නාමල් අලුත්ගම විපතට පත් ජනතාව හමුවෙයි

ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හමුවූ මන්ත්‍රීවරයා
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හමුවූ මන්ත්‍රීවරයා
Published

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අලුත්ගම හා දර්ගා නගරයේ ගැටුම් වලින් හානියට පත් ජනතාව හමු වෙති.

එම ප්‍රදේශවල පැවති ගැටුම් හේතුවෙන් හානියට පත් දේපළ හා එහි ප්‍රමාණය සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ බවයි පැවසෙන්නේ.

ගැටුම් වලින් දැඩි ලෙස හානියට පත් දර්ගා නගරයේ තත්වය විමසමින් එම ප්‍රදේශයේ විපතට පත් මුස්ලිම් වැසියන් හමුවූ මන්ත්‍රීවරයා, ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියට පැමිණ ඒ අවට ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හමු වී තිබේ.

පතිරාජගොඩ ශ්‍රී විවේකාරාම විහාරාධිපති හිමියන් හමු වූ පා.ම නාමල් රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය, පතිරාජගොඩ ශ්‍රී විවේකාරාම විහාරාධිපති හිමියන් හමු වූ පා.ම නාමල් රාජපක්ෂ

පතිරාජගොඩ ශ්‍රී විවේකාරාම විහාරාධිපති හිමියන් ඇතුළු ගැටුම් වලින් හානියට පත් සිංහල පවුල් හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔවුන්ගෙන් තොරතුරු විමසූ බවයි පැවසෙන්නේ.

පීඩාවට පත් ජනතාවට සහන ලබා දෙමින් ප්‍රදේශය යළි ගොඩ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රදේශයේ රජයේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත් වූ බවත් මෙම ගමනට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර බීබීසී සංදේශයට පැවසුවේය.