සමාජ මාධ්‍යවල පළ කෙරෙන ප්‍රවෘත්ති සහ දේශපාලන සටහන් නියාමනය කිරීමට ඉන්දියාව සැරසෙයි

Sandeep Singh, an X user, holds up a placard saying 'Restore my X account. Stop silencing voices. Democracy under attack' on a street in India

ඡායාරූප මූලාශ්‍රය, Sandeep Singh

ඡායාරූප ශීර්ෂ වැකිය, මාර්තු මාසයේදී ඉන්දීය රජය විසින් අවහිර කරන ලද සමාජ මාධ්‍ය ගිණුම් අතර සන්දීප් සිංගේ X ගිණුම ද විය
    • Author, චෙරිලන් මෝලන් සහ උමන් පෝඩර්
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඉන්දීය රජය ෆේස්බුක්, යූ ටියුබ් සහ X වැනි සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කරන ජනප්‍රිය පුද්ගලයන් සහ පොඩ්කාස්ටර් වැඩසටහන් පවත්වන අය ඇතුළුව තවත් අන්තර්ජාල ප්‍රවෘත්ති බෙදාහරින්නන් නියාමනය සඳහා එහි නීති පුළුල් කිරීමට යෝජනා කර ඇත.

පසුගිය සතියේ, ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MeitY) රටේ තොරතුරු තාක්ෂණ නීති සංශෝධනයට යෝජනා කළේ ය. මෙම නීති ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතය පාලනය කිරීම සඳහා ය. ලියාපදිංචි ප්‍රකාශකයින් නොවන නමුත් ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් අන්තර්ගතයන් බෙදා ගන්නා පරිශීලකයින් නියාමනය යෝජනාවේ අරමුණයි. ලියාපදිංචි ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ට අදාළ වන "ආචාර ධර්ම පද්ධතිය" අනුගමනය කිරීමට ඔවුන්ට සිදුවනු ඇත.

විශේෂඥයින් පවසන්නේ, මෙය ස්වාධීන මාධ්‍යවේදීන් සහ පොඩ්කාස්ට් වැඩසටහන් පවත්වන අය ඇතුළු සාමාන්‍ය පරිශීලකයින් විසින් බෙදා ගන්නා ප්‍රවෘත්ති ආශ්‍රිත සටහන් කෙරෙහි රජයට වැඩි පාලන බලයක් ලබා දිය හැකි බව යි.

සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පරිශීලකයන් පළ කරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් එම ආයතනවලට හිමිවන නීතිමය මුක්තිය පවත්වා ගැනීමට නම්, රජයේ නියෝග සහ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවට රජය යෝජනා කර ඇත.

යෝජිත සංශෝධන, ඩිජිටල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ ස්වාධීන පුවත් නිර්මාණකරුවන් තැතිගන්වා ඇති අතර, ඔවුන් පවසන්නේ රජය විසින් මෙහෙයවන වාරණයක් සමාජ මාධ්‍ය වේදිකා හරහා ක්‍රියාත්මක විය හැකි බව යි. එමෙන් ම ඔවුන් අනතුරු අඟවා ඇත්තේ විවේචකයන් ඉලක්ක කිරීමට සහ විරුද්ධ මතධාරීන් මර්දනය කිරීමට මෙම නීති අවභාවිත කළ හැකි බවට යි.

රජය පවසන පරිදි මෙම සංශෝධන මගින් පවතින තොරතුරු තාක්ෂණ නීති ශක්තිමත් කරන අතර ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ 'ඩීප්ෆේක් මැඩපැවැත්වීමට කටයුතු කරන අතර, මේ පිළිබඳ මහජන අදහස් දැක්වීම සඳහා අප්‍රේල් 14 දක්වා කාලය ලබා දී ඇත.

නමුත් රජයේ මෙම ප්‍රකාශිත අරමුණු පිළිබඳව විවේචක‍යෝ සැක පළ කරති.

ග්‍රාහකයින් මිලියන හයකට අධික පිරිසක් සිටින "The Deshbhakt" නමැති යූටියුබ් නාලිකාව පවත්වා ගෙන යන ආකාශ් බැනර්ජි පවසන්නේ, මෙම නීති මගින් භීතිය සහිත වාතාවරණයක් නිර්මාණය කිරීමට සහ බොහෝ නිර්මාණකරුවන් ස්වයංවාරණයකට යොමු කිරීමේ හැකියාව පවතින බව යි.

"සිත්ගන්නා සුළු කරුණ වන්නේ ඔන්ලයින් අන්තර්ගතයන් නියාමනය කරන නීති බොහෝමයක් තිබියදී පවා රට තුළ වෛරී ප්‍රකාශ සහ ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම්වල කිසිම අඩුවක් සිදුවෙලා නැහැ. මේ අතරේ, රජය විවේචනය කරමින් පළ කරන පෝස්ට් ඒවායෙන් ඇතැම් ඒවා උපහාසාත්මක වුවත් ඒවා අවහිර කිරීම හෝ ඉවත් කිරීම ඉහළ යමින් පවතිනවා" බැනර්ජි පවසයි. බලධාරීහු චෝදනාව ප්‍රතික්ෂේප කරති.

Indian Prime Minister Narendra Modi has changed his name on Social Networking sites as Chowkidar Narendra Modi , on March 17, 2019.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රජය විසින් විරුද්ධ මත සීමා කිරීම සඳහා නව නීති අනිසි ලෙස භාවිතා කළ හැකි බවට අන්තර්ජාල අයිතිවාසිකම් ක්‍රියාකාරීහු කනස්සල්ලට පත්ව සිටිති.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත් පසුගිය මාසයේදී, ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ පනතේ 69(අ) වගන්තිය යටතේ පවතින නියෝග අනුව ක්‍රියාත්මක වෙමින් රජය පිළිබඳ උපහාසාත්මක පෝස්ට් පළ කළ බවට හඳුනාගෙන තිබූ ගිණුම් රැසක් X සමාජ මාධ්‍යය මගින් අවහිර කළේ ය.

අනුගාමිකයින් 242,000ක් පමණ සිටින @Nehr_who? නමැති X ගිණුම පවත්වා ගෙන යන කුමාර් නායන් බීබීසී පුවත් සේවයට පැවසුවේ එම ගිණුම අවහිර කිරීම සම්බන්ධයෙන් තමන් වෙත පූර්ව දැනුම්දීමක් හෝ කරුණු පැහැදිලි කිරීමක් නොලැබුණු බව යි.

නයාන් පැවසුවේ අධිකරණ නියෝගයක් මගින් මෙම සතියේදී තම ගිණුම යථා තත්ත්වයට පත් වූ නමුත්, රජය විසින් පත් කරන ලද මණ්ඩලයක් විසින් සමාලෝචනය කරන තෙක් එහි තිබූ පළ කිරීම් 10 ක් තවමත් ඉන්දියාව තුළ අවහිර කර ඇති බව යි. බීබීසී පුවත් සේවය මගින් එම පළ කිරීම් නිරීක්ෂණය කර ඇති අතර ඒ සියල්ල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමච්චලයට ලක් කරන හෝ ඔහුගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ රජය විවේචනය කරන ඒවා ය.

"සිහිබුද්ධිය තියෙන කිසිම කෙනෙක් කියන්නේ නෑ මේ පෝස්ට් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරනවා හෝ, වාර්ගික සමගියට බාධාවක් එල්ල කරනවා කියලා. මේවා නිකම් විහිළුවට හදපු පෝස්ට්, ඉතින් රජයට මේවා ඉවත් කිරීමට ඕන වෙලා තියෙන්නේ ඇයි?" නයාන් විමසයි.

එමෙන් ම ඔහු පැවසුවේ අධිකරණයේදී නියෝගයට අභියෝගයට ලක් කිරීමෙන්, ඔහුගේ අනන්‍යතාවය දැන් ප්‍රසිද්ධ වී ඇති බව සහ ඒ ඔස්සේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල මතුවෙමින් පවතින බව යි.

"ඒක දෙපැත්ත කැපෙන කඩුවක් වගේ, සමාජ මාධ්‍ය මගින් සපයන නිර්නාමිකභාවය මට අහිමි වී වෙලා, නමුත් එය අකටයුතු හෙළි කරන්නන් සහ විවේචකයින් තර්ජන සහ හිරිහැර වලින් ආරක්ෂා කරන දෙයක්," ඔහු පවසයි.

අනන්‍යතාව ප්‍රසිද්ධියට පත්වූ දා සිට නයාන් සිය පදිංචිය වෙනස් කර තිබේ.

මේ පිළිබඳ ප්‍රශ්න ඇතුළත් ලැයිස්තුවක් බීබිසී පුවත් සේවය ඉන්දීය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය වෙත යවා ඇත.

මේ අතර, මෑත කාලීනව නිකුත් වූ එක්සත් ජනපද රජයේ වාර්තාවක් පෙන්වා දී ඇත්තේ 2021 වසරේ පටන් එක්සත් ජනපද සමාජ මාධ්‍ය සමාගම් වෙත "දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වී ඇතැයි පෙනෙන්නට තිබෙන ගැටලුවලට සම්බන්ධ අන්තර්ගත සහ පරිශීලක ගිණුම් ඉවත් කිරීම සඳහා යොමුවෙන ඉල්ලීම් වැඩි වෙමින් පවතින," බව යි.

ඩිජිටල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන නිඛිල් පහ්වා පවසන්නේ තොරතුරු තාක්ෂණ නීති සඳහා යෝජිත අදාළ සංශෝධන මගින් රජයේ පවතින "මහා පරිමාණ වාරණ පහසුකම්" තවදුරටත් ශක්තිමත් වන බව යි.

අන්තර්ජාල නිදහස පදනමේ (Internet Freedom Foundation) නිර්මාතෘ අපර් ගුප්තා සමග සම දායකත්වයෙන් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ පළ කළ ලිපියකින් පහ්වා තොරතුරු තාක්ෂණ නීතිවලට 2021දී පසුකාලීනව හඳුන්වා දුන් සංශෝධන මගින් අන්තර්ජාල අන්තර්ගතයන් කෙරෙහි රජයේ පාලනය ව්‍යාප්ත වී ඇති බව සහ පරිශීලකයින්ගේ අයිතිවාසිකම් අවම වී ඇති ආකාරය පෙන්වා දී ඇත.

කතුවරුන්ට අනුව, 2021 සංශෝධනයක් මගින් ඩිජිටල් ප්‍රවෘත්ති ආයතන රජයේ අධීක්ෂණය යටතට ගෙන එන ලදී. 2025 සිදු කළ වෙනසකින් ෆෙඩරල් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ "සහ්යෝග්" ද්වාරය ශක්තිමත් කරන ලද අතර එය මධ්‍යගත වේදිකාවකි. එමගින් ආයතන කිහිපයකට සීමිත විනිවිදභාවයකින් සහ අඩු ආරක්ෂණ ක්‍රමවේදයන් සහිතව සමාජ මාධ්‍ය සමාගම්වලට ඉවත් කිරීමේ දැන්වීම් නිකුත් කිරීමට ඉඩ සලසයි.

Indians surf the internet on their phones at a free wi-fi zone inside a suburban railway station in Mumbai on August 22, 2016.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රවෘත්ති අන්තර්ගතය නියාමනය කිරීම සඳහා "පොදු රාමුවක්" තිබිය යුතු බව රජය පවසා ඇත්තේ, එවැනි අන්තර්ගතයන් තවදුරටත් ප්‍රවෘත්ති ප්‍රකාශකයින් විසින් පමණක් බෙදා නොගන්නා බැවිනි

මෙම මුලපිරීම තොරතුරු තාක්ෂණ පනතේ 69A වගන්තිය යටතේ ෆෙඩරල් රජයට ලබා දී ඇති අවහිර කිරීමේ බලතලවලට වඩා වෙනස්ව, අන්තර්ගතය ඉවත් කිරීම සඳහා සමාන්තර යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරයි.

2026 වසරේ මුල් භාගයේදී නීතිමය සමාලෝචනයක් සඳහා ඇති අවකාශය දැඩි ලෙස සීමා කරමින් රජයේ අවහිර කිරීමේ නියෝග පිළිපැදීම සඳහා සමාජ මාධ්‍ය සමාගම්වලට ලබා දී තිබූ කාලය පැය 36 සිට පැය 3 දක්වා අඩු කෙරෙන පරිදි තොරතුරු තාක්ෂණ නීති නැවත සංශෝධනය කළේ ය.

"ඉන්දියාවේ දිගට ම ව්‍යාපාර කිරීමට අවශ්‍ය සමාජ මාධ්‍ය වේදිකා එම නීති අනුගමනය කරයි. භාෂණය සීමා කර ඇති පුද්ගලයන්ට කිසිදු අනතුරු ඇඟවීමක් හෝ පැහැදිලි කිරීමක් නොලැබෙන අතර නියාමන වේගය හමුවේ නීති පද්ධතියක් තුළ රජය හෝ සමාජ මාධ්‍ය වේදිකා වගකීමට බැඳ තබා ගත නොහැක," පහ්වා සඳහන් කරයි.

ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එස්. ක්‍රිෂ්ණන් තොරතුරු තාක්ෂණ නීති සහ මෑතකදී යෝජනා කරන ලද වෙනස්කම් සාධාරණීකරණය කරමින් පවසා ඇත්තේ තම අමාත්‍යාංශය මගින් නිකුත් කරන මාර්ගෝපදේශ, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව යි.

ඔහු බීබීසී පුවත් සේවයට පැවසුවේ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් සම්බන්ධ අන්තර්ගතයන් තවදුරටත් බෙදා ගනු ලබන්නේ පුවත් ප්‍රකාශකයන් පමණක් නොව සාමාන්‍ය පුරවැසියන් ද වන බැවින්, ඒවා පාලනය කිරීම සඳහා "පොදු ප්‍රතිපත්තියක් හෝ පොදු රාමුවක්" තිබිය යුතු බව යි.

පසුගිය මාර්තු මාසයේදී අවහිර කරන ලද ගිණුම් අතරට අයත් වූ අනුගාමිකයින් ලක්ෂයකට වඩා සිටින @ActivistSandeep යන X ගිණුම පවත්වා ගෙන ගිය සංදීප් සිං පවසන්නේ, ප්‍රධාන පෙළේ මාධ්‍ය භාරතීය ජනතා පක්ෂයට පක්ෂපාතී බවට හැඟීමක් ඇති වූ බැවින් ඔහු විවේචනාත්මක අදහස් පළ කිරීම ආරම්භ කළ බව යි.

මෙම ලිපිය පළ කරන අවස්ථාව වන විටත් සිංට අයත් X ගිණුම ඉන්දියාව තුළ අවහිරව පවතී.

"මම නැගී සිටින්නේ සත්‍ය වෙනුවෙන්. මගේ ගිණුම් හෝ පෝස්ට් අවහිර කිරීමෙන් මම අඛණ්ඩව සත්‍යය පැවසීම නතර කරන්න ලැබෙන්න්නේ නැහැ," සිං බීබීසීයට පැවසීය.

නයාන් පවසන්නේ අවහිර කිරීමේ නියෝගවලට අධිකරණය හමුවේ අභියෝග කිරීමට තමාට හැකියාව තිබුණ ද, සෑම පුද්ගලයෙකුම තම අන්තර්ගතයන් නැවත ලබා ගැනීම සඳහා එතරම් දුරක් ගමන් කිරීමට කැමති නොවනු ඇති බව යි.

"ප්‍රජාතන්ත්‍රවාදය තුළ, යම් සීමාවන්ට යටත්ව තමන්ට අවශ්‍ය දේ කිසිදු බියකින් තොරව පළ කිරීමට ජනතාවට නිදහස තියෙන්න ඕනේ. ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඉතිං එවැන්නක් සිදු කිරීම මෙතරම් අපහසු වෙලා තිබෙන්නේ ඇයි?" ඔහු පවසයි.