තවත් අක්කර දහසය දහසක් වැනසීමේ අපරාධයක්

Published

උතුරු සහ නැගෙනහිර පළාත් දෙකට අයත් වව්නියාව මුලතිව් මන්නාරම සහ අම්පාර යන දිස්ත්‍රික්ක හතර ඇතුළත පිහිටි වන රක්ෂිත හෙළි පෙහෙළි කරමින් ජනාවාස ඉදි කිරීම් සහ වගා බිම් ස්ථාපිත කිරීම දිගටම සිදු කෙරෙමින් ඇතැයි පරිසර සංරක්ෂණ භාරය පවසයි.

එම පරිසර සංවිධානයේ අධ්‍යක්ෂ සජීව චාමිකර බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ,මේ වන විට අක්කර දහසය දහසක් වන බිම් සහමුලින්ම හෙළි කරනු ලැබ ඇති බවයි.

එම වන විනාශය පිළිබඳව පරිසර සංරක්ෂණ භාරය ඇතුළු තවත් පරිසර සංවිධාන අධ්‍යයනයක් සිදු කරනු ලැබ ඇති බවත් සජීව චාමිකර පවසයි.

‘පසුගිය රජට සමයේ ආරම්භ වූ මෙම වන විනාශය දිගටම සිදු කෙරමින් පවතිනව. ඒ අතරම විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් තවත් අක්කර නවසීයක් ලබා ගැනීමේ සැලැස්මක් ද පවතිනවා’ පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂවරයා පවසයි.

නීති උල්ලංඝනය කරමින්

එම ක්‍රියාවලිය වන සංරක්ෂණ ආඥා පනතේ හත් වැනි සහ විසි වැනි වගන්ති උල්ලංඝනය කිරීමක් වන බව පවසන පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර ඊට අමතරව එම ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ ජාතික පාරිසරික පනත ද නොතකා හරිමින් බවයි පෙන්වා දෙන්නේ.

එවැනි තත්වයක් ඇතත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම පරිසර අධිකාරිය හෝ අද වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කරයි.

ඉහත කී වන විනාශයේ ප්‍රතිවිපාකයක් වශයෙන් අලි මිනිස් ගැටුම දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින බව පවසන පරිසර රක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර එමගින් ජල පෝෂිත ප්‍රදේශ පරිසරයට අහිමි වීම වැනි ඛේදජනක ප්‍රශ්න රාශියක් පැන නගින බවත් පෙන්වා දෙයි.