සිංහල සහ දෙමළ අනිවාර්ය කෙරෙන පනතක් - විග්නේශ්වරන්

උතුරු පළාතේ මහ ඇමතිවරයා
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙරට භාෂා නොදැනීම හේතුවෙන් සිංහල හා දෙමළ වැසියන් අතර සැකය හා අවිශ්වාසය ඉස්මතුවන බව මහ ඇමතිවරයා පවසයි
Published

දෙමළ සිසුන් සිංහල භාෂාව මෙන් ම සිංහල සිසුන් දෙමළ භාෂාව ඉගෙනීම අනිවාර්ය කෙරෙන පළාත් සභා පනතක්, නැගෙනහිර පළාත් සභාව සමග ද සාකච්ඡා කර ගෙන එන බව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි.

නල්ලූර් හින්දු විද්‍යාලයේ අද (නොවැ.14) පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයක් අමතමින් මේ බව කියා සිටි ප්‍රධාන අමාත්‍යවරයා, සිංහල හා දෙමළ රාජ්‍ය භාෂාවන බැවින් දෙපළාතේ රජයේ සේවකයින්ට ද එම භාෂා ඉගෙනීම අනිවාර්ය කෙරෙන නීති ගෙන එන බවය.

සිංහල හා දෙමළ භාෂාද්වයම දැන සිටීම සංහිඳියාව වර්ධනයට වඩා ඉහළ රැකියා අවස්ථා හිමිකරගැනීම පහසු කරන බව ඔහු විසින් පෙන්වා දෙනු ලැබිණ.

ශ්‍රී ලංකාවේ ඇති භාෂා අතහැර ප්‍රංශ, රුසියානු හා චීන වැනි විදේශ භාෂා ඉගෙනීමේ ප්‍රවණතාවක් සිසුන් තුළ ඇති බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා මෙරට භාෂා නොදැනීම හේතුවෙන් සිංහල හා දෙමළ වැසියන් අතර සැකය හා අවිශ්වාසය ඉස්මතුවන බව ද පෙන්වා දුන්නේය.