IMF ශ්‍රී ලංකාවට දී ඇති අලුත් කොන්දේසි මොනවා ද? ඒවා සපුරාලීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග මොනවා ද?

කෑම පිසින කාන්තාවකගේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස් වන සහ හය වන ඒකාබද්ධ සමාලෝචන පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.

ඒ, ප්‍රධාන කොන්දේසි දෙකක් සපුරාලීමේ පදනම මතයි.

(i) අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කරමින්, පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණ ප්‍රතිස්ථාපනය කිරීම.

(ii) බහුපාර්ශවික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්ව තහවුරු කිරීම සඳහා මූල්‍යන සහතික සමාලෝචනය කිරීම සහ ණය ප්‍රතිවුහගතකරණයේ ප්‍රමාණවත් ප්‍රගතිය තක්සේරු කිරීම.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම සමාලෝචන අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ප්‍රවේශය හිමි වනු ඇත.

එම ණය මුදල ලැබීමෙන් පසු, IMF ණය වැඩසටහන යටතේ මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී ඇති ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යාමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබිම

2025 වසර තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය වාර්ෂික ලක්ෂමය පදනම මත 5%කින් වර්ධනය වී තිබේ.

2026 වසරේ මාර්තු අග වන විට ශ්‍රී ලංකාව සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ලොඩර් බිලියන 7 ඉක්මවා තිබිණි.

උද්ධමනය වාර්ෂික ලක්ෂමය පදනම මද 2.2% දක්වා ඉහළ ගොස් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, මෝටර් රථ ආනයනය මත පැනවූ බදු හේතුවෙන් 2025 වසරේදී රාජ්‍ය මුල්‍ය ක්‍රියාකාරීත්වය ශක්තිමත් මට්ටක පැවතුණු බව ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය හුවමාරුව සාර්ථකව අවසන් කර ඇති අතර, දැනට ඉතිරිව ඇති ද්විපාර්ශවික ගිවිසුම් අවසන් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රගතියක් අත්කර ගැනීමත් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අවසානය කරා ළඟා වී ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන නව අභියෝග මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බලශක්ති මිල ඉහළ යාම, සංචාරකයින් සඳහා වන ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයකට බාධා ඇති වීම මෙන් ම මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට බලපෑම් එල්ල වීම තුළින්, මැද පෙරදිග කලාපයේ ගැටුමෙන් ඇති වන බලපෑම්වලට ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස නිරාවරණය වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මැද පෙරදිග කලාපයේ පවතින යුද්ධමය තත්ත්වයන්, ක්ෂේත්‍ර කිහිපයකින් ශ්‍රී ලංකාවට බලපෑ හැකි ය.

සංචාරකයින් මෙරටට පැමිණීම සැලකිය යුතු ලෙස අඩුවීම ඉන් එක් අභියෝගයකි.

එමෙන් ම මැද පෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයින් සංඛ්‍යාව අඩුවීම සහ දැනට සේවයේ නියුතු පුද්ගලයින්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු නිසා රැකියා අහිමිවීමේ අවදානමක් ද පවතී.

මෙම කරුණු විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඉදිරියේදී පහත වැටීමට හේතු විය හැකි ය.

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ යටිතල පහසුකම් සහ වියදම් අවශ්‍යතා සපුරා ලීමට ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබේ.

මහ බැංකුවේ ස්වාධීනත්වය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු අතර, රාජ්‍ය අයවැය සඳහා මහ බැංකුව මගින් මුල්‍ය ණය සැපයීමෙන් වැළකී සිටීම අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු ය.

ගෝලීය අවශ්‍යතා මධ්‍යයේ විනිමය අනුපාතයේ නම්‍යශීලීභාවය සඳහා ඉඩ සලසමින් සංචිත ගොඩනගා ගැනීමට අවශ්‍ය බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

අක්‍රීය ණය නිරාකරණය, යෝග්‍ය මට්ටමින් ණය වර්ධනය ප්‍රවර්ධනය කිරීම හා ඇතැම් බලපත්‍රලාභී කුඩා මූල්‍ය සමාගම්වල මූල්‍ය අවදානම් සඳහා පිළියම් යෙදීම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා තිබේ.

මැද පෙරදිග ගැටුම් ආරම්භයෙන් පසුව, විදේශීය අංශය වෙත එල්ල වූ පීඩනය හේතුවෙන් 2026 වසරේ මාර්තු අග වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 1.6%කින් අවප්‍රමාණය වී ඇති අතර, එය ශ්‍රී ලංකාවට වක්‍ර බලපෑම් රැසක් ඇති කරන තවත් අභියෝගයක් වනු ඇත.

2025 වසර තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය වාර්ෂික ලක්ෂමය පදනම මත 5%කින් වර්ධනය වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 වසර තුළදී ශ්‍රී ලංකා ආර්ථිකය වාර්ෂික ලක්ෂමය පදනම මත 5%කින් වර්ධනය වී තිබේ

පිරිවැය ආවරණය කෙරෙන විදුලිය සහ ඉන්ධන මිලකරණ නැවත ප්‍රතිස්ථාපනය

පිරිවැය ආවරණය කෙරෙන විදුලිය සහ ඉන්ධන මිලකරණ නැවත ප්‍රතිස්ථාපනය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරන්තරයෙන් ම ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින කරුණකි.

මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය. ( මාර්තු 10 සහ මාර්තු 22) මීට අමතරව විදුලි ගාස්තුව ද ඉහළ දැමිණි.

බලශක්ති මිල ඉහළ යාමට සාපේක්ෂව භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් දැනටමත් ඉහළ ගොස් තිබේ.

එවැන් පසුබිමක සීමාසහිත නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත.

ඉන්ධන හා විදුලි ගාස්තු ඉහළ නැංවීමෙන් රටේ සියලු ස්ථරවල ජීවත් වන සෑම පුරවැසියෙකු ම පාහේ බලපෑමට ලක්වීම නිසැකව ම සිදුවන්නකි.

දුගී සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාව ආරක්ෂා කිරීම

වඩාත් ම බලපෑමට ලක්ව සිටින දුගී සහ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

ඒ සඳහා ඉලක්කකරණය, ප්‍රමාණාත්මක ආවරණය සහ කම්පන සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කරමින්, සමාජ ආරක්ෂණ ජාල මනාව ශක්තිමත් කළ යුතු බව ද IMF අවධාරණය කර තිබේ.

මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින පිරිස් සඳහා විශේෂ සහන පැකේජයක් ලබා දෙන බවට අප්‍රේල් 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනය කළේ ය. ඒ අනුව "අස්වැසුම" දීමනාව ඉහළ දැමීමට ද කටයුතු කර තිබේ.

සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම ශුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ආරම්භ කෙරිණි.

රු. 17,500.00, රු. 10,000.00 සහ රු. 5,000.00 වශයෙන් දැනට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සිදු කෙරේ.

අප්‍රේල් මාසයට පමණක් අන්ත දිළිඳු කණ්ඩයේ පවුලකට රුපියල් 17,500.00 ප්‍රතිලාභය රුපියල් 25,000.00 දක්වාත්, දුප්පත් කාණ්ඩයේ පවුලකට රුපියල් 10,000.00 ප්‍රතිලාභය 15,000.00 දක්වාත්, සංක්‍රාන්තික පවුලකට රුපියල් 5,000.00 ප්‍රතිලාභය රුපියල් 7,500.00 දක්වාත් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය මාර්තු මාසයේදී පවුල් ලක්ෂ 16.6කට වැඩි ප්‍රමාණයකට අස්වැසුම ප්‍රතිලාභය හිමිව ඇති අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රු. මිලියන 13,530කි.