වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ කෙටුම්පත: ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ සිසුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම සීමා කිරීම සහ වළක්වාලීම සඳහා 'සමාජ මාධ්‍ය අවම වයස් සීමා පනත් කෙටුම්පත' (Social Media Minimum Age Bill) පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාර දී තිබේ.
මෙම නීතිය මේ වන විට ඔස්ට්‍රේලියාවේ, එක්සත් රජධානියේ, ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල සහ යුරෝපා සංගමයේ ඇතැම් රටවල ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතු වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කෙටුම්පත ඉදිරිපත් කළේ ඇයි?
සමාජ මාධ්‍ය අවම වයස් සීමා පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට බලපෑ හේතුව සහ එය ඉදිරිපත් කළේ කුමන අරමුණක් සහිතව ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය ෆයිසර් මුස්තෆාගෙන් විමසීමක් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ පාසල් සිසුන් ඇතුළු බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය වෙත දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අතර, ඉන් දරුවන් මුදා ගැනීමේ අරමුණින් මෙම කෙටුම්පත ඉදිරිපත් කළ බව ය.
සමාජ මාධ්‍ය වෙත ඇබ්බැහි වීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවන බාධා සහ මානසික සෞඛ්‍ය පිරිහීම මෙන් ම ඉන්ටර්නෙට් හරහා සිදුවන විවිධ අපරාධවලට දරුවන් ගොදුරු වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
"දැන් ගොඩක් දරුවන් ඉන්නේ ෆෝන් එකත් එක්ක. දරුවන් එක්ක කෑම කන්න රෙස්ටෝරන්ට් එකකට ගියත් ඒගොල්ලෝ ඉන්නේ සමාජ මාධ්‍යවල. ඉස්සර දරුවෝ ඔවුන්ගේ යාළුවොත් එක්ක සෙල්ලම් කළා. ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඒත් දැන් දරුවන්ගේ යාළුවො එක්ක කතා කරන්නෙත් ජංගම දුරකතන හරහා. ඔවුන්ගේ ලෝකය ජංගම දුරකතනවලට සීමා වෙලා," ෆයිසර් මුස්තෆා බීබීසී සිංහල සේවයට පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, දරුවන් නුසුදුසු වෙබ් අඩවිවලට පිවිසීම ද මේ හරහා සිදුවන බව ය.
"මෙතන තියෙන ලොකු ම ප්රශ්නය තමයි, දරුවන් නුසුදුසු වෙබ් අඩවිවලට යොමු වෙන එක. ඒ දරුවන්ගේ ජීවිතවලට මේක ගොඩක් බලපාලා තියෙනවා. මම හිතනවා, මේකට කිසි ම කෙනෙක් අකමැති වෙන එකක් නෑ. ආණ්ඩුව මේකට කැමති වුණොත් මේක සම්මත කර ගන්න පුළුවන්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'තීන්දුවක් අරගෙන නෑ' - ළමා කටයුතු නියෝජ්‍ය ඇමති
මෙම යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශනගෙන් අපි විමසීමක් කළෙමු.
ඔහු ප්‍රකාශ කළේ, කෙටුම්පතේ සඳහන් කරුණු පිළිබඳව විද්වත් මණ්ඩලයක් සමග සාකච්ඡා පැවැත්වෙන බව ය.
"මේක ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් සමාජ මාධ්‍ය සම්බන්ධ යි. ඒ නිසා මේ කෙටුම්පත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ද? කියන එක ගැඹුරින් හොයල බලන්න වෙනවා. ඒ ගැන දැනටමත් සාකච්ඡා කරමින් පවතිනවා. සම්පූර්ණයෙන් සමාජ මාධ්‍ය තහනම් කරන්නත් හැකියාවක් නෑ. මේ වෙනකොට මේ නීතිය ක්‍රියාත්මක කරල තියෙන රටවල තත්ත්වය අධ්‍යයනය කරලා, අඩුපාඩු මොනවා ද කියල හොයල බලල තීරණයක් ගන්න ඕන. දැනට අවසන් තීරණයක් අරගෙන නෑ," නියෝජ්‍ය අමාත්‍යවරයා බීබීසී සිංහල වෙත පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ප්‍රායෝගික ගැටලු රැසක් තියෙනවා' - ආචාර්ය සංජන හත්තොටුව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙවැනි පනතක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් මතු වන බව ය.
"මෙතන තියෙන මූලික ප්රශ්නය තමයි, ගෝලීය වශයෙන් බැලුවත්, රටක් වශයෙන් බැලුවත් කට්ටියට තේරෙන්නෙ නෑ අවුරුදු 16ට අඩුවෙන් වයස් කාණ්ඩයට සමාජ මාධ්‍ය වළක්වන්න පුළුවන් එක ම ක්‍රමවේදය යි තියෙන්නෙ කියන එක. වෙන විකල්පයක් නෑ. ඒක තමයි, ඒ රටේ ඉන්න සෝෂල් මීඩියා පාවිච්චි කරන හැම එක්කෙනාටම එහෙනම් වයසක් නියම කරන්න ඕනෙ කියන එක. මොක ද එතනින් තමයි, වයස අවුරුදු 16ට අඩු අය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට කියන්නේ, age gating කියලා. ඉතින් ඒ සමාජ මාධ්‍ය පාවිච්චි කරන ප්‍රජාවගේ වයස දැන ගන්න අවශ්‍ය ම යි. ඒක සමාජ මාධ්‍ය සමාගමෙන් පුළුවන්. එහෙම නැත්නම් වෙන විදිහකින් පුළුවන්. සාමාන්‍යයෙන් ජාතික හැඳුනුම්පතක් දාලා, රියැදුරු බලපත්‍රයක්, විදේශ ගමන් බලපත්‍රයක් දාලා අපි හැමෝම වයස තහවුරු කරන්න ඕනෙ.මෙතනදි ගොඩක් අය මතු කරපු ප්‍රශ්නයක් තමයි, ඒක කෙරුවා ම ප්රජාතන්ත්රවාදය අඩපණ වුණ රටක එහෙම කළොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොක ද, ඒ තොරතුරු දත්ත ආණ්ඩුවකට දැනගන්න පුළුවන්. එහෙම වුණොත් ඒ හරහා ආණ්ඩුවකට පුළුවන් ඒ දත්ත අනුව තමන්ට අවශ්‍ය අයට විතරක් සීමා පනවන්න. ඒක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියලා මානව හිමිකම් සහ ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශව තර්ක කරනවා. ඒකට ඍජු උත්තරයක් ආණ්ඩුවලින් සපයන්නෙ නෑ."
"අනිත් ප්රශ්නය තමයි, මේ සමාජ මාධ්‍ය වේදිකාවලට රෙජිස්ටර් වෙද්දි ව්‍යාජ ඡායාරූප, ව්‍යාජ උපන් දින සපයන්න පුළුවන්. මේ තහනම ක්‍රියාත්මක වෙන ඔස්ට්‍රේලියාවෙ පවා අවුරුදු 16ට අඩු දරුවන් 80%ක් තවමත් සමාජ මාධ්‍ය පාවිච්චි කරන බව අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේ තාක්ෂණික වශයෙන් දියුණු රටක ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ශ්‍රී ලංකාව ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කොහාම ද කියන එක ප්‍රශ්නයක්."
ඔහු පෙන්වා දුන්නේ, තහනමක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් කළ යුතු බව ය.
"සමාජ මාධ්‍යවලින් බාලවයස්කරුවන් ඉවත් කිරීමෙන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳෙන බවට සමස්ත පිළිගැනීමක් නැහැ. සක්‍රීය සාකච්ඡාවක් තියෙනවා ඒ ගැන. විවිධ අය විවිධ අදහස් දරනවා. ඒත් පොදු පිළිගැනීමක් නෑ. ඒ වගේ ම, සමාජ මාධ්‍ය සමාගම්වලට මේක කරන්න ක්‍රමවේදයක් නෑ. ඒකත් මෙතනදි මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවක්."
"මේ වෙද්දි සමාජ මාධ්‍ය තහනම් පනවා ඇති රටවල් ඒ සීමා පනවලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයන කරලා ඒ ගැන විශ්ලේෂණය කිරීමෙන් පසුව යි. ඒත් ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රශ්නයක් තියෙන බවට විධිමත් පර්යේෂණයක් කරල නෑ. ඒ නිසා මේ තහනම පනවන්න කලින් විධිමත් අධ්‍යයනයන් කළ යුතු යි. පෞද්ගලික මතිමතාන්තර මත මේ වගේ තීරණයක් ගන්න එක සුදුසු නැහැ කියන එක යි මම නම් හිතන්නේ."
මේ අතර, සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීමෙන් සිදුවන බලපෑම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් විසින් කරන ලද පර්යේෂණ කිහිපයක් අපට හමු විය.
කෙටුම්පතෙන් යෝජනා කර ඇත්තේ කුමක් ද?
මෙම නව පනත් කෙටුම්පත මගින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි පැනවීමේ පුළුල් බලයක් විෂය භාර අමාත්‍යවරයා වන ළමා කටයුතු අමාත්‍යවරයා වෙත පැවරීමට යෝජනා කර ඇත.
ඒ අනුව මෙරට ක්‍රියාත්මක ඉන්ටර්නෙට් සේවා සපයන්නන් සහ ජාත්‍යන්තර සමාජ මාධ්‍ය වේදිකාවන් වෙත ඍජුව ම නියෝග සහ රෙගුලාසි පැනවීමට අමාත්‍යවරයාට හැකියාව ලැබේ.
එමෙන් ම, බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය ගිණුම් සෑදීම සීමා කිරීම සඳහා වයස් තහවුරු කිරීමේ තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමට ද යෝජනා කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්ටර්නෙට් භාවිතය
ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව 130%ක් ජංගම දුරකකන සබඳතා භාවිත කරන බව DataReportal වෙබ් අඩවිය පවසයි. ඒ අනුව, 2025 වසරේ අගභාගය වන විට ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකතන සබඳතා මිලියන 30.3ක් භාවිත විය.
මේ අතර, ශ්‍රී ලංකාවේ පුද්ගලයින් මිලියන 13.9ක් ඉන්ටර්නෙට් භාවිත කරති. එය ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල 59.7%කි.
2025 ඔක්තෝබර් මාසය වන විට ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ගිණුම් මිලියන 9ක් ක්‍රියාත්මක වී ඇති අතර, එය සමස්ත ජනගහනයෙන් 38.7%කි.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක්, X ආදී සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් භාවිත වෙයි.
සමාජ මාධ්‍ය තහනම් කිරීම නිසා නේපාලයේ සිදුවූ ආණ්ඩු පෙරළිය
ෆේස්බුක්, X සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරීමේ තීරණයට එරෙහිව නේපාලයේ Gen Z ප්‍රජාව දැවැන්ත විරෝධතා ආරම්භ කළ අතර, දින කිහිපයක් තුළ එරට රාජ්‍ය පාලනය ද උඩුයටිකුරු විය.
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර කිරීමට පියවර ගත්තේ ය.
එය සිදුවූයේ, ෆේස්බුක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා පැනවූ තහනම ඉවත් කරන ලෙසත්, දූෂණය පිටුදකින ලෙසත් රජයට බල කරමින්, දහස් ගණනක් තරුණ තරුණියන් පිරිසක් සැප්තැම්බර් 8 වන දා කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී බලපෑම් කිරීමෙන් පසුව ය.
කත්මන්ඩු පෝස්ට් පුවත්පතට අනුව විරෝධතා අතරතුර සිදුවූ මූල්‍ය අලාභය නේපාල රුපියල් ට්‍රිලියන 3ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 21.3, පවුම් බිලියන 15.6) විය.
එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවකි.


































