සුනඛ මිතුදමින් ලෝකය දකින 'ඔටිසම්' දරුවෙක්

ස්පර්ශ කිරීමට, සිප වැළඳ ගැනීමට නොහැකි සිය පුත්‍රයා ඔහුගේම කැමැත්තෙන් ටොනාඩෝ වෙත ගොස් ඔහු මත වැතිරෙන ආකාරය දුටු මවගේ සතුට නිම්හිම් නැතිවිය
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්පර්ශ කිරීමට, සිප වැළඳ ගැනීමට නොහැකි සිය පුත්‍රයා ඔහුගේම කැමැත්තෙන් ටොනාඩෝ වෙත ගොස් ඔහු මත වැතිරෙන ආකාරය දුටු මවගේ සතුට නිම්හිම් නැතිවිය
Published

මව්පියෝ සිය දරුවන් සිප වැළඳ ගනිති. තුරුලට ගෙන ආදර කරුණාව දක්වති. එසේ නමුත් 'ඔටිසම්' (Autism) හෙවත් බාහිර ලෝකය සමග ගනුදෙනුකිරීමේ හෝ සන්නිවේදනය කිරීමේ හැකියාව හීනකරන, හුදකලාව ගැලී සිටීම ප්‍රිය කරන මානසික තත්ත්වය සහිත දරුවන්ට එසේ නොවේ.

පස් හැවිරිදි කයිනෝවා නීහවුස් 'ඔටිසම්' මානසික තත්ත්වය සහිත දරුවෙකි.

කිසිවකු විසින් ස්පර්ශකරනු ලැබීමට හෝ සිප වැළඳගනු ලැබීමට නොහැකි කයිනෝවා තම දිවියේ පළමුවතාවට ලද මෙම අත්දැකීම ඔහුගේ මව ද විස්මයට පත්කිරීමට සමත්විය.

විශේෂයෙන් පුහුණු කරන ලද ටොනාඩෝ නමැති සුනඛයා සමග කයිනෝවා මිතුදමක් ගොඩනගාගනු ලැබුවේ දෙදෙනා මුණ ගැසුණු සැනිණි.

ස්පර්ශ කිරීමට, සිප වැළඳ ගැනීමට නොහැකි සිය පුත්‍රයා ඔහුගේම කැමැත්තෙන් ටොනාඩෝ වෙත ගොස් ඔහු මත වැතිරෙන ආකාරය දුටු මවගේ සතුට නිම්හිම් නැතිවිය.

සුනඛ මිතුරා
ඡායාරූප ශීර්ෂ වැකිය, ''මගේ දරුවා වෙනුවෙන් වියදම් කරන සෑම ඩොලරයක් ම, පුරවන සෑම ඉල්ලුම් පත්‍රයක් ම, සෑම ගුරු දෙගුරු හමුවක් ම, හෙලන සෑම කඳුලක් ම, ඉදිරියට තබන සෑම පියවරක් ම, පසුපසට ගන්න සෑම පියවරක් ම වටිනවා''

කෙළිදෙලෙන් පසුවන සම වයසේ දරුවන් හා මිතුදමක් හෝ කිසියම් සබඳතාවක් ගොඩනගා ගැනීමට නොහැකි වූ තම පුතු, සුනඛ මිතුරා හා බැඳෙනු දුටු අයුරු වචනයෙන් විස්තර කළ නොහැකි බව ඇය පවසන්නීය.

ජපානයේ සිට එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි '4 Paws For Ability' මධ්‍යස්ථානය වෙත කයිනෝවා නීහවුස් පැමිණියේ, විශේෂයෙන් පුහුණුකරන ලද සුනඛයකු වෙනුවෙන් පොරොත්තු ලේඛනයේ වසර දෙකක් ගතකිරීමෙන් පසුවය.

ආබාධිත දරුවන්, ආබාධිත හමුදා සෙබළුන් සහ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට පුහුණු සුනඛයන් සපයනු ලබන '4 Paws For Ability' මධ්‍යස්ථානය ලාභය අරමුණුකර නොගත් ජාත්‍යන්තර ආයතනයකි.

ජේඩන් ඇයගේ පුහුණු සුනඛ සුරතලිය ක්ලේරා හමු වූ අවස්ථාව
ඡායාරූප ශීර්ෂ වැකිය, ජේඩන් සිය පුහුණු සුනඛ සුරතලිය ක්ලේරා හමු වූ අවස්ථාව

'මගේ දරුවා වෙනුවෙන් වියදම් කරන සෑම ඩොලරයක් ම, පුරවන සෑම ඉල්ලුම් පත්‍රයක් ම, සෑම ගුරු දෙගුරු හමුවක් ම, හෙලන සෑම කඳුලක් ම, ඉදිරියට තබන සෑම පියවරක් ම, පසුපසට ගන්න සෑම පියවරක් ම වටිනවා' යැයි කයිනෝවාගේ මව සඳහන් කළාය.

'ටොනාඩෝ නිසා සියලු දේ හරියාවි කියලා මට හැඟෙනවා' යැයි විශ්වාසයෙන් යුතුව කී ඇය මෙසේ ද සඳහන් කළාය. 'මවක් වශයෙන්, මගේ පුතාට මුහුණ දීමට සිදු වූ අභියෝග සහ වේදනාකාරී අවස්ථා අනේක වාරයක් මා දැක තිබෙනවා, හැඬූ අවස්ථා අප්‍රමාණයි. ඊයේ මම ඇඬුවේ වෙනත් කාරණයකට, ඒක වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්'.

'ඔටිසම්' යනු ?

ඩිවුස් නම් වූ පුහුණු සුනඛ සුරතලා හා නව පවුලේ සාමාජිකයන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩිවුස් නම් වූ පුහුණු සුනඛ සුරතලා හා නව පවුලේ සාමාජිකයන්

'ඕටිසම්' යනු සාමාජයීය සබඳතා, භාෂා හැකියාව සහ ශාරීරික හැසිරීම කෙරෙහි බලපාන මානසික තත්ත්වයකි.

එමෙන්ම දෛනිකව ලැබෙන සංවේදී තොරතුරුවලට, 'ඕටිසම්' තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් වැඩි සංවේදීබවක් පළකිරීමට ද ඉඩ ඇත.

'ඔටිසම්' තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් ලෝකය දකිනුයේ පැහැදිලි සීමාවලින් තොර, පිළිවෙලක් හෝ අරමුණක් නොමැති ව්‍යාකූල ස්ථානයක් ලෙසිනි.