ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසරක කාලයක් රත්‍රන් මිල දී නොගන්නා ලෙස නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ඇයි?
- Author, බීබීසී හින්දි සේවය සහ ඉසබෙල් ෂෝ
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ඉරානයේ ගැටුම් හේතුවෙන් එල්ල වන ආර්ථික බලපෑම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බැවින්, වසරක කාලයක් සඳහා රත්‍රන් මිල දී ගැනීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
''නිවෙස්වල උත්සව තිබුණත් රටේ යහපත වෙනුවෙන් අවුරුද්දක් ගත වන තුරු රත්‍රන් මිල දී නොගැනීමට තීරණය කරන්න අපට සිදුවෙනවා,'' මැයි 10 වන දා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය.
"දේශප්‍රේමය කියන්නේ දේශසීමාවේදී ජීවිතය පූජා කිරීමට ඇති කැමැත්ත විතරක් නෙමෙයි. මේ වගේ කාලවකවානුවලදී දෛනික ජීවිතය තුළ වගකීම්සහගතව ජීවත් වීම වගේ ම ජාතිය වෙනුවෙන් අපගේ යුතුකම් ඉටු කිරීම යි," ඔහු පැවසුවේ ය.
ඉන් දින තුනකට පසු ඉන්දියාව රන් සඳහා පවතින ආනයන බද්ද ද 6% සිට 15% දක්වා ඉහළ නැංවීය.
රන් ආභරණ සහ ආයෝජන අතින් ලොව දෙවන විශාලතම රන් වෙළෙඳපොළ වන ඉන්දියාවට මෙය දරා ගැනීමට අපහසු තීරණයකි. මාර්තු 31 වන දායින් අවසන් වූ පසුගිය මූල්‍ය වර්ෂයේදී ඔවුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 72ක් වටිනා රත්‍රන් ආනයනය කර තිබිණි.
ඉන්දියාව තුළ රත්‍රන් සංස්කෘතික වශයෙන් ද වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර බොහෝවිට මංගල උත්සවවලදී ඒවා තෑගි වශයෙන් පිරිනැමීම සහ උරුමයක් ලෙස පවරා දීම සිදු කරයි.
ඉන්දියාව දැනටමත් ඉහළ යන ඉන්ධන පිරිවැයට මුහුණ දෙමින් සිටින අවස්ථාවක, රන් මිල දී ගැනීම් හේතුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වන බව මෝදි පැවසීය. මෙම දකුණු ආසියානු රට තම ඉන්ධන අවශ්‍යතාවයෙන් 85%කට වඩා ආනයනය කරයි.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානය සමග පවතින යුද්ධය ආරම්භ වීමත් සමග සහ ලෝකයේ ඉන්ධන සහ ද්‍රව ස්වාභාවික වායු සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන වෙළෙඳ මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග බොරතෙල් මිල 70%ක් දක්වා උපරිමයකින් ඉහළ ගියේ ය.
ඉහළ යන බලශක්ති මිල ගණන් ලොව පුරා රජයන්ට සිය පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර හඳුන්වා දීමට පීඩනයක් එල්ල කර තිබේ. රටවල් රැසක් ප්‍රධාන වශයෙන් බලශක්තිය ඉතිරි කිරීම සඳහා අවධානය යොමු කර තිබුණ ද රත්‍රන් සඳහා වැය කරන වියදම් කපා හරින ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින එක ම රට ඉන්දියාව බව පෙනෙන්නට තිබේ.
රත්‍රන් සහ ඉන්ධන ආනයනය යන කාර්යයන් ද්විත්වය සඳහා ම බොහෝදුරට ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවීම් සිදු කරන බැවින් රත්‍රන් යනු ඉන්දියාවේ පුළුල් ආර්ථික ගැටලුවක කොටසක් බවට පත්ව තිබේ.
ඇමෙරිකානු ඩොලර් සඳහා පවතින ඉල්ලුම වැඩිවීම මගින් ඉන්දියානු රුපියල දුර්වල කළ හැකි අතර ඉන්දියානු රුපියල මෙම වසරේදී දැනටමත් ඩොලරයට සාපේක්ෂව 5%කින් පමණ පහත වැටී තිබේ. මෙම අවප්‍රමාණය වීම උද්ධමන පීඩනයට හේතු විය හැක.
"ස්වර්ණාභරණ අංශය සඳහා මේක කොවිඩ් කාලයටත් වඩා නරක යි," නවදිල්ලියේ සිටින ස්වර්ණාභරණ වෙළෙන්දෙකු වන සංජීව් අගර්වාල් පවසයි.
අගනුවර වෙළෙඳාම් සිදු කරන තවත් ස්වර්ණාභරණ වෙළෙන්දෙකු වන අභිෂේක් අගර්වාල් පවසන්නේ, ජනතාව රත්‍රන් මිල දී ගැනීම නතර කළහොත් තම ජීවනෝපාය කරගෙන යාම ගැටලුවක් වනු ඇතැයි ව්‍යාපාරිකයන් "බියෙන්" පසුවන බව ය.
අත්‍යවශ්‍ය නොවන ආනයන
ඉන්දියාවේ රත්‍රන්වලින් 90%කට වඩා ආනයනය කරන ඒවා බව අහමදාබාද්හි ඉන්දීය කළමනාකරණ ආයතනයේ ඉන්දීය රන් ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ ප්‍රධානී මහාචාර්ය සුන්දරවල්ලි නාරායනස්වාමි බීබීසී පුවත් සේවයට පැවසුවා ය.
"හැම අවුරුද්දක ම රත්‍රන් ටොන් 600 සිට 700 දක්වා ප්‍රමාණයක් ආනයනය කරනවා සහ අපනයන පවතින්නේ ඉතා අවම මට්ටමක යි. ඉතින් මේ රත්‍රන් නිවෙස්වල එකතු වෙලා තිබෙනවා," ඇය පැවසුවා ය.
ලෝකයේ රත්‍රන්වලින් 11%ක් පමණ ඉන්දියානු කාන්තාවන් පමණක් හිමි කර ගන්නා බව බොහෝවිට පැවසෙන නමුත් අගය තහවුරු කිරීමට අපහසු වන අතර ඇස්තමේන්තු ද වෙනස් වේ.
ඉන්දියාව තුළ මෙන් ම ගෝලීය වශයෙන් ද අවිනිශ්චිත කාලවලදී බොහෝ දෙනෙකු රත්‍රන් ආරක්ෂිත ආයෝජනයක් ලෙස සලකනු ලබන අතර, එයින් අදහස් කෙරෙන්නේ ආර්ථික අර්බුද පවතින අවස්ථාවලදී පවා රත්‍රන් සඳහා පවතින ඉල්ලුම ඉහළ මට්ටමක පැවතිය හැකි බව ය.
මෑත වසරවලදී රන් මිල තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර ජනවාරි මාසයේදී පළමු වරට රන් අවුන්සයක් ඩොලර් 5,000ට වඩා ඉහළ ගොස් තිබේ.
රත්‍රන් ආනයනයට යන වියදම ඉන්දියාවේ ආනයන වියදමෙන් 9%ක් පමණ වේ. නමුත් ඉන්ධන මෙන් නොව එය ප්‍රධාන වශයෙන් කාර්මික නිෂ්පාදනය සඳහා නොව ආභරණ හෝ ආයෝජනයක් ලෙස මිල දී ගන්නා බැවින් එය සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය දෙයක් ලෙස නොසලක යි.
අතීතයේදී ද, ආර්ථික පීඩන පවතින කාලවකවානුවලදී අධික ලෙස රන් ආනයනය කිරීම අධෛර්යවත් කිරීමට ඉන්දියාව උත්සහ කර ඇති අතර, එවැනි අවස්ථාවලදී ඔවුන් ආනයන බදු ඉහළ නැංවූ අතර, භෞතිකව රන් සන්තකයේ තබා ගැනීම අවශ්‍ය නොවන විකල්ප ආයෝජන ක්‍රම ප්‍රවර්ධනය කිරීමට උත්සහ කර ඇත.
ඉන් ඇති වන බලපෑම කුමක් ද?
රත්‍රන් මිල දී ගැනීමෙන් වැළකී සිටීමට අමතරව, ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස, එක ම වාහනයෙන් කිහිප දෙනෙකු ගමන් කරන ලෙස, නිවසේ සිට වැඩ කරන ලෙස සහ අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාර සීමා කරන ලෙස ද මෝදි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. එමෙන් ම, පිසින තෙල් භාවිතය සීමා කරන ලෙසත්, පොහොර පරිභෝජනය අඩු කරන ලෙසත් ඔහු ගොවීන්ගෙන් ද ඉල්ලා සිටියේ ය.
ලොව පුරා අනෙකුත් රජයන් ද ඉන්ධන මිල ඉහළ යාම සමග කටයුතු කිරීම සඳහා ඒ හා සමාන පියවර මාලාවක් හඳුන්වා දී ඇත.
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුළ වාහන සඳහා ඉන්ධන කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති අතර බලශක්ති භාවිතය අඩු කරන ලෙස රාජ්‍ය ආයතනවලට උපදෙස් දී තිබේ. තායිලන්තයේ ජනතාවගෙන් බලධාරීන් ඉල්ලා ඇත්තේ, වායුසමීකරණ භාවිතය අඩු කරන ලෙස ය.
අනෙකුත් රටවල් පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඊජිප්තුව මීට පෙර සාප්පු සංකීර්ණ සහ අවන්හල් කලින් වසා දැමීමට නියෝග කළ අතර, මොසැම්බික් රාජ්‍යය එරට පුරවැසියන්ට නිවසේ සිට රාජකාරී කරන ලෙස උපදෙස් දුන්නේ ය.
නමුත් රත්‍රන් මිල දී ගැනීම නවත්වන ලෙස මෝදි මහ ජනතාවට කළ ආයාචනය "තරමක් අසාමාන්‍ය" බව කැපිටල් ඉකොනොමික්ස් පර්යේෂණ ආයතනයේ හමාඩ් හුසේන් පවසයි.
"නමුත් ඉන්දියාවේ සම්බන්ධ සිදුවීම ගත්ත ම ඉන්දියාව කියන්නේ විශාල රත්‍රන් ප්‍රමාණයක් ආනයනය කරන රටක් නිසා එයින් ඔවුන්ගේ ආනයන පිරිවැයෙන් විශාල කොටසක් වැය කරන බව පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඒ තීරණයේ යම් ආකාරයක අර්ථවත්භාවයක් තිබෙනවා," ඔහු පවසයි.
පූර්ණ අවුරුද්දක්
ඉදිරියේදී ඉන්දියාවේ රන් ඉල්ලුමේ සිදුවන අඩුවීම ගෝලීය රන් මිලට විශාල බලපෑමක් ඇති වේ ද? යන්න පිළිබඳව ආර්ථික විද්‍යාඥයෝ දෙගිඩියාවෙන් පසුවෙති.
ලොව වැඩි ම ජනගහනයක් සිටින රට වන ඉන්දියාව විශාල පාරිභෝගිකයෙකු වන බැවින්, ඉල්ලුම අඩුවීම "අතිරික්ත සැපයුමක් කරා සමතුලිතතාව වෙනස් කරමින් ගෝලීය රන් මිල කෙරෙහි පීඩනයක් එල්ල කළ හැකි" බව හුසේන් පවසයි.
කෙසේ වෙතත්, උපදේශන සමාගමක් වන ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස්හි සෙබස්තියන් ටිලට් විශ්වාස කරන්නේ, දැනට මිල තීරණය වන්නේ ආයෝජකයන්ගේ ඉල්ලුම සහ භූ දේශපාලනික අස්ථාවරත්වය මත බැවින් මෙහි බලපෑම "ඉතා සුළු" මට්ටමක පවතිනු ඇති බව ය.
මෝදි ඉන්දීය ජනතාවගෙන් කළ මෙම ඉල්ලීම එරට රන් සඳහා කරන වියදම් කෙරෙහි දැවැන්ත බලපෑමක් එල්ල කරයි ද යන්න සැක සහිත බව ඔහුගේ විශ්වාසය යි.
"මහ ජනයාගෙන් සිදු කළ ඉල්ලීම්වල යම් බලපෑමක් එල්ල වෙන්න පුළුවන් වුණත් ඔවුන් මිල දී ගැනීම් සම්පූර්ණයෙන් ම නවත්වනවාට වඩා සිදුවන්නේ එවැනි මිල දී ගැනීම් කල් දැමීම හෝ වෙනස් කිරීම පමණක් වෙන්නත් පුළුවන්," යනුවෙන් පැහැදිලි කරමින් ඔහු පවසන්නේ, රත්‍රන් තවදුරටත් "ඉන්දීය සංස්කෘතිය සහ ගෘහස්ථ ඉතුරුම් සමග ගැඹුරින් බද්ධ වී පවතින" බව ය.
''කාලීන සාධක නිසා ක්ෂණික බලපෑම අඩු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විවාහ මංගල්‍ය හෝ උත්සව සමය නොවන විට රත්‍රන් මිල දී ගන්නේ අඩුවෙන්. එම නිසා රත්‍රන් මිල දී ගැනීමේ යම් පහත වැටීමක් සිදු වෙන්න පුළුවන්,'' ඔහු පවසයි.
2013 වසරේ එවක රජය සහ කර්මාන්ත නිලධාරීන් සිදු කළ රන් ආනයන බදු ඉහළ නැංවීම හරහා රන් ජාවාරම් සහ නිල නොවන වෙළෙඳාම් ඉහළ ගියේ ය.
ඇතැම් විශ්ලේෂකයින් මෝදිගේ මෙම ආයාචනය ඉහළ යන බලශක්ති මිල ගණන්වලට ප්‍රතිචාර වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති "වඩාත් ම දැඩි" පියවර මාලාව ලෙස විස්තර කරන අතර, විපක්ෂ නායක රාහුල් ගාන්ධි පැවසුවේ, රජය "වගකීම ජනතාව මත පටවමින් සිටින" බව ය.
ඉන්දියාවේ ස්වර්ණාභරණ කර්මාන්තය නියෝජනය කරන ඇතැම් පාර්ශව විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා රජය සමග ඍජු සාකච්ඡා වටයක් ඉල්ලා සිටී.
"මෙය මාස දෙකක් වගේ වුණා නම් අපිට ඒක කළමනාකරණය කර ගන්න තිබුණා, ඒත් සම්පූර්ණ වසරක් කියන්නේ ලොකු කාලයක්," ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු වන ශ්වේතා ගුප්තා පවසයි. "අපි අපේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ කොහොම ද?"