ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්තම කණ්ඩායම ඉරානය ද?

    • Author, සෑම් ඩෘරි
    • Role, බීබීසී ක්‍රීඩා මාධ්‍යවේදී
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ලෝක කුසලානයකදී හද කම්පා කරවන සිදුවීම් අපේක්ෂා කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි.

ජයග්‍රහණයේ සෑම මොහොතකම අනෙක් අතට දුෂ්කර අවාසනාවන්ත කතාවක් ද ඇත.

මෙවර තරගාවලියේදී අවාසනාව සහ ඔවුන්ගේ බිඳවැටීමට හේතු වූ අසාධාරණකම් ගැන ද සංවේද ජනක හැඟීමකින් කථා කළ හැකි රටක් තිබේ.

එනම් 2026 වසරේදී ඉරානයේ පා පන්දු තරග අවසන් වූ ආකාරය පිළිබඳ වේදනාකාරී කරුණු කිහිපයක් තිබේ.

තරගය ආරම්භ වීමට පෙර සිටම පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දුන් අමීර් ගැලෙනෝයිගේ කණ්ඩායම, අවසන් කණ්ඩායම් 32 අතරට පිවිසීමේ අවස්ථාව තමන් සතු කරගන්නා මට්ටමකට ඉදිරියට පැමිණ සිටි නමුත් එම අවස්ථාව අවසන් මොහොතේදී ඔවුන්ගෙන් උදුරා ගැනිණි. එලෙස සිදුවූයේ එක් වරක් පමණක් නොවේ. එය දෙවරක්ම සිදුවිය.

කණ්ඩායම් අදියරේදී අපරාජිතව සිටීමට ඉරානය සමත් වුවද, ගෝල පරතරය මත ඔවුන්ට ඉතා අවාසනාවන්ත ලෙස පසුබැසීමට සිදු වූ අතර පිළිමලුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ද අහිමි විය.

නමුත් එහි ඊට වඩා බොහෝ දේ තිබිණි......

ඉරානය අවසන් මොහොතේ ලබාගත් ගෝලය ප්‍රතික්ෂේප වීම

නවසීලන්තයට සහ බෙල්ජියමට එරෙහිව පැවති තරග ජයපරාජයෙන් තොරව අවසන් වූ පසු සියැටල්හිදී ඊජිප්තුවට එරෙහිව ලැබූ ජයග්‍රහණය ඔවුන්ව අවසන් කණ්ඩායම් 32 දක්වා ඉදිරියට ගෙන යන බව ඉරානය දැන සිටියේය.

තරගයේ මුල් භාගයේදී ඔවුන් පසුපසින් සිටි නමුත් පසුව සාර්ථක ලෙස ඔවුන් ක්‍රීඩා කළ අතර, මෙහ්දි තාරෙමි දඬුවම් පහරක් මග හැරියද, රාමින් රෙසායියන් පටු කෝණයකින් ලබාදුන් විශිෂ්ඨ අවසානය නිසා ඉරානය ලකුණු තත්ත්වය සම කළේය.

ගෝල කණුව ආසන්නයේ පන්දුව සඳහා වූ අවුල් සහගත සටනකින් පසුව ෂෝජා කලීල්සාදේ ගෝලයක් ලබා ගන්නා විට දෙවන අර්ධය අවසන් වන තුරුම ලකුණු තත්ත්වය එලෙසම පැවතුණි.

දැඩි ප්‍රීති ඝෝෂා මධ්‍යයේ කලීල්සාදේ සිය කමිසය ගලවා (අනතුරුව ඔහුට කහ කාඩ්පතක් හිමිවිය) අව් කණ්ණාඩි පැළඳ ඡායාරූපයකට පෙනී සිටියේය.

කෙසේ වෙතත්, ගෝලය ඕෆ්සයිඩ් නිසා එය ප්‍රතික්ෂේප වූ විට එම ප්‍රීතිය ඉක්මනින්ම වේදනාවක් බවට පත් විය. එය දැඩි තීරණාත්මක අවස්ථාවක් වූ අතර කලීල්සාදේගේ පාදයේ ඇඟිල්ල අවසන් ඩිෆෙන්ඩර් ක්‍රීඩකයාට වඩා සුළු ප්‍රමාණයකින් ඉදිරියෙන් තිබුණේය.

තරගය 1-1 ක් ලෙස අවසන් වූ අතර, එයින් අදහස් වූයේ ලෝක කුසලාන පිළිමලුන් පිටුදැකීමේ වටයට පළමු වරට සුදුසුකම් ලැබීමට තමන්ට හැකි වේද යන්න දැනගැනීම සඳහා ඉරානයට තවදුරටත් බලා සිටීමට සිදු වන බවයි.

96 වැනි මිනිත්තුවේදී එල්ල වූ ගෝලයක් නිසා ඉරානයට අහිමි වූ ජයග්‍රහණය

ඔවුන්ගේ ඉරණම කුමක්දැයි දැනගැනීම සඳහා කණ්ඩායම් වටයේ අවසන් තරග පැවැත්වෙන තෙක් බලා සිටීමට ඉරානයට සිදු විය.

ඇල්ජීරියාව සහ ඔස්ට්‍රියාව අතර පැවැති තරගය තීරණාත්මක වූ අතර කණ්ඩායම් දෙකෙන් ඕනෑම පාර්ශවයක ජයග්‍රහණයක් ඉරානයට වාසිදායක විය.

විනෝදජනක තරගයක් ලෙස පැවති තරගය 2-2 ක් ලෙස සම වෙමින් අවසන් වීමට නියමිතව තිබූ බැවින් ඉරානය පරාජයට පත්වන බව පෙනෙන්නට තිබූ නමුත් 93 වන මිනිත්තුවේදී රියාද් මහ්රෙස් ඇල්ජීරියාව පෙරමුණට රැගෙන ආවේය.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී, ජාතික කණ්ඩායම ලෙස හඳුන්වන 'ටීම් මෙලී' නැවතත් සුදුසුකම් ලැබීම ආසන්නයට පැමිණියේය.

නමුත් නාට්‍යාකාර අයුරින් පැවැති තරගය ඉන් නොනැවතිණි. තරගය සම කළ හැකි ගෝලයක් වාර්තා කිරීමට ඔස්ට්‍රියාව ඉදිරියට ඇදුණු අතර, තරගය නිමා වීමට තත්පර කිහිපයක් තිබියදී සාසා කලාජ්සික් හිසෙන් එල්ල කළ ප්‍රහාරයකින් එම ගෝලය වාර්තා කළේය.

පැය 24 ක් තුළ දෙවන වරටත්, ඉරානයේ සතුට අවසාන මොහොතේදී ඔවුන්ගෙන් උදුරා ගැනුණි.

සෙනගාලයේ විශිෂ්ට ගෝල වෙනස නිසා ඔවුන් තෙවන ස්ථානයේ පසුවන කණ්ඩායම්වල අවසන් ස්ථානය ලබා ගත් අතර, ඉරානය මෙන් කණ්ඩායම් තුනේම තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් කළ කේප් වර්ඩ්, H කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්විය.

'සත්කාරක රට අපට සැලකුවේ ඉතා අසාධාරණ ලෙසයි'

ඔවුන්ට මුහුණ දීමට සිදු වූ දුෂ්කර ප්‍රශ්න සලකා බලන විට ඉරානය මෙතරම් දුරකට පැමිණීම කැපී පෙනෙන සිදුවීමකි.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්කාරී පසුබිම මධ්‍යයේ ඉරානය මෙම ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග වදිමින් සිටියි.

තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන්ගේ ලෝක කුසලාන පුහුණු කඳවුර ඇරිසෝනා සිට මෙක්සිකෝවේ ටිජුවානා වෙත මාරු කරන ලද අතර, ඔවුන් මුළු කාලය පුරාම සංචාරක සීමාවන්ට මුහුණ දුන්නේය.

ඉරානයට ඔවුන්ගේ පළමු තරග දෙකට පෙර දින පමණක් එක්සත් ජනපදයට ඇතුළු වීමට අවසර ලැබුණු අතර ඔවුන්ගේ වීසා බලපත්‍රවල නියමයන් යටතේ තරගය පැවති දිනයේම නැවත පිටව යාමට සිදු විය.

පසුව, ගැලෙනෝයි ඔහුගේ කණ්ඩායම තරගාවලියේ සිටින "වඩාත්ම පීඩාවට පත්" කණ්ඩායම ලෙස විස්තර කළේය.

ඔහු පැවසුවේ අනෙකුත් කණ්ඩායම් සාමාන්‍ය තත්ත්වයන් භුක්තිවිඳිමින් සිටින විට ඔවුන්ගේ සංචිතයට ලබාදී තිබූ සූදානම් වීමේ කාලය "සොරා ගෙන" ඇති බවත්, අවශ්‍ය පුහුණු කාලයෙන් "අඩකටත් වඩා අඩු" කාලයක් පමණක් ලැබුණු බවත්ය.

සියැටල් හි පැවති තරගය සඳහා එම සංචාරක සීමාවන් ලිහිල් කරන ලද අතර, ඔවුන්ට දින දෙකකට පෙර පැමිණීමට ඉඩ සැලසුණු නමුත් තරගයෙන් පසු ඔවුන්ට ටිජුවානා වෙත ආපසු යාමට සිදු විය.

තරගයෙන් අනතුරුව ගැලෙනෝයි නැවතත් සිය කලකිරීම ප්‍රකාශ කළේය: "මගේ ක්‍රීඩකයන්ට සහ කණ්ඩායමට, මට කියන්න අවශ්‍යයි, මම ඔවුන් ගැන ආඩම්බර වනවා කියලා.

"මේ තරුණයන්, මේ ක්‍රීඩකයන් කළ දේ ඉතිහාසයේ ලියවිය යුතුයි, මොකද සත්කාරක රට අපට සැලකුවේ ඉතා අසාධාරණ ලෙසයි.

"මෙම සියලු ප්‍රශ්න තිබුණත්, අපට හොඳින් දක්ෂතා දැක්වීමට හැකි වූ අතර ලෝකයම ඉරාන වැසියන් සහ අපේ කණ්ඩායම ගැන ආඩම්බර වනවා.

"මම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටිනවා : ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිවලදී සත්කාරක රටවලට මේ වගේ අනෙක් රටවල ක්‍රීඩකයන්ට සහ කණ්ඩායම්වලට සලකන්න ඉඩ දෙන්න එපා කියලා."........