ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෝඨාභයගේ රිට් පෙත්සම: අධිකරණයේදී අද හෙළිවූ අලුත් කරුණු මොනවා ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (ජූනි 24) දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලිණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු කෙරිණි.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම, හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කොමිසම මෙන් ම අදාළ ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන වාර්තාවල කිසිදු ස්ථානයක පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් කර නොමැති බව පැවසීය.
ඊට අමතරව, පාස්කු ප්‍රහාරයට අදාළව රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙනු ලැබ ඇති නඩු තීන්දුවේ ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් එක් වචනයක් හෝ සඳහන් කර නොතිබූ බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
'වගකීම් විරහිතව කටයුතු කළ අය ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සූදානම් වනවා'
පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව 2017 වසරේ සිට බුද්ධි අංශ දැනුවත් කිරීම් සිදු කර තිබූ අතර සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශන ගොනුවක් පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබ තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එහෙත් ඊට අදාළව කිසිදු විමර්ශනයක් සිදු නොකළ බවත් අවධාරණය කළේ ය.
එසේ වගකීම් විරහිතව කටයුතු කළ අය වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට ජනාධිපති නීතිඥවරයා එහිදී චෝදනා කළේ ය.
පාස්කු ප්‍රහාරය පිළිබඳව ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ද විමර්ශනයක් සිදු කළ අතර එම ආයතනයේ විමර්ශන නිලධාරීන් 33 දෙනෙකු මෙරටට පැමිණ විමර්ශන කළ බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.
විශේෂයෙන් ම සාක්ෂි සටහන් කර ගැනීම, ඩිජිටල් සාක්ෂි රැස් කිරීම වැනි අංශ සම්බන්ධයෙන් ඔවුන් විමර්ශනය කළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන සීමිත විරෝධතා සමග වග උත්තරකරුවන් අසාද් මවුලානා නමැත්තාගේ ප්‍රකාශයේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ සමග ඡායාරූප කිහිපයක් ද ඉදිරිපත් කර ඇති බව ය.
පිල්ලෙයාන් සහ කරුණා යන පාර්ශව සමග සිය සේවාදායකයා දේශපාලන කටයුතුවල නිරත වූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම ඡායාරූප දේශපාලන රැස්වීමකදී ගනු ලැබූ ඡායාරූප බවත් දේශපාලන කටයුතුවල නිරත වීමේදී මෙවැනි ඡායාරූප ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවත් සඳහන් කළේ ය.
ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, මේ ක්‍රියාව තුළින් පෙත්සම්කරු පාස්කු ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බවට සැක කළ නොහැකි බව ය.
නීතිපති දෙපාර්තමේන්තුව මෙම ඡායාරූප ඉදිරිපත් කළේ, මුළුමනින් ම ද්වේෂසහගතව මෙන් ම වංක චේතනාවකින් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ ය.
'අසාද් මවුලානා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දූෂිත බවට චෝදනාවක් කර තිබෙනවා'
අසාද් මවුලානා යනු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට පලා ගොස් ජීවත් වන පුද්ගලයෙකූ වන අතර, එම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශය හරහා මෙරට අධිකරණ පද්ධතිය පහළ සිට ඉහළට ම දූෂිත බවට බරපතළ චෝදනාවක් එල්ල කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
මෙම පුද්ගලයා විසින් ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, මිනීමැරුම්, පැහැර ගෙන යාම් වැනි අපරාධ සියල්ල රාජපක්ෂවරුන් මත පැටවිමට ක්‍රියා කර ඇති අතර, මෙවැනි පුද්ගලයෙකු ලබා දී ඇති ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගන්නේ කෙසේ දැයි නීතිඥවරයා ප්‍රශ්න කළේ ය.
පිල්ලයාන්ගේ ටී.එම්.වී.පී. පක්ෂය අපරාධ රාශියකට සම්බන්ධ බවට අසාද් මවුලානා ප්‍රකාශ කර තිබුණ ද ඔහු පිල්ලයාන්ගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබෙන බව ද නීතිඥවරයා පැවසීය.
ඉන්පසුව, මෙම පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 06 වන දා සහ 09 වන දාට කල් තැබිණි.
පෙත්සම් විභාගයේ පළමු දිනයේදී සිදුවූයේ කුමක් ද?
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම ජූනි 18 වන දා අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලේ.
'පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම දඬුවමක් නොවිය යුතුයි'
මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන් ම පුද්ගල නිදහස අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බව ය.
එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවල බවත් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා නීතියෙන් අවසර හිමි වී තිබෙන්නේ සීමිත අවස්ථාවල පමණක් යැයි පැවසූ ජනාධිපති නීතිඥවරයා පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම දඬුවමක් නොවිය යුතු බව ද සඳහන් කළේ ය.
සිය සේවාදායකයා කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු අදාළ විමර්ශනයේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල කර නොමැති බව ද සඳහන් කළේ ය.
කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වගඋත්තරකරුවන් සිය සේවා දායකයාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබෙන බව පැවසූ ජනාධිපති නීතිඥවරයා, පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශනයකින් කටයුතු කර තිබෙන බවට චෝදනා කළේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවා දායකයා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට ඇප ලබා ගැනීමට තිබෙන නිදහස අහිමි කෙරෙන අතර පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
විනිසුරුවරයෙකුගෙන් ප්‍රශ්නයක්
යම් විමර්ශනයක් පැය 24ක් තුළ අවසන් කිරීමට නොහැකි අවස්ථාවක "මෙවැනි නීතිමය ප්‍රතිපාදන භාවිත කිරීම සිදු වනවා නේ ද?" යනුවෙන් මෙහිදී විනිසුරු සරත් දිසානායක ප්‍රශ්නයක් මතු කළේ ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ, පුද්ගල නිදහස අහිමි කිරීම සඳහා එවැනි අණ පනත් භාවිත කිරීමට හැකියාවක් නොමැති බව ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කොමිසම විසින් දින 214ක් තුළ පුද්ගලයින් 257 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගෙන තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා තවදුරටත් කරුණු දක්වමින් පැවසීය.
ඊට අදාළව එම කොමිසම විසින් වෙළුම් හයකින් යුත් වාර්තාවක් ඉදිරිපත් කළ බවත් එහි කිසිදු ස්ථානයක මෙම පෙත්සම්කරු ගැන සඳහන් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
තව ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජයිකි ද අල්විස් කොමිසම විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස නිර්දේශ කර තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.
'නීතිපති දෙපාර්තමේන්තුව ද අසරණ වෙලා'
ඊට අමතරව 2018 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය පිටුපස විදේශීය ත්‍රස්ත සංවිධානයක මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබියදී ජාත්‍යන්තර පොලිසියේ සහය ලබාගෙන ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර කටයුතු නොකළ බවට ද ඔහු චෝදනා කළේ ය.
ඒ සම්බන්ධයෙන් ඔහු නොසැලකිල්ලෙන් කටයුතු කළ බවට තවදුරටත් චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා එවැනි අයෙකු සිය සේවා දායකයා අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බව ද පැවසීය.
එවැනි පුද්ගලයෙකු වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරමින් පාස්කු ප්‍රහාර විමර්ශනය මෙහෙය වීම ගැටලුසහගත තත්ත්වයක් බවත් මෙවැනි පුද්ගලයෙකු විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කරන බවත් එහිදී නීතිපති දෙපාර්තමේන්තුව ද අසරණ වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.
'එය ජනමාධ්‍ය ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රකාශයක්'
එම අවස්ථාවේදී නැගී සිටි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂී හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ, උගත් ජනාධිපති නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව රූකඩයක් ලෙස හඳුන්වා දීමට උත්සහ කරන බවත් එය හුදෙක් ම ජනමාධ්‍ය ඉලක්ක කරගෙන සිදු කරන ප්‍රකාශයක් බවත් චෝදනා කළා ය.
එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා තමා කිසිදු අවස්ථාවකට නීතිපතිවරයාට චෝදනා නොකරන බව සඳහන් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය පෙන්වා දුන් බව පැවසීය.
ඉන් අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන 24 වන දා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළේ ය.