ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්

දැරිය සිය සටහන ආරම්භ කර තිබෙන්නේ "අම්මේ ! මට සමාවෙන්න" යනුවෙන් සිය මව අමතමිනි.
ඡායාරූප ශීර්ෂ වැකිය, දැරිය සිය සටහන ආරම්භ කර තිබෙන්නේ "අම්මේ ! මට සමාවෙන්න" යනුවෙන් සිය මව අමතමිනි.
Published

ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් තමිල්නාඩු දැරියක් සියදිවි හානිකර ගැනීමක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙයි.

සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා තබන දොළොස් හැවිරිදි දැරිය ගුරුවරිය තමාට "හිරිහැර" සිදු කරන ලද බව කියා සිටින්නීය.

ඔසප් වීම සම්බන්ධයෙන් අවමානයට පත් වීමක් ගැන එම ලිපියේ සඳහන් නොවුනත් රුධිර පැල්ලමක් නිසා සිය දියණියට පන්ති කාමරයෙන් පිටව යන මෙන් දැනුම් දී ඇති බව දැරියගේ මව පවසයි.

ඔසප් වීම ග්‍රාමීය ඉන්දියාවේ ඇතැම් පලාත්වල තවමත් සැලකෙන්නේ තහංචියක (taboo) මට්ටමිනි.

ඔසප් සමයේ කාන්තාවන් අපිරිසිදු යයි සැලකෙන ගතානුගතික මතයක් ද එහි මුල්බැස ගෙන ඇත.

ඉහත කී දැරියගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස සලකන අතර ඒ පිළිබඳව විභාගයක් ආරම්භ කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

දැරිය සිය සටහන ආරම්භ කර තිබෙන්නේ "අම්මේ ! මට සමාවෙන්න" යනුවෙන් සිය මව අමතමිනි.

ගෙදර දී සිදු කිරීමට පැවරෙන වැඩ (homework) සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙන් ගුරුවරිය මින් පෙර තම දියණියට දඬුවම් දී ඇති බවට දැරියගේ මව චෝදනා කරයි.

"මගේ දුව පසුගිය සෙනසුරාදා ඉස්කෝලේ ඉන්න විට ඔසප් වීමට ලක් වෙලා තිබුණා. දුව ඒ ගැන ගුරුවරියට කිව්වාම ගුරුවරිය 'පෑඩ්' එකක් විධියට පාවිච්චි කරන්න දූවිලි පිස්නයක් දීල තිබුණා" එම මව පවසයි.

ඔසප් වේදනාව පෙන්වා දීමට චීන තරුණියක් ගත් උත්සාහයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔසප් වේදනාව පෙන්වා දීමට චීන තරුණියක් ගත් උත්සාහයක්

"ගුරුතුමිය මගේ දුව පන්ති කාමරයෙන් පිටත හිටවල තියල තියෙනව. අවුරුදු දොළහක ළමයෙක් එවැනි අමානුෂික ආකාරයට හිටවල තියන්නේ කොහොමද?" දැරියගේ මව ප්‍රශ්න කරන්නීය.

දැරිය ඊළඟ දිනයේ සියදිවි හානි කර ගෙන ඇත.

අදාළ විභාගයේ දී පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව දැරිය ඉගෙන ගත් 'තිරුනෙල්වේලි' දිස්ත්‍රික්කයේ (Tirunelveli) පාසලේ ප්‍රධානීහු බීබීසියට ප්‍රකාශ කළහ.