සිරකරුවෝද මනුෂ්‍යයෝය: 'හිරබත' ගංවතුර අනාථයන්ට

බන්ධනාගාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් හෙට (මැයි 30) නිරාහාරව සිට, ගංවතුරින් අවතැන්වූ ජනතාවට තම දිවා ආහාරය පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව බත් පාර්සල් 6000ක් පමණ විපතට පත් පිරිසට බෙදා හැරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ තම දිවා ආහාරය පරිත්‍යාග කිරීමටත් ඒ වෙනුවෙන් වේලක් නිරාහාරව සිටීමටත් සියලු සිරකරුවන් සහ සිරකාරියන් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත්වී යෝජනා කළ බවය.

සිරකරුවෝ
ඡායාරූප ශීර්ෂ වැකිය, සියලු සිරකරුවන් සහ සිරකාරියන් ස්වේච්ඡාවෙන්

ගංවතුරින් සහ නායයාම් හේතුවෙන් අවතැන්වී සිටින ජනතාවට මෙන්ම ගංවතුරින් කොටුවී සිටින ජනතාව කරා මෙම බත් පාර්සල් ගෙන යාමට ශ්‍රී ලංකා පොලිසියේ සහාය ලබා ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

ගංවතුර තර්ජනය හේතුවෙන් බන්ධනාගාර හෝ සිරකරුවන් ආපදාවට ලක්වී ඇත්දැයි බීබීසීය කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙතෙක්‌ එවැනි තත්වයක් උද්ගතවී නොමැති බවය.

කෙසේ නමුත් ගාල්ල සහ මාතර බන්ධනාගාර තුළ ආහාර පිසීමේ අපහසුතා මතුවී ඇති හෙයින් එහි සිටින රැඳවියන් වෙනුවෙන් ආහාර පිසීම ද වැලිකඩ රැඳවියන් විසින් සිදුකරනු ලබන බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.