රටවල් අටක ගුවන් සේවාවලට ඉලෙක්ට්‍රෝනික උපකරණ තහනමක් ?

Pre-checking sign at airport in New York
Published

ප්‍රධාන වශයෙන් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ රටවල් අටකින් පැමිණෙන ගුවන් යානා තුළ ගමන් ගන්නා මගීන් අත ගෙනයන ගමන් මලු තුළ ඉලෙක්ට්‍රෝනික උපාංග රැගෙන යෑම තහනම් කිරීමට ඇමරිකාව කටයුතු කරමින් සිටී.

ගුවන් තොටුපලවල් දහයක් ඔස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක ගුවන් සේවා නවයකට අදාළ තහනම බලපැවැත්වෙනු ඇති බව ඇමරිකානු ආණ්ඩුවේ ආරංචි මාර්ගයක් සඳහන් කළේය.

ඔත්තු සේවා විසින් විදෙස් රටවල දී රැස් කර ගන්නා ලද තොරතුරු අදාළ නියෝගයට තුඩු දුන් බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ජංගම දුරකතන හැර ලැප්ටොප් සහ ටැබ්ලට් පරිගණක, කැමරා, DVD යන්ත්‍ර සහ ඉලෙක්ට්‍රොනික ක්‍රීඩා යන්ත්‍ර වැනි ප්‍රමාණයෙන් විශාල ඉලෙක්ට්‍රොනික උපකරණ ඊට ඇතුළත් වනු ඇති බව වාර්තා වේ.

A Transportation Security Administration (TSA) officer reads the X-ray of a laptop computer at Baltimore-Washington International Airport.

ඇමරිකානු ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් වැළකී සිටි අතර ඊට අදාළව අද (මාර්තු 21) නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.

අදාළ තහනම බලපැවැත්වෙන ගුවන් සේවා ලැයිස්තුව තවමත් ප්‍රකාශයට පත් වී නැති නමුත් AP පුවත් සේවයට අදහස් දැක්වූ බලධාරියෙකු කියා සිටියේ රටවල් අටකට අයත් පහත දැක්වෙන ගුවන් තොටුපලවල් දහයට අදාළ තහනම බලපැවැත්වෙනු ඇති බවය.

  • ජෝර්දානයේ අම්මාන් අගනුවර අලියා රැජින ජාත්‍යන්තර ගුවන් තොටුපල
  • ඊජිප්තුවේ කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපල
  • තුර්කියේ ඉස්තාන්බුල් නුවර අටාටර්ක් ගුවන් තොටුපල
  • සෞදි අරාබියේ ජෙඩා නුවර අබ්දුල් අසිස් රජු ජාත්‍යන්තර ගුවන් තොටුපල
  • සෞදි අරාබියේ රියාද් අගනුවර ඛාලිඩ් රජු ජාත්‍යන්තර ගුවන් තොටුපල
  • කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපල
  • මොරොක්කෝවේ කැසබ්ලන්කා ජාත්‍යන්තර ගුවන් තොටුපල
  • කටාර් රාජ්‍යයේ ඩෝහා නුවර හමාද් ජාත්‍යන්තර ගුවන් තොටුපල
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපල
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපල