පිඹුරෙකුගේ කුස තුළ මිනිස් සිරුරක්

පිඹුරා

ඡායාරූප මූලාශ්‍රය, West Sulavesi Police

ඡායාරූප ශීර්ෂ වැකිය, අක්බාර් ගිලදැමූ බවට සැක කළ හැකි ඇති විශාල පිඹුරෙකු ගම්වාසීන්ට හමුවී ඇති බව පොලීසිය
Published

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුර පිඹුරෙකුගේ කුස තුළ තිබී හමුවූ බව ඉන්දුනීසියාවේ පොලීසිය පවසයි.

අක්බාර් නැමැත්තා පසුගිය ඉරිදා (මාර්තු 25) සුලාවෙසි දූපතේදී අතුරුදන් වූයේ පාම්තෙල් එකතුකිරීම සඳහා ගොස් සිටියදීය.

විසි පස් හැවිරිදි ඔහු අතුරුදහන්වීම පිළිබඳව සොයාබැලීමේදී අක්බාර් ගිල දැමූ බවට සැක කළ හැකි අතිවිශාල පිඹුරෙකු ගම්වාසීන්ට හමුවී ඇති බව පොලීසිය බීබීසී ඉන්දුනීසියානු සේවය සමග පැවසීය.

මීටර් 7ක (අඩි 23ක) දිගින් යුතු මෙම ගොදුරු ගිලින පිඹුරා කපා බැලීමේදී අක්බාර් ගේ මළ සිරුර හමුවී තිබේ.

ලෝකයේ වඩාත් දිගින් යුතු උරග විශේෂයක් වන ගොදුරු ගිලින පිඹුරන් විසින් තම ගොදුර ගිල දැමීමට පෙර එය දැඩි ලෙස තලා දමනු ලබයි.

පිඹුරා

ඡායාරූප මූලාශ්‍රය, West Sulavesi police

ඡායාරූප ශීර්ෂ වැකිය, පිඹුරාගේ ශරීරය කපා බලද්දී අක්බර්ගේ සිරුර ඒ තුළ තිබුණි

පිඹුරන් මිනිසුන් මරා ආහාරයට ගන්නේ ඉතා කලාතුරකින් වුවද ඇතැම් විට ළමුන් සහ වනසතුන් ගිල දමන බව අසන්නට ලැබේ.

අක්බාර් පැය 24 ක කාලයක් තිස්සේ අතුරුදන් වී සිටින බව ගම්වාසීන් පොලීසියට දැනුම් දුන් බව බටහිර සුලාවෙසි පළාතේ පොලිස් ප්‍රකාශකයෙකු වන මෂුරා පැවසීය.

ඉන්පසු අක්බාර්ගේ පවුලට අයත් පාම් වගාව ආසන්නයේදී පිඹුරා හමුවී ඇත.

"ඒ අයට අක්බාර් හොයාගන්න බැරිවුණා. ඒත් බඩගාගෙන යන්න බැරිව නොසෙල්වී ඉන්න පිඹුරෙක් ඔවුන්ට හමුවුනා. පිඹුරා අක්බාර් ගිලදමා ඇති බව සැක කළ ඔවුන් පිඹුරාගේ ශරීරය කපා බලද්දී අක්බර්ගේ සිරුර ඒ තුළ තිබුණ," යනුවෙන් මෂුරා පැවසීය.

බ්‍රවිජය විශ්වවිද්‍යාලයේ නියා කුර්නියාවන් බීබීසීයට පැවසුවේ මෙතරම් විශාලත්වයකින් යුතු පිඹුරෙකුට වල් ඌරන් සහ බල්ලන් වැනි සතුන් දඩයම් කිරීමේ හැකියාව තිබෙන බවය.

පිඹුරන් සාමාන්‍යයෙන් මිනිස් වාසය සහිත ප්‍රදේශ මගහරින සත්ව විශේෂයක් වුවද පාම් ගස් සහිත මෙම ප්‍රදේශයේ වල් ඌරන් සහ බල්ලන් දඩයම් කිරීම සඳහා දඩබිමක් ලෙස සලකා එම පිඹුරා පැමිණෙන්නට ඇති බව විශ්වාස කෙරේ.