වේදනා නාශක ඖෂධවලින් 'හෘදයාබාධ අවදානමක්'

වේදනා නාශක ඖෂධ
Published

ඉබුප්‍රොෆෙන් වැනි ප්‍රති ප්‍රදාහ වේදනා නාශක (anti-inflammatory painkillers) ඉහළ මාත්‍රාවකින් ලබාගැනීමෙන් හෘදයාබාධ ඇතිවිය හැකි බවට නව අධ්‍යයන වාර්තාවක් අනතුරු අඟවයි.

මෙම වේදනා නාශක ලබා ගන්නා පළමු දින 30 ඇතුළත හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි වශයෙන් පැවතිය හැකි බවද මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ නමුත් මෙම සොයාගැනීම සියයට සියයක් නිවැරදි නොවිය හැකි බවත් වේදනා නාශකවලට අමතරව වෙනත් සාධකද මීට හේතුවිය හැකි බවත් විද්‍යාඥයෝ පවසති.

නව අධ්‍යයනය සඳහා හාරලක්‍ෂ පනස්දහසකට ආසන්න පිරිසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, නව අධ්‍යයනය සඳහා හාරලක්‍ෂ පනස්දහසකට ආසන්න පිරිසක්

ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් විසින් කරනු ලැබ ඇති මෙම නව අධ්‍යයනය සඳහා හාරලක්‍ෂ පනස්දහසකට ආසන්න පිරිසක් යොදාගෙන තිබේ.

පර්යේෂණයට ලක්වූ මෙම පිරිස ibuprofen, diclofenac, celecoxib සහ naproxen වැනි වේදනා නාශක භාවිත කරන රෝගීහු වෙති.

වේදනා නාශක ඖෂධ

උදාහරණයක් ලෙස දිනකට ibuprofen මිලි ග්‍රෑම් 1200 වැඩි මාත්‍රාවක් ලබා ගන්නා කෙනෙකු පළමු දින 30 තුළ හෘදයාබාධ ඇතිවීමේ අවදානමට ලක්විය හැක.

නමුත් මෙය සියයට සියයක් නිවැරදි බවට සනාථ කළ නොහැකි බව විද්‍යාඥයෝ අවධාරණය කරති.