'වියපත්' බාධකය බිඳලූ නිරූපිකාවක්

ලොරේන් හට්න්
ඡායාරූප ශීර්ෂ වැකිය, ලොරේන් හට්න් Calvin Klein වෙළෙඳ දැන්වීමේ
Published

ලෝ ප්‍රකට කැල්වින් ක්ලයින් යට ඇඳුම් සන්නාමයේ වෙළෙඳ දැන්වීමකට 70 වෙනි විය ඉක්මවූ නිරුපිකාවක පෙනී සිටීමත් සමග වියපත් වීම යන කරුණ සම්බන්ධයෙන් මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රය තුළ යළි දැඩි මතභේදාත්මක තත්වයක් හටගෙන ඇත.

විනාඩියක වීඩියෝ දැන්වීමක එසේ පෙනී සිටියේ ඇමෙරිකානු මෝස්‌තර නිරුපිකාවක මෙන්ම චිත්‍රපට නිළියකද වූ දැනට 73 වෙනි වියේ පසුවන ලොරේන් හට්න්.

ලෝක ප්‍රකට වෝග් (Vogue) මෝස්‌තර සඟරාව එම දැන්වීම ඇගයීමට ලක් කළේ "යට ඇඳුම් පිළිබඳ නිරුපිකාවක වීමට වයස සීමාවක් නැහැ" යන්න එය තහවුරු කර ඇති බව පෙන්වා දෙමිනි.

චිත්‍රපටවලට පිවිසීමට පෙර මෝස්‌තර නිරුපිකාවක වූ ලොරේන් මෑතදී යළි මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසියද එතරම් කැපීපෙනෙන ලෙස නියැලී නැත.

1970 වසරවලදී Ravlon සන්නාමය වෙනුවෙන් නිරුපණයේ යෙදී නම් දිනාගත්තාය
ඡායාරූප ශීර්ෂ වැකිය, 1970 වසරවලදී Ravlon සන්නාමය වෙනුවෙන් නිරුපණයේ යෙදී නම් දිනාගත්තාය

J.Crew සන්නාමය සඳහා වූ ප්‍රචාරණ වැඩපිළිවෙලට සම්බන්ධවූ ඇය පසුගිය වසරේ මිලාන් මෝස්‌තර සතියේදී නිරූපණයේ යෙදුනාය.

ලොරේන් සම්බන්ධවූ නවතම නිරුපණයට පසුව මෝස්‌තර ක්ෂේත්‍රයට සම්බන්ධ 94 වියැති අයිරිස් අප්ෆෙල් ඕස්ට්‍රේලියානු බ්ලූ ඉලුෂන් සන්නාමයට මෙන්ම සිට්‍රන් මෝටර් රථවල DS 3 මෝටර් රථයේ දැන්වීම් සඳහාද සම්බන්ධ වුවාය.

එසේම 63 හැවිරිදි ක්‍රිස්ටී බ්‍රින්ක්ලී වාර්ෂික Sports Illustrated නම්වූ සඟරාවේ නාන ඇඳුම් කලාපයේ කවරය සරසුවාය.