කැරපොතු ජනතා පක්ෂය: ඉන්දීය දේශපාලනයේ අලුත් ම සංකේතය - කැරපොත්තා

    • Author, සෝයා මටීන්
    • වාර්තාකරණය, Delhi දිල්ලියේ සිට
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ඉන්දියානු දේශපාලනයට අසාමාන්‍ය සලකුණක් පැමිණ තිබේ. ඒ කැරපොත්තා ය.

එය ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ (BJP) නෙළුම් හෝ විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ අත ලකුණ මෙන් නොවන අතර, මැරීමට අසීරු, අප්‍රිය කෘමියෙකු ලෙස සැලකෙන කැරපොත්තා ඉන්දීය තරුණයින් අතර ඔන්ලයින් ලෝකයේ අනපේක්ෂිත නමුත් සම්බන්ධතාවක් සහිත දේශපාලන සංකේතයක් බවට පත්වී තිබේ.

ඉන්දියාවේ අගවිනිසුරු සූර්ය කාන්ත් විසින් කරන ලද මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව මෙම කෘමියා පසුගිය සතියේ අවධානයට යොමු විය. නඩු විභාගයකදී, අගවිනිසුරුවරයා විසින් පුවත්පත් කලාව සහ ක්‍රියාකාරීත්වයට ඇතුළු වන රැකියා විරහිත තරුණයින් කැරපොත්තන් සහ පරපෝෂිතයන් සමග සංසන්දනය කළ බව සඳහන් වේ.

තමා සඳහන් කරන්නේ, "ව්‍යාජ සහ ව්‍යාජ උපාධි" ඇති පුද්ගලයින් ගැන පමණක් බවත්, පොදුවේ සියලු තරුණයින් නොවන බවත් පසුව ඔහු පැහැදිලි කිරීමක් කරමින් පැවසුවේ ය.

නමුත්, ඒ වන විටත් කෝපයෙන් සහ සමච්චල්සහගත අයුරින් ඒ පිළිබඳව ඉන්ටර්නෙට් ඔස්සේ පුළුල් ලෙස අදහස් පළවී තිබූ අතර, "කැරපොතු ජනතා පක්ෂය" (CJP) නමින් හාස්‍යජනක දේශපාලන ව්‍යාපාරයක නැගිටීමක් ඇති කළේ ය.

එය සැබෑ දේශපාලන පක්ෂයක් නොවන අතර, එහි "සාමාජිකයින්" රැකියා විරහිත, කම්මැලි, සැමවිට ම මාර්ගගත සහ වෘත්තීයමය වශයෙන් පැමිණිලි කිරීමට දක්ෂ බවට හඳුන්වා දී ඇති උපහාසාත්මක සමූහයකි.

එය නිර්මාණය කරන ලද්දේ, බොස්ටන් විශ්වවිද්‍යාලයේ දේශපාලන සන්නිවේදන උපාය මාර්ගිකයෙකු සහ ශිෂ්‍යයෙකු වන අභිජීත් ඩිප්කේ විසිනි. ඔහු පවසන්නේ, මෙම අදහස උපහාසයක් ලෙස සිය සිතට පැමිණි බව ය.

ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට පෙර, ඔහු දූෂණ විරෝධී ව්‍යාපාරයකින් මතු වූ සහ ශක්තිමත් සමාජ මාධ්‍ය පැවැත්ම සඳහා ප්‍රසිද්ධියට පත්වූ දේශපාලන පක්ෂයක් වන ආම් ආද්මි පක්ෂය (AAP) සමග කටයුතු කළේ ය.

"අපි හැමෝම එකට එකතු වෙලා වේදිකාවක් නිර්මාණය කළ යුතු යි කියලා මම හිතුවා," ඔහු බීබීසී මරාති සේවයට පැවසීය.

ඉන්පසු සිදුවූ දෙය ඔහු අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බොහෝ විශාල විය.

දින කිහිපයක් ඇතුළත, CJP හෙවත් කැරපොතු ජනතා පක්ෂයට ගූගල් අයැදුම් පත් හරහා දස දහස් ගණනක් සාමාජිකත්වය ලබා ගත්හ. #MainBhiCockroach ("මමත් කැරපොත්තෙක්") යන හෑෂ් ටැගය ද අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වී ගිය අතර, විපක්ෂ නායකයින් ද එම ව්‍යාපාරයට සහයෝගය දැක්වීය. පසුව මෙම ව්‍යාපාරය සමාජ මාධ්‍යවලින් ඔබ්බට ගිය අතර, තරුණ ස්වේච්ඡා සේවකයින් පිරිසිදු කිරීමේ වැඩසටහන්වලදී සහ විරෝධතාවලදී කැරපොත්තන් ලෙස සැරසී ආඩම්බරයෙන් එම සංකේතය වැළඳ ගත්හ.

බ්‍රහස්පතින්දා, කැරපොතු ජනතා පක්ෂයේ (CJP) ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සාමාජිකයින් මිලියන 10 ඉක්මවා ගිය අතර, එය සාමාජිකයින් මිලියන 8.7ක් පමණ සිටින භාරතීය ජනතා පක්ෂයේ නිල ගිණුම අභිබවා ගියේ ය. සාමාජිකත්වය අනුව ලොව විශාලතම දේශපාලන පක්ෂය ලෙස භාරතීය ජනතා පක්ෂය (BJP) හඳුන්වනු ලැබේ.

කෙසේ වෙතත්, අනුගාමිකයින් 200,000කට වඩා සිටින එහි X ගිණුම දැනට ඉන්දියාව තුළ අවහිර කර ඇත. එයට ප්‍රවේශ වීමට උත්සහ කරන පරිශීලකයින්ට "නීත්‍යනුකූල ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්" ගිණුම අත්හිටුවා ඇති බව පවසන පණිවිඩයක් දර්ශනය වේ.

නමුත් ව්‍යාපාරය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී.

බොහෝ දෙනෙකු විශ්වාස කරන පරිදි ඕනෑවට වඩා පාලනයක් සහිත සහ විවේචන නොඉවසන දේශපාලන පක්ෂ ඇති පසුබිමක මෙම ව්‍යාපාරය "නැවුම් හුස්මක්" බව ආධාරකරුවෝ පවසති. එයට සහය දක්වන්නන් අතර මහුවා මොයිත්‍රා සහ කීර්ති අසාද් වැනි විපක්ෂ දේශපාලනඥයින් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රශාන්ත් භූෂන් ද සිටිති.

කෙසේ වෙතත්, විචාරකයින් පවසන්නේ, මෙම ව්‍යාපාරය විපක්ෂයට සම්බන්ධ වූ ඉන්ටර්නෙට් හරහා සිදු කරන දේශපාලන නාටකයක් බව ය. ඔවුන් ඩිප්කේගේ AAP සමග අතීත සම්බන්ධතාව ඉස්මතු කර පෙන්වන අතර එය හදිසියේ ගොඩනැගුණු කැරැල්ලක් නොව ප්‍රවේශමෙන් සැලසුම් කළ ඩිජිටල් ව්‍යාපාරයක් බව තර්ක කරති.

ක්ෂණික ප්‍රතිචාරවලට අමතරව, මෙම ව්‍යාපාරය බොහෝ තරුණ ඉන්දියානුවන් අතර වර්ධනය වන කලකිරීම පිළිබිඹු කරයි. ඔවුන් පවසන්නේ, ඔවුන් ඉන්ටර්නෙට් හරහා දේශපාලනයට නිරාවරණය වන නමුත් එහි නියෝජනයක් පෙනෙන්නට නැති බව ය.

ලෝකයේ වැඩි ම ළාබාල ජනගහනයක් සිටින රට ඉන්දියාව වන අතර, එහි බිලියන 1.4කට ආසන්න ජනගහනයෙන් අඩක් පමණ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෝ වෙති. එහෙත් තරුණයින් අතර විධිමත් දේශපාලන සහභාගීත්වය සීමිත ය.

මෑත කාලීන සමීක්ෂණයකින් හෙළි වූයේ, තරුණ ඉන්දියානුවන්ගෙන් 29%ක් දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටින අතර, 11%ක් පමණක් දේශපාලන පක්ෂයක සාමාජිකයින් බව ය.

"තමන්ට ඇහුම්කන් නොදෙන බව හෝ නියෝජනය නොවන බව දැනෙන නිසා මිනිසුන් කලකිරීමට පත්වෙලා ඉන්නේ," ඩිප්කේ පැවසීය.

දකුණු ආසියාව පුරා, මෑත වසරවලදී ශ්‍රී ලංකාව, නේපාලය සහ බංග්ලාදේශය වැනි රටවල තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතා දක්නට ලැබිණි. මෙම ව්‍යාපාර බොහෝවිට රැකියා, මිල ඉහළ යාම් සහ අනාගත අවිනිශ්චිතභාවයන් පිළිබඳ වන කලකිරීම් නිසා සිදු විය.

වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් පැවතිය ද රැකියා, අසමානතාව හෝ ජීවන වියදම ඉහළ යාම පිළිබඳ කනස්සල්ලෙන් අඩුවක් නැත.

වැඩිහිටි වියට පා තබන බොහෝ දෙනෙකුට, අධ්‍යාපනය තවදුරටත් ස්ථාවරත්වය සහතික නොකරන අතර, ඉහළට ගමන් කිරීමේ පොරොන්දුව වඩාත් බිඳෙනසුලු බවක් ගෙන දෙයි.

නේපාලය හෝ ශ්‍රී ලංකාව වැනි රටවලට වඩා ඉන්දියාව වෙනස් බව ඩිප්කේ පවසන අතර, එම විරෝධතා සමග සැසඳීම ඔහු ප්‍රතික්ෂේප කරයි. නමුත් ඉන්දියාවේ තරුණයින් තවමත් කලකිරීමට පත්ව සිටින බව ඔහු පවසයි.

"Gen Z පරම්පරාව සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ගැන තියෙන්නේ අඩු උනන්දුවක්. ඔවුන්ට තේරෙන ආකාරයට තමන්ගේ ම කියා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට අවශ්‍ය වෙලා තියෙනවා," ඔහු පැවසීය.

කැරපොතු ජනතා පක්ෂය (CJP) වෙබ් අඩවිය මෙම සංවේදීතාව තේරුම් ගෙන ඇති අතර, දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවීමට අඩුවෙන් සහ ඉන්ටර්නෙට් ඔස්සේ නිර්මාණය වූවක් ලෙස නිර්මාණය කර තිබේ.

තමන් "කම්මැලි සහ රැකියා විරහිතයන්ගේ හඬක්" සහ "අනුග්‍රාහකයින් නොමැති" සහ "එක් මුරණ්ඩු පිරිසක්" සිටින ව්‍යාපාරයක් බවට විස්තර කරන අතර, "සියල්ල හොඳින් ඇති බව මවාපාමින් වෙහෙසට පත්ව සිටින" පුද්ගලයින් වෙනුවෙන් වන ව්‍යාපාරයකට එක්වන ලෙස ජනතාවට ආරාධනා කරයි.

එයට ව්‍යාජ ආකෘති, හිතාමතා ම රළු නිර්මාණ සහ විධිමත් සංවිධානයකට වඩා අභ්‍යන්තර සරදමක් ලෙස හැඟෙන විලාසයක් එහි ඇතුළත් වේ.

නමුත් හාස්‍යය පිටුපස වගවීම, මාධ්‍ය ප්‍රතිසංස්කරණ, සාධාරණ මැතිවරණ සහ කාන්තාවන් සඳහා වඩා හොඳ නියෝජනයක් වැනි බරපතළ දේශපාලන අදහස් ඇත. මේවා නරක පුවත් ස්ක්‍රෝල් කරමින් කියවීම, විරැකියාව සහ දේශපාලනය ගැන වෙහෙසට පත්වීම පිළිබඳ උපහාසයන් සමග මිශ්‍ර වේ.

හාස්‍යය සහ බැරෑරුම්කම මිශ්‍ර වීම එය ජනප්‍රිය කරවන දෙයෙහි කොටසකි. හාස්‍ය ඇති වන්නේ රැකියා, අසමානතාව, දූෂණය සහ දේශපාලනයෙන් විසන්ධි වූ හැඟීම පිළිබඳ සැබෑ කලකිරීම් ඒවායින් පිළිබිඹු වන බැවිනි.

බොහෝ පුද්ගලයින් පවසන්නේ, සංකේතය තේරීම ද අර්ථවත් බව යි. කැරපොත්තා වීර හෝ ආස්වාදජනක සංකේතයක් ලෙස නොසැලකේ, නමුත් එය දැඩි, අනුවර්තනය විය හැකි සහ ඉතා දුෂ්කර තත්ත්වයන් තුළදී පවා දිවි ගලවා ගැනීමට හැකියාව ඇති කෘමියෙකුගේ සංකේතයකි.

ඇත්ත වශයෙන් ම, හාස්‍යය සහ දේශපාලනය මේ ආකාරයෙන් මිශ්‍ර කිරීම අලුත් දෙයක් නොවේ.

ඉතාලියේ, විකට නළු බෙපේ ග්‍රිලෝ තරු පහේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හාස්‍යය භාවිත කළේ ය. යුක්රේනයේ, වොලොදිමීර් සෙලෙන්ස්කි රූපවාහිනියේ ජනාධිපතිවරයෙකු ලෙස රඟපෑමේ සිට සැබෑ ජනාධිපති බවට පත් විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඩොනල්ඩ් ට්‍රම්ප් යුගය දේශපාලනය එතරම් අසාමාන්‍ය වී ඇත්දැයි ජනතාව ප්‍රශ්න කිරීමට හේතු වී ඇති අතර, උපහාසය තවදුරටත් යථාර්ථයට වඩා වෙනස් නොවේ.

ඉන්දියාවේ මෙම ක්‍රියාකාරකම් ඉන්ටර්නෙට් ඔස්සේ වැඩි වශයෙන් සිදු වන අතර, කෘමියෙකු තේමා කර ගත් එය හාස්‍ය ජනක පෝස්ට්, හෑෂ් ටැග්, දැන්වීම් සහ හාස්‍යය වටා ගොඩනගා ඇත.

මුලින් ම බැලූ බැල්මට එය අසාමාන්‍ය ලෙස පෙනුණ ද, ඉන්දියානු දේශපාලනය තුළ එය සම්පූර්ණයෙන් ම නුහුරු දෙයක් නොවේ.

හිමාලයානු ගුහාවල භාවනා කිරීමේ සිට මන්ත්‍රීවරුන් හෝටල්වලට ගෙන යන හෝ බස් රථවල එහා මෙහා යන සිදුවීම් අතරතුර පක්ෂ මාරු කිරීම ඇතුළුව ඉන්දියාවේ දේශපාලනඥයන් දිගු කලක සිට අවධානය ආකර්ෂණය කර ගැනීම සඳහා නාටකකාරී ක්‍රියා භාවිත කර ඇත.

හැකිතාක් පුද්ගලයින් වෙත ළඟා වීම සඳහා ඉන්ටර්නෙට් ඔස්සේ ක්‍රියාත්මක වන ව්‍යාපාර බොහෝවිට සැලසුම් කළ වෛරල් වීඩියෝ සහ කෙටි, ආකර්ෂණීය සටන් පාඨ භාවිත කරයි.

එවැනි සන්දර්භයක් තුළ, කෘමීයෙකු තේමා කර ගත් දේශපාලන ව්‍යාපාරයක් එතරම් අමුතු දෙයක් ලෙස නොපෙනේ.

එය මෙතරම් වේගයෙන් ව්‍යාප්ත වීමට හේතුව ද එය පැහැදිලි කරයි. ඒ තරුණ ඉන්දියානුවන්ට අනිවාර්යයෙන් ම නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය නිසා නොව, බොහෝ දෙනෙකු තම කලකිරීම ප්‍රකාශ කිරීමට ක්‍රමයක් සොයන නිසා ය.

"මම හිතන්නේ CJP ආරම්භය විතර යි, තරුණයින් වත්මන් දේශපාලන ක්‍රමය ගැන වෙහෙසට පත්ව සිටිනවා. තවත් තරුණ කණ්ඩායම් ඉදිරියට එමින් සිටිනවා," ඩිප්කේ පැවසීය.

කෙසේ වෙතත්, තවත් පිරිසකට එය වඩාත් සැක සහිත ය. ඔවුන් පවසන්නේ, පක්ෂය මතු වූ විගස යළි මැකී යාමට ඉඩ ඇති බව ය.

කෙසේ වෙතත්, කැරපොතු ජනතා පක්ෂය (CJP) ඉන්දියානු දේශපාලනයේ අසාමාන්‍ය දෙයක් කර ඇත. එය කෙටි කාලයක් තුළදී ඇතැම් තරුණයින් තුළ විශ්වාසයක් ගොඩනගා ඇත.

අතීතයේදී, තරුණයින්ගේ දේශපාලන ආවේගය විධිමත් ප්‍රකාශන පත්‍රිකාවලට හේතු විය. 2026 දී, එය ඇතැම්විට කෘමි වෙස් මුහුණු සහිත මතවාදී දේශපාලන කණ්ඩායම්වලට මග පාදයි.

අතිරේක වාර්තාකරණය: බීබීසී මරාති සේවයේ අෂේ යෙජ්