පවුම් 1,500 ගාස්තුවකට මෙවැනි ව්‍යාජ අයැදුම්පතක් සූදානම් කළ හැකි බවත්, සාක්ෂි නිර්මාණය සඳහා තවත් පවුම් 2,000–3,000ක් වැය වන බවත් කියා සිටීම.
'මෙතන සමලිංගිකයින් කවුරුවත් නැහැ'
නැගෙනහිර ලන්ඩනයේ බෙක්ටන්හි නිස්කලංක ප්‍රදේශයක පිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක එක් අඟහරුවාදා සැන්දෑවක, 175කට අධික පිරිසක් උත්සවයක් සඳහා රැස්ව සිටියහ.
සවුත් වේල්ස්, බර්මින්හැම් සහ ඔක්ස්ෆර්ඩ් වැනි ප්‍රදේශවල සිට පවා ඇතැමුන් මේ සඳහා පැමිණ තිබිණි. එය සංවිධානය කරනු ලැබ තිබුණේ, සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටින සමරිසි පිරිමි සහ ගැහැනු වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් ලෙස තමන් හඳුන්වන Worcester LGBT විසිනි.
ඔවුන්ගේ වෙබ් අඩවිය අනුව, සරණාගතභාවය අපේක්ෂා කරන සැබෑ සමලිංගික අයැදුම්කරුවන්ට පමණක් මෙයට පැමිණිය හැක.
නමුත් ප්‍රජා මධ්‍යස්ථානයේ දොරවල්වලින් පිටත පැමිණෙන පිරිමින්, අපගේ රහස් වාර්තාකරුට පැවසුවේ එහි සිදුවන්නේ පෙනෙන දේ නොවන බවයි.
"මෙතන ඉන්න ගොඩක් අය සමලිංගික අය නෙවෙයි," ෆහාර් නමැති එක් පුද්ගලයෙක් පැවසීය.
සීෂාන් නමැති අයෙක් මෙසේ පැවසීය.
"මෙතන ඉන්න කිසි කෙනෙක් සමලිංගිකයින් නෙවෙයි. 1%ක්වත් සමලිංගික නැහැ. 0.01%ක්වත් සමලිංගික නැහැ."
අපගේ රහස් වාර්තාකරු මෙම කණ්ඩායමේ රැස්වීමට පැමිණි ගමන ආරම්භ වූයේ පෙබරවාරි මස අග භාගයේදීය. එනම්, ඔහු බර්මින්හැම් සහ ලන්ඩන් පදනම් කරගත් Law & Justice Solicitors නම් සංක්‍රමණ නීති ආයතනයේ නීති සහයකයෙකු වන මස්දුල් හසන් ෂකීල් හඳුනා ගත් කාල වකවානුවේදී ය.
නීති කටයුතු මෙන් ම ශකීල් Worcester LGBT සමූහය පිහිටවූ පුද්ගලයා සහ එහි සභාපතිවරයා ද වෙයි. මෑතක් වනතුරු ම ඔහු මෙම ප්‍රජා කණ්ඩායමේ වෙබ් අඩවිය ඔහුගේ නීති සේවා පිළිබඳ ප්‍රචාරය කිරීමට භාවිත කර තිබිණි.
ශකීල් සමග පැවති කෙටි දුරකතන සංවාදයේදී ඔහු අපගේ රහස් වාර්තාකරු වෙත පැවසුවේ, සරණාගතභාවය සඳහා ඉල්ලුම් කිරීමට බරපතළ තර්ජනයක් තිබිය යුතු බව ත් ඔහුට ඒ සඳහා වලංගු හේතුවක් ඇති බවක් නොපෙනන බව ත් ය.
නමුත් පැයකට පමණ පසු, හදිසියේ ම ටැනීසා නමැති කාන්තාවකගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි.
සංවාදය උර්දු බසට හැරුණු අතර ඇය ඔහුට රට තුළ රැඳී සිටීමට උදව් කිරීමට දැඩි ඕනෑ කමක් දැක්වූවා ය. එහිදී ඇය සමලිංගික බව පදනම් කර ගනිමින් ඔහුට සරණාගතභාවය ඉල්ලීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කළා ය.
ඔහු තමන් සමලිංගික නොවන බව පැවසූ විට, ඇය මෙසේ පැවසුවාය: "මේ අහන්න. මෙතන ඇත්ත අය කවුරුවත් නැහැ. දැන් මෙහේ ජීවත් වෙන්න තියෙන්නේ එක ම මග හැමෝම පාවිච්චි කරන මේ විදිහ."
ඔහුගේ දුරකතන අංකය ඇයට ලබා දුන්නේ කවුරුන් විසින් ද යන්න පැවසීමට ඇය එකඟ නොවුණ ද, ඇයගේ වට්ස්ඇප් ගිණුමේ ඡායාරූපය සහ පළමු නාමය Worcester LGBTහි උපදේශිකාවක ලෙස කටයුතු කරන ටැනීසා ඛාන් සමග ගලපා ගැනීමට අපට හැකි විය.
'පුළුල් පැකේජයක්'
එදින සවස අපගේ රහසිගත වාර්තාකරු ටැනීසා සමග මූලික උපදෙස් ලබා ගැනීම සඳහා නැගෙනහිර ලන්ඩනයේ ෆොරස්ට් ගේට් වෙත ගියේ ය.
පළමු හමුව පැවතියේ නීති ආයතන කාර්යාලයේදී නොව [පසුව කාර්යාලය භාවිත කෙරිණි], ඇගේ නිවසේදී ය. එහිදී ඔහු ඇතුළට කැඳවා, ඉහළ මහලේ නිදන කාමරයකට ගෙන ගියේ ය.
"මේ වෙලාවේ වීසා එකක් ගන්න පුළුවන් එක ම මාර්ගයයි තියෙන්නේ සහ ඒක විවෘතයි," යනුවෙන් ටැනීසා පැහැදිලි කළේ, ඇඳ කෙලවරට වන්නට හිඳගෙන ය.
"ඒක තමයි සරණාගත වීසා කාණ්ඩය... මානව හිමිකම් යටතේ සහ සමලිංගික ද කියන එක අනුව දෙන. වෙන වීසා එකක් ගැන බලාපොරොත්තුවක් නැහැ."
ස්වදේශ කටයුතු කාර්යාලය සමග පැවැත්වෙන සම්මුඛ සාකච්ඡාව සඳහා අප වාර්තාකරුට කතාවක් ගොතා එය මතකයේ තබා ගැනීමට සිදු වන බැවින් ටැනීසා අවධාරණයේ කළේ, ඇය යෝජනා කරන මෙම ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා යම් වෙහෙසක් දැරිය යුතු බව ය.
"විභාගයට යන්න තියෙන්නේ ඔයාට. මම ඔයා වෙනුවෙන් හැම දෙයක් ම සූදානම් කරනවා, නමුත් අවසානයේ එතනට යන්න වෙන්නේ ඔයාට ම යි," ඇය ඔහු වෙත පැවසුවා ය.
ටැනීසාගේ නිදන කාමරය තුළ ගත වූ මිනිත්තු 45ක කාලය, ව්‍යාජ සරණාගත අයැදුම්පත් සම්බන්ධ වංචාව කෙතරම් සංකීර්ණ ද යන්නත්, නිලධාරීන්ට එය හඳුනා ගැනීම කෙතරම් අපහසු ද යන්නත් පැහැදිලි කළ අවස්ථාවක් විය.
සරණාගතභාවය අපේක්ෂා කරන ඉල්ලුම්කරුවන් ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් පළමුව සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ලබන අතර පසුව පැය කිහිපයක් පුරා පැවැත්වෙන "ගැඹුරින් සිදු කෙරෙන සම්මුඛ පරීක්ෂණයකට" සහභාගී විය යුතු ය. එහිදී ඔවුන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ පිළිබඳව ගැඹුරින් පරීක්ෂා කෙරෙනු ඇත.
සරණාගතභාවය ලබා දෙන ලෙස ඉල්ලා කෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය ගන්නා තීරණය අධිකරණය හරහා අභියෝගයට ලක් කළ හැකි අතර, එවැනි තීරණ අවලංගු වීමට ද ඉඩ ඇත.
"ඒ පුද්ගලයා සමලිංගිකයෙක් ද කියලා හොයලා බලන්න විශේෂ පරීක්ෂාවක් නෑ," ටැනීසා අප රහසිගත වාර්තාකරු වෙත පැවසීය.
"මූලික ම දේ තමයි, ඔයා කියන දේ. 'මම සමලිංගිකයෙක්, ඒක තමයි මගේ සත්‍ය තත්ත්වය' කියලා ඔවුන්ට කියන්න තියෙන්නේ."
"මෙතැන ඔයා වගේ, සමලිංගිකයින් නොවුණත් වීසාවලට අයැදුම් කරන අය ඉන්න සංවිධාන ගොඩක් තියෙනවා. ඔයා විතරක් නෙවෙයි ඉන්නේ," යැයි ඇය ඔහු අස්වැසුවා ය.
ඉන් පසුව ඇය වංචාව ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පැහැදිලි කළා ය.
"අපි අනුගමනය කරන ක්‍රමය මෙහෙමයි: ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් එක්ක තියෙන සම්මුඛ පරීක්ෂණයට ඔයාට හොඳට සූදානම් වෙන්න පුළුවන් විදිහට, ඔයා ක්ලබ්වල ඉන්න ඡායාරූප, සහයට අවශ්‍ය අනෙක් සාක්ෂි, සංවිධානයක ලිපියක් සහ සහයට අවශ්‍ය වෙන අමතර ලිපි ඇතුළත් සම්පූර්ණ පැකේජයක් මම හදලා දෙන්නම්. එතැනින් පස්සේ ඔයා ඇතුළතට යන්නේ හරියට ම සූදානම් වෙලා."
වසර 17කට වැඩි කාලයක් මෙලෙස ව්‍යාජ අයැදුම්පත් සකස් කරමින් සිටින බව පැවසූ ටැනීසා, LGBT උත්සවවලදී අපගේ වාර්තාකරු ගන්නා ඡායාරූප, ඒ සඳහා ඔහු මිල දී ගන්නා ටිකට්පත් සාක්ෂි ලෙස භාවිත කරන බව ඇය පැහැදිලි කළා ය.
"මම ඔයාට කෙනෙක් දෙන විදිහට ලියුමක් දෙනවා, ඒකත් එක්ක අපි ඡායාරූප ටිකකුත් දෙනවා. ඒ කෙනා ඒකෙ ලියයි ඔයා එක්ක ලිංගික සම්බන්ධතාවක් තිබ්බා කියලා," ඇය පැවසුවා ය.
ටැනීසා ලබා දෙන මෙම සේවයට පවුම් 2,500ක මිලක් නියම වූයේ ඔහුගේ සරණාගතභාවය සඳහා වන ඉල්ලීම බලාපොරොත්තු නොවන පරිදි ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් ප්‍රතික්ෂේප වී අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිදුවුවහොත් ගාස්තුව තවත් වැඩි විය හැකි බවට වන අනතුරු ඇඟවීමත් ද සමග ය.
සාර්ථක අයැදුම්පතක ප්‍රතිඵලය ඒ වෙනුවෙන් වන කැපවීම දෙස බැලීමේදී වටිනා එකක් බව ඇය පැහැදිලි කළා ය.
"ඔයාට මෙහේ ජීවත් වෙන්න, වැඩ කරන්න පුළුවන්. ප්රතිලාභ ලබන්නත් සුදුසුකම් ලැබෙනවා," යැයි ඇය පැවසුවා ය.
නමුත් තම අයැදුම්පත සාර්ථක වුවහොත්, තමන් සමලිංගිකයෙකු බව අමාත්‍යංශය වෙත පවසා ඇති පසුබිමක පකිස්ථානයේ සිටින බිරිඳට සිදුවන්නේ කුමක් දැයි අප වාර්තාකරු විමසීය.
"ඔයා එයා මෙහේ ගෙනාවොත්, අපි එයාටත් සරණාගතභාවය ඉල්ලමු," ටැනීසා පිළිතුරු දුන්නා ය.
"එයා මෙහෙට ආවට පස්සේ, අපිට පුළුවන් එයා සමලිංගික කාන්තාවක් කියලා කියන්න."
සාක්ෂි සැපයීම
ටැනීසා රජයේ අනුමැතිය ලත් සංක්‍රමණ උපදේශිකාවක නොවන බැවින් ඇය සංක්‍රමණ උපදෙස් ලබාදීම නීතිවිරෝධී ය.
එදින උදය කාලයේ අප කතා කළ නීති සහයකයා සමග ඇයට ඇති සම්බන්ධය ගැන පැහැදිලි කිරීමට ඇය මැලිකම් දැක්වූ අතර, තමන් ඇය සමග රාජකාරී කළ බව පමණක් පැවසුවා ය.
"නීතිඥයන් වගේ අය මග පෙන්වන්න ඕන. නමුත් බිම් මට්ටමේ වැඩ ඔවුන් කරන දෙයක් නෙවෙයි," යැයි ඇය පැහැදිලි කළා ය. එයින් ඇය සඳහන් කළේ, සාක්ෂි නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය බව පෙනිණි.
"අපි තමයි බිම් මට්ටමේ වැඩ ටික කරන්නේ."
කෙසේ වෙතත්, පසුව පැවති හමුවීම් දෙකකදී ශකීල් සමග ඇයට ඇති සම්බන්ධය තවත් පැහැදිලි විය. එම හමුවීම් දෙක ම ශකීල් සේවය කරන Law & Justice ආයතනයේ ඉල්ෆර්ඩ්හි කාර්යාලවලදී පැවැත්විණි.
"මම නීතිඥවරයෙක් එක්ක වැඩ කරනවා. ඒ නිසා එයාගේ කාර්යාලය භාවිත කරනවා," යැයි ඇය පැවසුවා ය.
එක් හමුවක් අතරතුර, අපගේ රහසිගත වාර්තාකරු තමා ටැනීසාට හඳුන්වා දීම සම්බන්ධයෙන් ස්තූති කිරීමට ෂකිල්ව මුණගස්වන ලෙස ඉල්ලූ විට, ඔහු ඒ අසල කාමරයකට ගෙන ගොස් ශකිල් හමුවීමට ඉඩ සැලසීය.
ටැනීසා Worcester LGBTහි කාර්යභාරය ද පැහැදිලි කළා ය. ඇය එය "අපේ සංවිධානය" ලෙස හැඳින්වූ අතර, එහි වෙබ් අඩවියට අනුව, එය "සරණාගතභාවය අපේක්ෂා කරන LGBT+ අයැදුම්කරුවන්ට සහය දක්වන අඛණ්ඩ දායකත්වය පිළිගනිමින්, ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිල වශයෙන් පිළිගත්" සංවිධානයකි.
අප්‍රේල් මස මුලදී පැවැත්වෙන ඊළඟ හමුවට අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ඇය අපගේ වාර්තාකරුට පැවසුවා ය. එහිදී ඔහු වැනි, ව්‍යාජ අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ සූදානමින් පසුවන යන අය මෙන් ම "සැබෑ අය ද" සිටින බව ඇය කියා සිටියා ය.
"මේ හමුව වැදගත් වෙන්නේ, ඔයා සමලිංගිකයෙක් නම්, ඔයා සමලිංගික සංවිධානයකට සම්බන්ධයි කියලා ස්වදේශ කටයුතු කාර්යාලයට ඒ ගැන සාක්ෂි සපයන එක අනිවාර්ය නිසා," යැයි ඇය ඔහුට පැවසුවා ය.
Worcester LGBT මගින් ඔහුගේ අයැදුම්පත සඳහා භාවිත කළ හැකි ලිපියක් නිකුත් කළ හැකි බව ද ඇය කියා සිටියා ය.
"අපේ පැත්තෙන් අපි ලිපියක් නිකුත් කරනවා. ඒකෙන් ඔයා අපේ සාමාජිකයෙක්, සැබෑවට ම අපේ සංවිධානයට සම්බන්ධ කෙනෙක්, අපි පෞද්ගලිකව හඳුනන කෙනෙක් කියලා සඳහන් කරනවා. මේ වගේ සාක්ෂි ඉතා බලවත්," යැයි ඇය පැවසුවා ය.
අපි ලබා ගත් දර්ශන ඇනා ගොන්සාලෙස් වෙත පෙන්වූවෙමු. ඇය වසර 30ක පළපුරුද්දක් ඇති සංක්‍රමණ නීති විශේෂඥයෙකි. ටැනීසා "මෙම පුද්ගලයාට ඉදිරිපත් කිරීමට වංචනික ලෙස අයැදුම්පතක් නිර්මාණය කර වංචනික ක්‍රියාවක නිරත වෙමින්" පැහැදිලිව ම නීතිය උල්ලංඝනය කර ඇතැයි ඇය කියා සිටියා ය.
"මේ වගේ අය ඇත්තෙන් ම නීත්‍යනුකූලව සරණාගතභාවය ඉල්ලන අයැදුම්කරුවන්ට සහ සරණාගතයන්ට විශාල ගැටලු ඇති කරනවා," ගොන්සාලෙස් පැවසීය.
"විශේෂයෙන් ම LGBTI වැනි අස්පර්ශණීය විෂයකදී. මොකද ඇත්තට ම, ඔබ වධහිංසාවට ලක් වුණා ම, ඔබට යම් යම් දේවල් සිදු වුණා ම, බොහෝ විට එය භෞතික ආකාරයකින් ඔප්පු කිරීමේ ක්‍රමයක් තියෙනවා.
"සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් ගත්තා ම එහෙම නැහැ. ඒක බොහෝ විට සම්බන්ධතා, හැසිරීම සහ එදාට ඔයාට කොච්චරක් දුරටත් ඒක ඒත්තු ගන්වන්න පුළුවන් ද කියන දේ මත තීරණය වෙනවා."
අපගේ රහස් වාර්තාකරුට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් බීබීසී පුවත් ටැනීසාගෙන් කළ විමසීමෙන් පසු, ටැනීසා එය සන්නිවේදනය නිසි පරිදි නොවීමෙන් සිදුවූ "වරදවා වටහා ගැනීමක්" බවත් තමන්ට චතුර ලෙස උර්දු භාෂාව කතා කළ නොහැකි බවත් පැවසුවා ය. අපගේ වාර්තාකරුට අසත්‍ය ප්‍රකාශ කරන ලෙස හෝ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමට උපදෙස් දුන් බව ඇය ප්‍රතික්ෂේප කළා ය.
රහසිගත වාර්තාකරුගේ තොරතුරු ටැනීසාට ලබා දුන්නේ, ඇය වංචනික රැකවරණ අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔහුට උපදෙස් ලබා දෙනු ඇතැයි නොදැන බව ශකීල් පැවසීය.
Worcester LGBT වංචාකාරී සාක්ෂි නිර්මාණය කිරීමට හෝ ඊට සහය නොදුන් බවත්, කිසිදු පුද්ගලයෙකු සැබෑවට ම සමලිංගිකයෙකු ද යන්න තීරණය කිරීම ඔවුන්ගේ කාර්යයක් නොවන බවත් ඔහු පැවසීය.
ටැනීසාගේ කටයුතු සම්බන්ධයෙන් Worcester LGBT සමූහය අභ්‍යන්තර විමර්ශනයක් පවත්වන බවත්, ඇයට සංවිධානය තුළ තීරණ ගැනීමේ බලතල නොමැති බවත් ශකීල් තවදුරටත් පැවසීය.
Law & Justice Solicitors නීති ආයතනය පැවසුවේ, ටැනීසාට තම ආයතනය සමග වෘත්තීය සම්බන්ධයක් නොමැති අතර, ඇය තම ලන්ඩන් කාර්යාලයට "අනවසරයෙන් ප්‍රවේශ වූවා ද" යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.
අපගේ රහස් වාර්තාකරු කිසි විටෙකත් එම ආයතනයේ ගනුදෙනුකරුවෙකු නොවූ බව ද එම ආයතනය පැවසීය.
ටැනීසා සමග හමුවීම් සිදුවූ කාලයේදී, අපගේ රහස් වාර්තාකරු ලන්ඩනයේ නීති ආයතනවල හදවත බඳු ප්‍රදේශයක පිහිටා ඇති Connaught Law නීති ආයතනයේ උපදේශකයෙකු ද හමුවිය.
එහිදී ඔහු හමුවූයේ Connaught ආයතනයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශකයෙකු වන අකීල් අබ්බාසි ය.
අබ්බාසි අපගේ වාර්තාකරුට රට තුළ රැඳී සිටීමට උදව් කළ හැකි බව කියා සිටි අතර, ඔහු ව්‍යාජ අයැදුම්පතක් සඳහා සාක්ෂි නිර්මාණය කරන ආකාරය ගැන ඔහුට මග පෙන්වීමට සූදානම් බව පෙනී ගියේ ය.
එය ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩ "ඉතා අඩු" බවට ඔහු සහතික විය.
ඔහුගේ ගාස්තුව පවුම් 7,000ක් බව ඔහු පැවසූ අතර, එය ගෙවූ පසු, අවශ්‍ය ක්‍රියාවලිය සහ සැපයීමට සිදුවන සාක්ෂි පිළිබඳව ඔහුගේ කාර්යාලය රහස් වාර්තාකරුට මග පෙන්වනු ඇති බව ඔහු පැවසීය.
"යන්න ඕනේ කොහෙට ද, කරන්න ඕනේ මොනවා ද" යන්න ගැන උපදෙස් දෙන බව ද ඔහු කියා සිටියේ ය.
"සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන ඔවුන්ගේ සමාජ, සංගම් සහ ක්ලබ්වලින්" යැයි අබ්බාසි පැවසීය.
"ඔවුන් යන ස්ථාන, එවැනි සමලිංගික ක්ලබ් තියෙන තැන්."
එක් අවස්ථාවකදී, රහස් වාර්තාකරු තමාට සමලිංගික ක්ලබ් එකකට යාමට සිදුවේදැයි ප්‍රශ්න කළේ ය.
"ඔව්, යන්න වෙනවා," යැයි අබ්බාසි පිළිතුරු දුන්නේ ය.
"ඒත් මම එහෙම කෙනෙක් නෙවෙයි නේ," යැයි වාර්තාකරු පැවසීය.
එය අබ්බාසිට සිනහවට කාරණයක් වූ අතර ඔහු මෙසේ පැවසීය: "මම එහේදී ෆොටෝස් ටිකක් ගන්නම්."
එමෙන් ම අපගේ රහස් වාර්තාකරුට තම පිරිමි සහකරුවා ලෙස පෙනී සිටීමට කැමති කෙනෙකු සොයා ගැනීමට සිදුවන බව ද එම නීති උපදේශකයා පැවසීය.
තම බිරිඳ පකිස්ථානයේ සිටින බව වාර්තාකරු පැවසූ විට, එක්සත් රාජධානියේ "තත්ත්වය වඩා විවෘතයි" යැයි කියමින්, දැන් ඔහුට පුරුෂ සහකරුවෙකු සිටින බවට කතාවක් සකස් කළ හැකි බව අබ්බාසි එසැණින් පැවසීය.
"අපි ඔයා වෙනුවෙන් ප්‍රකාශයක් සකස් කරනවා. ඒක කියවද්දි, මේක කොහොම ද ක්‍රියා කරන්නේ කියලා ඔයාට හොඳට ම තේරේවි," යැයි ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් අප Connaught Law ආයතනයෙන් විමසීමක් කළ අතර එහිදී එම ආයතනය පැවසුවේ, අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන අතර අබ්බාසිගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි. යි. ඒ පිළිබඳව නීතිඥ නියාමන අධිකාරිය වෙත වාර්තා කර ඇති බව ද ආයතනය කියා සිටියේ ය.
වංකභාවය සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා අබ්බාසි ප්‍රතික්ෂේප කළේ ය. ඔහු පැවසුවේ, අයැදුම්පත් ගනුදෙනුකරුවන්ගේ උපදෙස් මත පමණක් සකස් කරන බවත් ව්‍යාජ කතා හෝ සාක්ෂි නිර්මාණය නොකරන බවත් ය.
'ඒක විශාල ගැටලුවක්'
Worcester LGBT සමූහය සෑම මාසයක ම හමු පවත්වන අතර, රට පුරා සිටින පිරිස් එයට සහභාගී වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ව්‍යාජ සරණාගත අයැදුම්කරුවන් බව පෙනී යයි.
නමුත් සමලිංගිකයන් ලෙස පෙනී සිටින සරණාගත අයැදුම්කරුවන් යොදා ගන්නා එක ම සමාජ කණ්ඩායම Worcester LGBT පමණක් නොවේ.
ලූටන් නගරයේ පිහිටි Muslim LGBT Network පිහිටවූ එක්සත් රාජධානියේ උපන් අජල් ඛාන් මෙසේ පැවසීය: "ඒක විශාල ගැටලුවක්."
"මගේ සංවිධානයෙන් නිර්දේශ ලිපි ලබා ගන්න මුදල් දෙන්න උත්සහ කරන අය ඉන්නවා, නමුත් මම ඒවා කවදාවත් භාර ගන්නෙ නෑ. මගේ වැඩ සියල්ල ම වෙන්නේ ස්වේච්ඡාවෙන්."
ඇතැම් අය, "මම සමලිංගිකයෙක් නෙවෙයි, නමුත් මට මේ රටේ ඉන්න ඕනේ," යැයි පවසන බව ඔහු පැවසීය.
අයැදුම්පත් කොපමණ ගණනක් ව්‍යාජ ඒවා ද යන්න නිරවද්‍ය ලෙස දැන ගැනීම අපහසු ය.
එහෙත් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන අනුව, ලිංගිකත්වය පදනම් කරගෙන ඉදිරිපත් කරන සරණාගත අයැදුම්පත් අතර පකිස්ථාන ජාතිකයන්ගේ අයැදුම්පත් ඉතා විශාල ප්‍රතිශතයක් නියෝජනය කරයි.
දත්ත ලබා ගත හැකි අවසාන වසර වන 2023දී, LGBT සරණාගත අයැදුම්පත් 3,430ක් පිළිබඳ මූලික තීරණ ගෙන තිබූ අතර, එම වසරේදී ලිංගික දිශානතිය පදනම් කරගෙන නව අයැදුම්පත් 1,400කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබිණි.
එම අයැදුම්පත්වලින් 42%ක් පකිස්ථාන ජාතිකයින් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණු අතර, පෙර වසර පහ තුළ ද මෙවැනි අයැදුම්පත් වැඩි ම සංඛ්‍යාවක් යොමු කරනු ලැබ තිබුණේ ඔවුන් විසිනි.
එම වසරේ ම, පකිස්ථාන ජාතිකයන් සමස්ත සරණාගත අයැදුම්පත් අතර සිව්වන ස්ථායේ සිටි අතර, සමස්ත අයැදුම්පත්වලින් ඔවුන් නියෝජනය කළේ සියයට 6ක ප්‍රතිශතයක් පමණි.
මීට අමතරව ලිංගිකත්වය පදනම් කරගෙන ඉදිරිපත් කරන සරණාගතභාවය ලබා ගැනීමේ අයැදුම්පත් පිළිබඳ මෑත කාලීන දත්ත නොමැත.
නමුත් ශිෂ්‍ය හෝ රැකියා වීසා මත පැමිණි පකිස්ථාන ජාතිකයින්ගෙන් මෙන් ම, බංග්ලාදේශ සහ ඉන්දියානු ජාතිකයින්ගෙන් ලැබෙන සරණාගත අයැදුම්පත් ගණන අතිශය ලෙස ඉහළ ගොස් ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශ සංඛ්‍යාලේඛන විශේෂඥයින් සඳහන් කර ඇත.
2023දී, ලිංගික දිශානතිය පදනම් කර ගෙන පීඩනයට ලක්වන බව පවසමින් සරණාගතභාවය ඉල්ලා සිටි අය අතරින්, තුනෙන් දෙකකට ආසන්න පිරිසකගේ අයැදුම්පත් ආරම්භක අදියරේදී ම අනුමත කර තිබිණි.
අලී (එය ඔහුගේ සැබෑ නාමය නොවේ) 2011දී පකිස්ථානයෙන් එක්සත් රාජධානිය වෙත පැමිණියේ ශිෂ්‍යයෙකු ලෙස ය.
වසර තුනකට පසු ඔහුගේ වීසා කාලය අවසන් වීමට ආසන්න වූ අවස්ථාවේදී, උපදෙස් ලබා ගැනීම සඳහා ඔහු නීතිඥවරියක හමු වූ අතර, රට තුළ රැඳී සිටීමට සරණාගතභාවය ලබාගත හැක්කේ තමන් සමලිංගිකයෙකු බව පවසා ව්‍යාජ කතාවක් ගොඩනැගීමෙන් පමණක් බව ඇය පැවසූ බව ඔහු කියා සිටියි.
"වෛද්‍යවරයෙක් හම්බ වෙලා, මේ වීසා ප්රශ්නය නිසා මට විෂාදය හැදිලා කියලා පෙන්නන්න කියලා ඇය මට උපදෙස් දුන්නා," ඔහු පැවසීය.
ඔහු මෙසේ ද පැවසීය: "මම මට දීපු බෙහෙත් බිව්වේ නැහැ. එත් මම විෂාදයෙන් හිටපු බව පෙන්වන්න, ඒ ඖෂධ අරගෙන ඒක ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත සාක්ෂියක් විදිහට පෙන්වන්න කියලා ඇය තරයේ කිව්වා."
ස්වදේශ කටයුතු අමාත්‍යංශය සමග පැවති මුල් සම්මුඛ පරීක්ෂණය අසාර්ථක වූ අතර එය අභියාචනාවක් දක්වා දුර දිග යාමෙන් ඔහුට ඒ සඳහා පවුම් 10,000කට වඩා වැය කිරීමට සිදු විය.
ඔහු නීතිඥ උපදෙස් මත ප්‍රයිඩ් පෙළපාලි සඳහා සහභාගී වී, සමලිංගික ක්ලබ් 10කට වඩා වැඩි ගණනකට ගොස්, එහිදී ඡායාරූප ගෙන සාක්ෂි ලෙස ඉදිරිපත් කළේ ය.
HIV ආසාදිත පුද්ගලයන්ට සහය සපයන පුණ්‍යායතනයක් වෙතින් සහය ලිපියක් ලබා ගැනීමට ඔහු දැරූ ව්‍යාජ උත්සහය පිළිබඳ සාක්ෂි ද බීබීසී පුවත් වෙත ලැබී ඇත. එහිදී ඔහු තමන්ට HIV ආසාදනය වී ඇති බව ඔවුන් වෙත පවසා තිබිණි.
එක්සත් රාජධානියට පැමිණි වසර අටකට පසු, නීති කටයුතු සඳහා වියදම් ඉහළ යාම හේතුවෙන් ඔහු 2019දී නැවත පකිස්ථානය වෙත ගියේ ය.
2022දී ඔහුගේ බිරිඳ ජාත්‍යන්තර ශිෂ්‍යයාවක ලෙස එක්සත් රාජධානියට පැමිණි විට, සරණාගතභාවය ලබා ගැනීමට ඔහු දැරූ අසාර්ථක උත්සහය හේතුවෙන් ඔහුට ඇය සමඟ එකතු වීමට අවසර නොලැබිණි.
නමුත්, තමන්ගේ මිතුරන් තිදෙනෙකු ඔවුන්ගේ ලිංගිකත්වය පිළිබඳ ව්‍යාජ ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් සාර්ථකව සරණාගතභාවය ලබා ගත් බව ඔහු අප වෙත කියා සිටියේ ය.
"එයාලා පකිස්ථානයේදී විවාහ වෙලා, එයාලගේ නෝනලා මෙහේ අරන් ආවා. දැන් එයාලට දරුවොත් ඉන්නවා," ඔහු පැවසීය.
දැඩි සංක්‍රමණ නීති
ස්වදේශ කටයුතු තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වන කම්කරු පක්ෂ මන්ත්‍රී ජෝ වයිට් පැවසුවේ, බීබීසීය විසින් හෙළිදරව් කරන ලද නීති ආයතන සහ උපදේශකයන් පිළිබඳව රජය "දැඩි ක්‍රියාමාර්ග" ගත යුතු බව ය.
බැසට්ලෝ නියෝජනය කරන මෙම මන්ත්‍රීවරිය BBC Radio 4හි Today වැඩසටහනට කියා සිටියේ, පොලිසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරනු ඇතැයි ඇය අපේක්ෂා කරන බව ය.
"රජය මේ කාරණය සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියා කළ යුතුයි. මෙවැනි සාක්ෂි ඍජුව ම පොලිස් අධිකාරිය වෙත යා යුතු අතර, පොලිසිය තම කටයුතු ආරම්භ කර මෙය අඩපණ කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා," යැයි ඇය පැවසුවා ය.
පකිස්ථානයෙන් පැමිණෙන පුද්ගලයින්ට ශිෂ්‍ය වීසා නිකුත් කිරීම නවතා දමන ලෙස ඇය ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියා ය. පුළුල් ලෙස සිදුවන වීසා වංචා බව පවසමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඇෆ්ගනිස්ථානය, කැමරූන්, මියන්මාරය සහ සුඩානයෙන් පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පසුගිය මාසයේදී එවැනි තීරණයක් ගත් බව ඇය සඳහන් කළා ය.
කන්සර්වේටිව් පක්ෂයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශ ඡායා ලේකම් ක්‍රිස් ෆිල්ප් පැවසුවේ, බීබීසී විමර්ශනය "බොහෝ සරණාගත අයැදුම්පත්වල ගැබ්ව ඇති වංචනික තත්ත්වය හෙළි කර ඇති" බව ය. එමෙන් ම එමගින් හඳුනාගෙන ඇති නීති උපදේශකයන්ට "සංක්‍රමණ වංචා සම්බන්ධයෙන් දඬුවම් ලබා දිය යුතු බව ද" ඔහු කියා සිටියේ ය.
"මුළු පද්ධතිය ම දූෂිතයි," යැයි ෆිල්ප් පැවසීය.
"සැබෑවට ම පීඩනයන්ට මුහුණ දෙන, ඒ සඳහා සැබෑ සාක්ෂි ඉදිරිපත් කළ හැකි ඉතා සීමිත පුද්ගලයන් ගණනකට පමණක් රැකවරණය ලබා ගන්න පුළුවන් වෙන විදිහට සරණාගතභාවය ලබා දීමේ ක්‍රමය මුළුමනින් ම ප්‍රතිසංවිධානය කළ යුතුයි.
"ඒ වගේ ම අනීතික ලෙස සරණාගතභාවය ඉල්ලන සංක්‍රමණිකයන් ආයෙත් ඉල්ලුම් කළ නොහැකි විදිහට සම්පූර්ණයෙන් ම තහනම් කළ යුතුයි."
Refugee Councilහි බාහිර කටයුතු අධ්යක්ෂ ඉම්රාන් හුසේන් පැවසුවේ, "ලාභය සඳහා අසරණ සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සූරාගෙන කන නිර්ලජ්ජිත උපදේශකයන්ට ඔවුන්ගේ ක්‍රියාවලට ප්‍රතිවිපාක ලැබීමට සැලැස්විය යුතු බව" යි.
ඔහු මෙසේ ද පැවසීය: "අපි උගන්ඩා සහ පකිස්ථානය වැනි රටවලින් පැමිණි LGBTQ+ සරණාගතයන් සමග දිනපතා කටයුතු කරනවා. ඔවුන් තමන්ගේ අනන්‍යතාව නිසා ම සිරගත වීම්, හිංසනයට සහ අපයෝජනයට ලක්ව ඇති අය. ආරක්ෂිත සහ විවෘත ජීවිතයක් ගත කිරීමට ඔවුන් බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා," යැයි ඔහු කියා සිටියේ ය.
"මෙවැනි අපයෝජන, සරණාගතභාවය සැබෑවට අවශ්‍ය පුද්ගලයන්ගේ විශ්වාසනීයත්වය බිඳ දමන්න භාවිත නොකළ යුතුයි."
බීබීසී විමර්ශනයට ප්‍රතිචාර දක්වමින් රිෆෝම් යූ.කේ. පක්ෂයේ ස්වදේශ කටයුතු ප්‍රකාශිකා සියා යූසුෆ් මෙසේ පැවසීය: "මෙය කඩිනමින් විමර්ශනය කරන්න තරම් විශාල අපකීර්තිමත් සිදුවීමක්. ව්‍යාජ සරණාගත අයැදුම්පත් සඳහා උදව් කරන බව සොයා ගන්නා ඕනෑ ම නීතිඥයෙකුට එරෙහිව නඩු පවරා දඬුවම් කළ යුතුයි."
"කොන්සර්වේටිව් පක්ෂය විසින් ගොඩනගන ලද, හිඩැස්වලින් පිරුණු, අසාර්ථක සරණාගතභාවය ලබා දෙන ක්‍රමවේදය නිසා මිලියන ගණන් දෙනාට රටට ඇතුළු වීමට ඉඩ ලැබුණා. ඒ හිඩැස් ව්‍යාජ අයැදුම්පත් හරහා, දේශපාලන අරමුණු ඇති නීතිඥයන් විසින් අපයෝජනය කරනු ලබනවා," යැයි ඔහු කීවේ ය.
"රිෆෝම් යූ.කේ. පක්ෂය මෙම විගඩම අවසන් කරනවා. අපි ECHR වෙතින් ඉවත් වෙලා, සරණාගත ක්‍රමය ප්‍රතිසංවිධානය කරලා, ඉන් යුතු ප්‍රයෝජන ගන්න අයට එරහිව නීතියේ සම්පූර්ණ බලය යොදවනවා."
ලිබරල් ඩිමොක්රට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇනා සබීන් BBC Politics Live වැඩසටහනට කියා සිටියේ, රැකවරණ පද්ධතිය අපයෝජනය කරන ඕනෑ ම පුද්ගලයෙකු "නීතියේ සම්පූර්ණ බලයට මුහුණ දිය යුතු" බව ය.
ඇය මෙසේ ද පැවසුවා ය: "මෙය මහා පරිමාණයෙන් සිදුවෙනවා නම්, ස්වදේශ කටයුතු අමාත්‍යංශය තුළ ඇත්තෙන් ම මොනවා ද සිද්ධ වෙන්නේ කියලා කියන ප්‍රශ්න මතු වෙනවා. ඒ අතර ම, සැබෑ හේතු නිසා මේ රටට පැමිණීමට උත්සහ කරන අයට උපකාර කරන්න සැබෑ ලෙස කැපවෙන LGBT කණ්ඩායම් ද තියෙනවා."
ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, වංචාසහගත සරණාගත අයැදුම්පතක් ඉදිරිපත් කිරීම අපරාධයක් වන අතර, අධිකරණයකදී වරදකරුවෙකු බවට පත්වන පුද්ගලයෙකුට ඒ හේතුවෙන් සිරදඬුවම් නියම කළ හැකි බවත්, අනතුරුව ඔහු හෝ ඇය රටින් පිටුවහල් කළ හැකි බවත්ය.
"ලිංගිකත්වය හේතුවෙන් සැබෑ ලෙස ම පීඩනයට ලක් වෙලා පලා එන එන පුද්ගලයන් සඳහා නිර්මාණය කළ ආරක්ෂාව අපයෝජනය කරන ඕනෑ ම උත්සහයක් නින්දිතයි," යැයි එහි ප්‍රකාශකයෙක් බීබීසීය වෙත පැවසීය.
"සරණාගත පද්ධතිය සෑම අයැදුම්පතක් ම දැඩිව සහ සාධාරණ ලෙස ඇගයීමට ශක්තිමත් ආරක්ෂණ යාන්ත්‍රණයක් මත ගොඩනගා ඇත.
"සරණාගතභාවය ලබා දෙන්නේ ස්ථාපිත මාර්ගෝපදේශයන්ට අනුකූල වන අයට පමණයි. වංචාසහගත ක්‍රියා සක්‍රීයව හෙළිදරව් කරමින්, ඒවා නවතා දැමීමට ක්‍රියා පටිපාටි නිරන්තරයෙන් සමාලෝචනය කරනවා."
මාර්තු මාසයේදී, ස්වදේශ කටයුතු ඇමතිනී ශබානා මහ්මූද් එක්සත් රාජධානියේ සංක්‍රමණ නීතිවල වැදගත් වෙනස්කම් කිහිපයක් ප්‍රකාශයට පත් කළා ය. ඒ අනුව, එක්සත් රාජධානියට පැමිණෙන සරණාගතයින්ට දැනට ලැබෙන්නේ තාවකාලික රැකවරණය පමණක් වන අතර, ඔවුන්ගේ ඉල්ලීම් සෑම මාස 30කට වරක් ම නැවත සමාලෝචනය කරනු ඇත.
ඊට පසු දා, අපගේ රහසිගත වාර්තාකරු සමග පැවති හමුවකදී, ටැනීසා විශ්වාසයෙන් යුතුව පැවසුවේ, මෙම වෙනස්කම් ව්‍යාජ සාක්ෂි පදනම් කරගෙන සරණාගතභාවය ලබා ගැනීම අපහසු නොකරන බව ය.
නමුත්, ඇය ඔහුගේ අයැදුම්පත ප්‍රමාද නොකර ඉදිරිපත් කළ යුතු බවට ඔහු පෙළඹවීමට එම වෙනස්කම් භාවිත කළා ය.
"දැන් එයාලා මේක කළා," යැයි ඇය අවවා ද කළා ය. "හෙට හෝ අනිද්දා තවමොනවා කරයි ද කියලා කවුද දන්නේ?"
හමුව අවසානයට ළං වන විට, ඇය තම ගනුදෙනුකරුගෙන් ඉල්ලීමක් කළා ය.
"ඉස්සරහට උදව් අවශ්‍ය අය කවුරුහරි හිටියොත්, එයාලව මගේ ගාවට අරගෙන එන්න පුළුවන් නේද?"