ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්ධන අර්බුදයට මුහුණ දීමට කලාපයේ සෙසු රටවල් ගෙන ඇති පියවරයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ප්‍රමාණවත් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
මැද පෙරදිග යුදමය වාතාවරණය මේ වන විට තාවකාලිකව නතර වී තිබුණ ද, ඉන් ලෝකයට එල්ල කරන බලපෑම දිනෙන් දින ඉහළ යමින් පවතියි.
එම බලපෑමේ වැඩි කම්පනයක් දකුණු ආසියානු කලාපයේ රටවලට එල්ල වී ඇති අතර, එම කලාපයේ රටවල්වල ඉන්ධන ඇතුළු බලශක්ති අර්බුදය සහ ඩොලරයේ අගය ඉහළ යාම ඒ අතරින් කැපී පෙනෙයි.
මෙම තත්ත්වයට මුහුණ දීමට කලාපයේ රටවල රජයන් විසින් විවිධ පියවර ගනිමින් තිබුණ ද, ඒ හරහා එල්ල වී ඇති ආර්ථික සහ සමාජීය බලපෑම් අඩු වන බවක් පෙනෙන්නට නැත.
ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවර මොනවා ද?
යුද්ධය ආරම්භ වීමත් සමග ම ශ්‍රී ලංකාවේ ද පාලනයකින් තොරව ඉන්ධන මිලට ගැනීමට ජනතාව යොමු වීමෙන් ඉන්ධන හිඟයක් ඇති වූ අතර ඉන්ධන හල් අසල දිගු පෝලීම් දැක ගත හැකි විය.
අනිසි ලෙස ඉන්ධන රැස් කිරීම වැළැක්වීම, පරිභෝජනය අඩු කිරීම සහ ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා රජය ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට, පෙර පැවති QR කේත ක්‍රමය යළිත් ආරම්භ කළ අතර, ඊට අමතරව වාහන අංක අනුව ඔත්තේ - ඉරට්ටේ දින අනුව ඉන්ධන ලබා දීමට කටයුතු කළේ ය.
තවමත් එම ක්‍රමවේද ක්‍රියාත්මක වුව ද ඒවා නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොවන අවස්ථා පිළිබඳව ද නිරන්තරයෙන් වාර්තා වේ.
රජයේ නියාමන අනුගමනයෙන් තොරව ඉන්ධන ලබා දීම
නම හෙළි කිරීමට අකැමති වූ පුද්ගලයෙකු බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසුවේ, ඔහු අවස්ථා කිහිපයකදී ම ඔත්තේ - ඉරට්ටේ සහ QR ක්‍රමවේදයෙන් තොරව ඉන්ධන ලබා ගත් බව ය.
"මීගමුව කිට්ටුව ෂෙඩ් එකකින් මම පෙරේදා තෙල් ගැහුවා, ඒ අය QR බැලුවෙත් නැහැ, ඔත්තේ - ඉරට්ටේ බැලුවෙත් නැහැ. මට ෆුල් ටෑන්ක් ම තෙල් ගහලා දුන්නා. ඒ වෙලාවේ කාර් දෙකකුයි, ත්‍රීවිල් තුනක් විතර තිබුණා ඒ අයටත් එහෙම තමයි තෙල් දුන්නේ."
එලෙස, ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් අවස්ථා කිහිපයකදී ම තමන්ට ඉන්ධන ලබා ගැනීමට හැකි වූ බව ද ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.
බදාදා නිවාඩුව සහ රාජ්‍ය ආයතනවල උත්සව නතර කිරීම
ඊට අමතරව මාර්තු 18 වන දා සිට රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, බලශක්ති අර්බුදයට මුහුණ දීමේ එක් පියවරක් ලෙස ය.
කෙසේ වෙතත්, එම අමතර නිවාඩුව අප්‍රේල් 08 වන දා සිට අවලංගු කිරීමට රජය පියවර ගත්තේ ය.
තව ද, අර්බුදයට මුහුණ දීමේ ක්‍රමයක් ලෙස රජය විසින් සංවිධානය කරනු ලබන සියලු උත්සව තාවකාලිකව නතර කිරීමට පියවර ගැනිණි.
බලශක්ති අර්බුදයට මුහුණ දීමට රාජ්‍ය ආයතන ගෙන ඇති පියවර
ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට අර්බුදය ආරම්භයේ සිට ම රාජ්‍ය ආයතනවලට උපදෙස් දුන් බවත්, එහි යම් ප්‍රගතියක් ඇති බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
එමෙන් ම, රාජ්‍ය උත්සව පැවැත්වීම සීමා කර, ඇතැම් රැස්වීම් සහ සම්මන්ත්‍රණ වැනි දෑ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
"අත්‍යවශය දේවල් හැරෙන්න අනිත් දේවල් ඔක්කොම වගේ නතර කරලා අඩු ම වියදමකින් කර ගන්න පුළුවන් වෙන විදයට යනවා. මීටින් එහෙම ඔන්ලයින් ක්‍රමයට පවත්වනවා නිලධාරීන් ගෙන්වන්නේ නැතුව," ඔහු පැවසුවේ ය.
ඉදිරියේදී ඉන්ධන ඇතුළු බලශක්ති අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතින බව පැවසූ අමාත්‍ය චන්දන අබේරත්න, ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ද පැවසීය.
"ක්‍රමවේද, අදහස්, යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අපහසු යෝජනාත් තියෙනවා. රටේ අනෙකුත් වැඩවලට බාධාවක් නොවන විදියට, අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් පාලනය සඳහා තමයි විශේෂයෙන් අවදානය යොමු වෙලා තියෙන්නේ," ඔහු පැවසීය.
වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කරන රෙගුලාසි
ඉන්ධන හා විදුලිය භාවිත කිරීම සඳහා රජය මගින් පනවා තිබූ රෙගුලාසි, වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇති අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී විසින් ඒ පිළිබඳව බුද්ධ රශ්මි වෙසක් කලාප සංවිධායකයන් දැනුවත් කර ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය අංශයේ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
"පවතින අර්බුදය හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙවර තීරණය කර ඇති අතර, ඒ අනුව අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය තුළ කටයුතු කර තිබෙන බව, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන" බවත් කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පැවසූහ.
ඉන්ධන සීමා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැවසුවේ කුමක් ද?
ඉන්ධන සහ ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීමට වැය වන මාසික පිරිවැය වැඩි වී ඇති බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක, ඊට මුහුණ දීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව මැයි 20 වන දා 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මැයි 20 දින මඩකලපුව දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනට එක්වෙමින් පැවසීය.
එමෙන් ම, රුපියල කඩා වැටීම කෙටි කාලීන තත්ත්වයක් බවත්, ඊට සියලු දෙනා ශක්තිමත්ව මුහුණ දිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
"ඩොලර් මිල ඉහළ යාම නිසා ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩිවීමත් බලපා තිබෙනවා. ඒ නිසා අපේ රුපියලට තෙරපුමක්, ඩොලරයට ඉල්ලුමක් ඇතිව තිබෙනවා. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිතව තිබෙනවා. කෙටි කාලයක් අපි මේ ඩොලරය සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතු යි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චිය සීමා කළ යුතු යි," ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඉන්දියාව අර්බුදයට මුහුණ දීමට ගෙන ඇති පියවර මොනවා ද?
මැද පෙරදිග කලාපයේ යුද උණුසුම හේතුවෙන් ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය වැනි කලාපයේ අසල්වැසි රටවල ඉන්ධන මිල ද ඉහළ ගොස් තිබේ.
ඊට අමතරව ඩොලරයේ අගය ඉහළ යාමේ අර්බුදයට සහ බලශක්ති අර්බුදයට එම රටවල් ද මුහුණ දෙමින් සිටියි.
අර්බුදයට මුහුණ දීම සඳහා නිවසේ සිට රාජකාරී කිරීම වැඩි කරන ලෙසත්, විදේශ සංචාර අවම කරන ලෙසත්, වසරක් යන තුරු රන් මිල දී ගැනීමෙන් වළකින ලෙසත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කළේ ය.
ඉන්ධන ඉතිරි කිරීම දේශප්‍රේමී ක්‍රියාවක් ලෙසින් ඉන්දීය අගමැතිවරයා හඳුන්වා තිබේ.
වැඩි වශයෙන් පොදු ප්‍රවාහනය භාවිත කරන ලෙසත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.
නවදිල්ලිය දින 90ක ඉන්ධන ඉතිරි කිරීමේ සහ කප්පාදු කිරීම ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර, බලශක්ති අර්බුදයෙන් ඇති වන ආර්ථික බිඳවැටීමට සහ දුර්වල වන ඉන්දීය රුපියලට පිළියම් යෙදීමේ අරමුණු ඇතිව එය ක්‍රියාවට නංවා ඇත.
දූරස්ථව වැඩ කළ හැකි සේවකයින්ට සතියකට දින දෙකක් නිවසේ සිට රාජකාරී කිරීමට පියවර ගෙන ඇති අතර එවැනි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පෞද්ගලික අංශයෙන් ද ඉල්ලීමක් කර තිබේ.
පකිස්ථානය ගෙන ඇති පියවර
ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යාමට මුහුණ දීමට පකිස්ථානය ද දැඩි පියවර කිහිපයක් ගෙන තිබේ.
දින 4ක රාජකාරි සතියක් බලාත්මක කිරීමට මෙන් ම, රාජ්‍ය අංශයේ සේවකයින් 50%ක් පමණ දූරස්ථව රාජකාරී කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එරට රජය කටයුතු කර ඇත.
එමෙන් ම, රජයේ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම 50%කින් අඩු කර ඇති අතර විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා තාවකාලිකව මාර්ගගත අධ්‍යාපනය අනිවාර්ය කර තිබේ.
විවාහ මංගල්‍යයන් සහ සාද සඳහා අමුත්තන් 200කට සීමා කර එක් ප්‍රධාන ආහාරයකට සීමා කර ලෙස සහ රැස්වීම් සීමා කරන ලෙස පකිස්ථාන අගමැතිවරයා එරට ජනතාවගෙන් ඉල්ලා තිබිණි.
මේ වන විට පකිස්ථානයේ ඉන්ධන මිල සෑම සිකුරාදා දිනක ම සමාලෝචනය කරයි.
වැඩ කරන දින ගණන 5කට අඩු කළ නේපාලය
ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වූ අර්බුදවලට මුහුණ දීම සඳහා නේපාලය රජයේ කාර්යාල සහ අධ්‍යාපන ආයතන සඳහා වැඩ කරන සතිය දින හයේ සිට පහ දක්වා අඩු කළේ ය.
විදුලි භාවිතය සීමා කරන ලෙස නේපාල රජය සමාගම්වලින් ඉල්ලා සිටියි.
අත්‍යවශ්‍ය නොවන ගමන් කපාහැර ඉන්ධන පරිභෝජනය අඩු කරන මෙන් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිති.
ඉන්ධන සීමා කරමින් බංගලාදේශය ගනු ලැබු පියවර
යුද්ධය ආරම්භයේ සිට බංග්ලාදේශය එරට විශ්වවිද්‍යාල වසා දමමින් ඇති විය හැකි අර්බුදවලට මුහුණ දීමට සූදානම් විය.
දිනකට මිල දී ගත හැකි ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට පියවර ගත් එරට රජය, ව්‍යාපාරික හා කාර්යාල පැවැත්වෙන පැය ගණන අඩු කළේ ය.
තවත් පියවරක් ලෙස පොහොර කර්මාන්ත ශාලා වසා දමා ඒවායේ ගෑස් සැපයුම ඍජුව ම විදුලි උත්පාදන බලාගාර වෙත යොමු කිරීමට බංගලාදේශය කටයුතු කර තිබේ.
'ආර්ථිකය අඩු ම ගාණේ 20%ක් ඔන්ලයින් ගන්න'
ඇමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව ඇතිව තිබෙන ඉන්ධන හා බලශක්ති අර්බුදය හමුවේ බොහෝ රටවල භාණ්ඩ සහ සේවාවල මිල ගණන් ද ඉහළ යමින් පවතින බව දැක ගත හැකි ය.
මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද? යන්න පිළිබඳව ආර්ථික විශේෂඥයින්ගෙන් කරුණු වීමසීමක් කළෙමු.
ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීම සඳහා මාර්ගගතව අධ්‍යාපන සහ රාජකාරී කටයුතු කිරීම ආරම්භ කළ යුතු බව ය.
"ආර්ථිකය අඩු ම ගාණේ 20%ක් ඔන්ලයින් ගන්න. ඔන්ලයින් වැඩ කරන්න කියලා පෞද්ගලික හා රාජ්‍ය අංශයට ඉල්ලිම් කරන්න. ආරම්භයේදී පුළුවන් පාසල් පද්ධතියෙන්, අවම වශයෙන් බස්නාහිර පළාතේ තියෙන පාසල්වල 6 වසරෙන් උඩ ටික ඔන්ලයින් කරන්න. විශ්වවිද්‍යාල ටික ඔන්ලයින් ගන්න, ටෙක්නිකල් කොලේජ් ඔන්ලයින් ගන්න. ටියුෂන් ටික ඔන්ලයින් කරන්න කියලා ඉල්ලීම් කරන්න. ඒ හරහා සැලකිය යුතු ලෙස ඉන්ධන භාවිතය පහත වැටෙනවා," අධ්‍යාපන කටයුතු මාර්ගගතව සිදු කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් මහාචාර්යවරයා පැවසුවේ ය.
ඔහු පෙන්වා දුන්නේ, පියවරෙන් පියවර මෙම ක්‍රමවේදය අනුගමනය කරමින් අවම වශයෙන් ඉදිරි වසර දෙකක කාලය තුළ ආර්ථික කටයුතුවලින් කොටසක් ඔන්ලයින් ඔස්සේ පවත්වාගෙන යා යුතු බව ය.
"ඉන්ධන ගෙන්වන්න දරන වියදම ලංකාවට දරන්න බැහැ. මේ විදියට ඉන්ධන වියදම දරනකොට ප්‍රවාහන පද්ධතිය කඩා වැටිලා, වාහන ඕනවට වඩා වැඩි වෙලා එහෙම එන්නේ," ඔහු පවසයි.
පොදු ප්‍රවාහනයේ දියුණු වීමක් නොපෙනන බවත්, ඒ සඳහා දැනෙන ආකාරයේ මැදිහත් වීමකට රජයට ආර්ථික ශක්තියක් නොමැති බවත් මහාචාර්යවරයා පැවසීය.
දර ලිපෙන් විදේශ විනියම ඉතුරු කිරීම
එමෙන් ම, නගරබදව ගෑස් භාවිතය වැඩි වශයෙන් පවතින බැවින් දර භාවිත කළ හැකි ගම්බද ප්‍රදේශවල ගෑස් සීමා කිරීම ද එක් විසඳුමක් ලෙස මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ යෝජනා කරයි.
"ගෑස් පරිභෝජනය මෙහෙ ප්‍රමෝට් කළා, විශාල විදිහට දර දුම හොඳ නෑ පෙනහැල්ලට කියලා. මිනිස්සු ඔක්කොම ගියා ගෑස් පාවිච්චි කරන්න. අවසාන ප්‍රතිඵලේ දර ටික දිරලා යනවා පොළොවට. විදේශ විනිමය දාලා ගෑස් ගේන්න සිද්ධ වෙලා තියෙනවා," ඔහු පවසයි.
'වාහන මිනිස්සුන්ගේ අවශ්‍යතාවට ගෙනාපුවා නෙමෙයි'
වාහන ආනයනයට රට විවෘත කිරීමත් සමග අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා වාහන ආනයනය කිරීම ද අර්බුදයට හේතුවක් වූ බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
ඔහු පවසන්නේ, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉල්ලිම් කිරීමෙන් පසුව වාහන ගෙන්වීමේ ක්‍රමවේදයක් පැවතිය යුතු බව ය.
"ආර්ථිකයේ ඉන්න පාර්ශව කිහිපයක් එකතු වෙලා මෙච්චර අමාරුවෙන් එකතු කර ගත්ත විදේශ විනිමය ටික කාර් ගේන්නයි සුඛෝපභෝගී භාණ්ඩ ගේන්නයි වියදම් කළේ. ඒ ගෙනාපු වාහනවලින් විශාල ප්‍රමාණයක් මිනිස්සුගේ අවශ්‍යතාවට ගෙනාපුවා නෙමෙයි. ෂෝ රූම්වලයි, සේල්වලයි තියෙන්නේ," ඔහු පවසයි.
"මිනිස්සු පාරේ යනකොට හිතෙන්නේ නෑනේ වාහනයක් මම ගන්න ඕනේ, වාහනයක් අරගෙන යන්න ඕනේ කියලා. එහෙම නැති නම් අනිත් සුඛෝපභෝගී දේවල් යන ගමන් අරගෙන යන්න ඕනේ කියලා හිතෙන්නේ නෑනේ. ඕඩර් එකක් දීලා ඒකට අනුව ආනයනය කරන්න ඉඩ දෙන්න," යැයි මහාචාර්යවරයා කියා සිටියේ ය.
මේ නිසා විදේශ විනිමය අවම වීම තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ වැනි දේ සඳහා සමාන්‍ය ජනතාවට වැඩි මිලක් ගෙවීමට සිදුව ඇති බව ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ අවධාරණය කළේ ය.